Chapter 1 of 1

ආදරණීය ඔවුන්

එක දිගට යෙදුනු ඉගැන්වීම් ගණනාවකට පසු ලැබුන කෙටි විවේක කාලයෙදි නිරාෂා පන්සිළු හිටියෙ තෙවන පෙළේ මේසයකට හිස තබාගෙන නින්දත් නොනින්දත් අතරෙ. නමුත් ඇයට එසේ බොහෝ වෙලාවක් නිඳාගැනීමට නොහැකිවුනේ නදීෂ් සිංහවංශ නම් තම පාසල් සගයා නිසාවෙන්.

"නිෂූ......මෙන්න මේකෙ වැරදි තීනවද බලලා දෙනෝකො." දෙඇස් වසාගෙන සිටි ඇයගෙ හිසට රෝල් කර ගැට ගසා තිබූ ඒ ෆෝ කොළ රෝලකින් තට්ටුවක් දැමූ ඔහු සිටියෙ එහා පස අයිනෙ වූ මේසයට හේත්තු වීගෙන.

යම්තමට දෑස් හැර නොරිස්සුමෙන් බැලූ ඇය හිස කෙලින් කරගත්තා. දෑත්වල හිරි ඇරගත් පන්සිළු ඔහු දිගු කළ කඩදහිය තම දබරැඟිල්ලත් මහපටගිල්ලත් අතරට සිර කරගනිමින් එය තමා අසලට ගන්නට වුනේ පුටු ඇන්දට හොඳින් හේත්තු වෙමින්.

එය බැලූ බැල්මට ඉංග්‍රීසි බසින් ලියූ පෙම් හසුනක්. ආමන්ත්‍රණයක් නොමැති හසුන් පත ඇය කියවන්නට වුනා.

"this is three year we have met. so happy valantin love."

අදහස : ( "අප හමු වී ගෙවෙන තුන්වන අවුරුද්දයි මේ. ඉතින් ප්‍රේමිය, සුභ පෙම්වතුන්ගේ දිනයක්."

නදීෂ්." )

එය කියවූ ඇයගෙ තොල් අඟ සිහින් මන්දස්මිතියක් ඇදී මැකී ගියා.

"ඔයාගෙ අර නංගි බබාටද?" ඇය තම මිතුරගෙන් අසන්නට වුනේ මනමාල සිනහවකින් මුව සරසගෙන.

"හ්ම්.." ඔහුගේ පිළිතුර එපමණක් පමණක්ම වුනා. ඇගේ වචනත් සමග දාසැවිරිදි පිරිමි ළමයෙක් වූ ඔහුගෙ මුවෙහි තරමක රත් පැහැයක් ඉහිරී තිබුනා. හිරිමල් වයසෙ ඇරඹි නැවුම් ප්‍රේමයකින් ඔහුගෙ දිවිය ආලෝකමත් වන්න ගත්තෙ ඔහු අට වසරෙදි. ඒ ඔහු ඇබිත්තන් කොල්ලකු වූ කාලයෙ. ඔහුට වඩා වසර දෙකකින් බාල හුරුබුහුටි ගැහැණු ළමෙක් ඔහුගෙ සිත ගන්නට සමත් වී තිබුනා. පාසල තුල එම ප්‍රේමය නොරහසක්. ගුරුවරුන් කිහිපවිටක ඔවුන්ට අවවාද කල තිබුනත් එම ප්‍රේමය නොනැසී පැවතුනා.

"අම්මේ ඉතින්...කොල්ලගෙ ලැජ්ජාව."

"අනේ මේ නිෂූ මඟුලක් නොකියා ඕක බලපන්කො." ඔහු ඇයට නොරිස්සුමෙන් පවසන්නට වූයෙන් ඇය රවමින් ඈ දෑස් යොමු කලේ කුරුටු ගා තිබූ වචන පේළියට. කිහිපවරක්ම නිවැරදිව වාක්‍ය ගැලපීමට ගත් වෑයම් කීපයක ප්‍රතිඵලයක් ලෙසට කඩදහිය තරමක් අපිළිවෙලට දිස් වුනා.

"මේ බලනවකො නදීෂ් ඉතින්...මෙතනම ග්‍රැමර් වැරදිනෙ. දිස් ඊස් ත්‍රී ඉයර් නෙමේ හලෝ දිස් ඊස් ද ත'ඩ් ඉය. අනික වාක්‍යයක් මුලින් පටන් ගනිද්දි කැපිටල් වෙන්න ඕනි. මේක ඉතින් ඔයා ඔයාගෙ ප්‍රියම්බිකාවට දෙන ලියුම නිසා ඒකනම් ලොකූ අවුලක් නෑ. ඒත් දෙන එක උවමනාවට එපාවට වගේ පේන්න නැතුව කොලිටියටම දෙන්න බලපන්. එතකොට තමා කියවන කෙනාට වුනත් ආසාවක් ඇතිවෙන්නෙ."

"හරි හරි ඕයි....උබට තරම් මට ඉංග්‍රීසි බෑ. හරිනෙ...ඔන්න ඕක හදා දීපන්."

'මුගෙ ඝණකම යකෝ...නිරා ආන්ටි දන්නවනම් එයාගෙ කිරිපුතාගෙ හැටි...' ඔහුගෙන් එල්ලවුන රැවුම් අතරෙ ඇය එසේ සිතමින් අනෙක් වචන ටිකටද නෙත් යොමු කරන්න වුනා. නමුත් එවර ඇගේ මුවෙන් නික්මුන සිනහව නදීශ්ගෙ මුව රක්ත වර්ණ කලේ බොහොම ඉක්මනින්.

"ඈ....ඈ....ඈ....මේ මොකද්ද හත්තිලව්වෙ මේ ලියලා තියෙන්නෙ. හැපී වළන්ටයින්. හහ්...හා..මේක ගිහින් උබේ නංගි බබාට වළං දුසිමක් එක්කම ගෙනිහින් දීපන්. හහ්....බෑ ඕයි...මට හිනා යනවා. මොනවා නැතත් ලව් කියන එක නම් හරියටම ලියලා.....හිහ්...හ්"

"නිෂූ මේ..... ඕක හදන්න බැරිනම් මෙහෙ දියන්." එම වතාවෙ ඔහු කෝපයෙන්ම කඩදහිය ගන්නට තැත් කලද ඇය ඉතා සූක්ෂම ලෙස ඔහුව නැවැත්වුවා.

"අපෝ හරි හරි....ඉන්නවා ඉන්නවා හරියට ලියලා දෙනකම්." ඇය දෙසට යොමුවුන ඔහුගෙ ශක්තිමත් අත්ල එහාට කරමින් නිල් පෑන අතට ගත් ඇය අඩු පාඩු හදා එම වැකි දෙක නැවතත් ලියන්නට වුනා."

"ආ ගනින් උබේ ඉලව් පෙම් හසුන."

හතුරෙකු සේ ඇගෙන් උඳුරගත් කොළ කැබැල්ල අත්ලට පොඩිකරගනිමින් ඔහු පන්ති කාමරයෙන් පිටතට ගියෙ ඇයගෙ උසුළු විසුළු හමුවෙ තරමක නොරිස්සුමෙන්. නමුත් ඔහු නොපෙනී යන දෙස බලා බර හුස්මක් අවකාශයට මුදා හැරි ඇයගේ සිතුවිලි පිළිබඳව නිනව්වක්වත් ඔහුට නොතිබෙන්නට ඇති.

සියල්ලට පෙනෙන්නටම ඔහු තවකෙක්ට ප්‍රේම කරද්දි ඇය සියල්ලටම රහසින් ඔහුට ප්‍රේම කරා. නමුත් මිතුරුකම අතරට ආදරයක් ගෙනෙමින් ඔවුන්ගෙ මිත්‍රත්වය පළුඳු කිරීමට ඇය කිසිම දවසක වෑයම් කලේ නෑ. හැම උදෑසනම ඔහුගෙන් දකින්නට ලැබෙන අව්‍යාජ සිනහවත්, උපදෙස් ගණනත් පමණක්ම ඇයට ප්‍රමාණවත් වුනා ගතවුනු අවුරුදු එකොළහෙම අපහසුම සෘතූන් තරණය කරන්නට.

නමුත් මේ ඔවුන් එකට සිටිනා අවසාන අවුරුද්ද බව ඇය දැන සිටියත් ඔහුට ඒ ගැන අවබෝධයක් තිබුනෙ නෑ. සාමාන්‍ය පෙළ ලියූ විගසම ඇය එංගලන්තයට යන්නට සියල්ල සැලසුම් කර තිබුනා. මෙතරම් කල් අම්මා සහ ඇය පමණක් ලංකාවෙ වෙසුන ද ඔවුන් දෙදෙනාම පියා අසලට යාමට ඒ වන විටත් පාස්පෝට් සාදා අවසන්.

✨🌸✨

එලෙසම දවස් ගත වී ගියෙ සුන්දර මතක ගොන්නක් ඇයට දායාද කරමින්.

"ඒ නිෂූ පොඩ්ඩක් ඉන්නවා....ඇවිදිනවා නෙමෙයි උබ විදිනවනෙ."

"මොකද බන්?"

"ආං....මේ ටික ගන්නෝ...." ඔහු බ්‍රවුන් පේපර් බෑගයක් ඈ දෙසට දිගු කරන්නට වුනේ විරිත්තමින්.

"සිප්පි කටු??"

"හ්ම්....ඊයෙ අයියලත් එක්ක මාබල් බීච් ගියා. ඒ එද්දි තමුසෙව මතක් වෙලා අරන් ආවා."

"අනේ තෑන්ක්ස්....නදීෂ්...."

"එහෙනම් කොල්ලො අපි ගියා...නුවී මන් එනකම් බලන් ඉන්නවා.." ඔහු සිනාමුසුව පවසද්දි ඇය ද සිනාසී හිස සැලුවා. නුවී හෙවත් නුවිනි පමෝදා ඔහු ඉතා ළබැඳිව ප්‍රේම කරන පාසල් යුවතිය වුනා.

"ආ මේ.....හිතාගන්නවකො ඔය තෑග්ග එදා නිසදැසට දීපු ට්‍රීට් එකක් කියලා." පෙර දිනක ඔහු තම පෙම්වතියගෙ උපන් දිනයට ඇයට දී සාදාගත් ඉංග්‍රීසි නිසදැස මතක් කරමින් පවසා සිටියෙ උණුහුම් සිනහවකින්. එහෙම්මම ඔහු අත වනා ඈතට දිව යන අයුරු ඇය බලා සිටියෙ හදවත කොනක් තරමක් රිඳුම් දෙන විටදි. නමුත් ඇය හදවතින්ම ඔහුගේ සිනහව දෙස බලා සතුටු වුන බව ඒකාන්තයි.

"කොහෙද බන් අරූ අර ගාලගඩාගත්ත වස්සා වගේ දුවන්නෙ."

ඔහු නික්මෙනවත් සමඟම පිටුපසින් ඇහුණ කටහඬ යසස් නම් පිරිමි ළමයගෙ වුනා. යසස් යනු නවය වසර තෙක් ඔවුන් හා එක පන්තිවල සිටි නිරාශගෙ මෙන්ම නදීෂ්ගෙ හොඳම මිතුරයි. පන්ති කැඩීමත් සමඟම ඔවුන් දෙපිළකට වූවත් ඔවුන් අතර පැවති මිතුදම පෙර පරිදිම නොනැසී පැවතුනා.

"නංගි බබාව බලන්න යන්න තියන තදියම බං ඔය.." ඔහු සමඟ පවසමින් ඇය සිනහා වන්නට වුනේ සමාන්තරව ඔහු සමඟ ඇයත් ගමන් කරන අතරෙයි.

✨🌸✨

"නදීෂ්...මට දෙයක් කියන්න තියෙනවා." ඊටත් මාස ගණනකට පසු එළැඹි සඳුදාවක විද්‍යා ගුරුතුමී පන්තියෙන් නික්මෙන විටදිම වගේ ඇය ඔහුට කතා කලේ මහත් ඕනෑකමින්.

"ගොඩක් සීරියස් දෙයක්ද බන්."

"ආ....නෑ....එහෙම ලොකු දෙයක් නෙමෙයි."

"ඒ...එහෙනම් හවසට ටෙක්ස්ට් එකක් දාපන්කො. මට දැන් නුවීව බලන්න යන්න වෙනෝ බන්. කෙල්ලගෙ ගෙදරට ලව් එක මාට්ටු වෙලා. දැන් එයාලට ෆ්‍රී නෙහ්...පස්සෙ කතා කරමු ඈ.."

නදීෂ් ඇය පිළිතුරු බඳින්නත් මත්තෙන් පන්ති කාමරයෙන් අතුරුදන් වී අවසන්. ඇයට පැවසීමට අවැසි වුනේ තුන් මසකින් එළඹීමට නියමිතව තියෙන සා.පෙ විභාගය අවසන් වුන හැටියෙම එංගලන්තයට යන බවයි. නමුත් ඔහු ගැටළුවකට මැදිව සිටින බව දුටුවෙන් ඇයට ඇතිවූයේ තරමක දෝමනස්සයක්. සුසුමක් හෙළා සියල්ල යහපත් වන ලෙසට ප්‍රාර්ථනා කල ඇය ඉතිහාස පොත තුල දෙකට නවා තිබූ සිතියමක් ගෙන එහි දිස්වන එංගලන්තය කහ පැහැයෙන් වර්ණ කරන්නට වුනා.

ඊළඟට එළැඹි දවස් බොහෝ වේගයෙන් ගතවුනා. ගතවුන දවස් ගානටම නදීෂ් කඩා වැටී තිබුනා. නුවනිගෙ පියා නදීෂ්ට තරයේ අවවාද කර තිබුනෙ තම දියණියගෙන් ඉවත්ව යන ලෙසට.

"නදීෂ් මේ....තමුසෙට පිස්සුද ආ?? හරි නුවිනි නංගිගෙන් අයින් වෙන්න ඕනි නෑ. ඒත් උබ මේ අන්තිම මාස ටිකේ පිස්සු නටලා හරියනවද ආ? හරි එහෙනම් තමුසෙ ඔහොමම නිදාගෙන ඉන්නවකො. නුවිනිගෙ අප්පොච්චා තමුසෙට එයාගෙ දෝනියැන්දව ළඟටම ගෙනල්ලා දෙයි මේං කියලා."

තම දෙනෙත් වසන් මේසයට හිස තබාගෙන සිටින නදීෂ්ගෙ කොන්දට පහරක් එල්ල කරමින් ඇය කෝපයෙන් පැවසූයෙ අත ළඟ එන විභාගය නිසා. නදීෂ් පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක්. මේවන තෙක් ආදරයත් අධ්‍යාපනයත් යන දෙකම එක ලෙස රැක ගෙන එන්නට ඔහු සමත් වී සිටිය ද හැමදේම අවසන් වෙන්න වැට කඩොලු සැකසෙමින් පැවතුනා. සියල්ල කනපිට පෙරළෙන්නට කලියෙන් අවසන් වරට ඔහුට උදව් කිරීමට ඇයට අවශ්‍ය වී තිබුනෙ ඒ නිසාමයි.

"මොකද්ද බන් උබ මට කරන්න කියන්නෙ? හැමදේම එපා වෙලා ඕයි තියෙන්නෙ."

"අහනවකො නදීෂ්....හැමදාම අපි සතුටින් ඉන්නවා කියලා හිතුවට අඬන්න දවසුත් ජීවිතේට ඕනතරම් එනවා බන්. එහෙමයි කියලා අන්තෙටම කඩාගෙන වැටුනොත් ආයෙ ගොඩ එන්න හරි අමාරුයි. අනික මතක තියාගනිම් නුවිනි උබේ ලයිෆ් එකට ආවෙ අවුරුදු තුනකට කලින් වුනාට උබට ජීවිතයක් කියලා එකක් දුන්නෙත් මුලින්ම ඔය හිතට ආදරේ කරන්න කියලා දුන්නෙත් දෙමව්පියො කියලා."

"හැමදේම පැටලිලා බන් තියෙන්නෙ. ගෙදර ගියාම පාඩම් කරන්නවත් හිත දෙන්නෑ."

"අනේ උබට කියන කට හොඳයි මං බිම උලා ගන්නවා. හරි වෙනදෙයක් ඕන්නෑ. උබට නුවිනිව ඕනිනම් මැටි හරකෙක් වගේ ඉන්නැතුව නයින් ඒස් දාලා පෙන්නපන්. කොහොමත් හැමදාම සෙක්ෂන් ෆස්ට් ගන්න උබට ඒක ගේමක් නෙමෙයිනෙ. අනික උබට නුවිනිගෙ ආදරේ විශ්වාසනම් උබ මොකටද අවුල් ගන්නෙ බන්? ගෙදර ගිහින් එක්සෑම් එකට ප්‍රයෝරිටි දීපන්. ඊට පස්සෙ උබ ආස විදියට ඩොක්ට කෙනෙක් වෙන්න පාත් එක හදාගනිම්. මොන ෆැමිලි එකද ඩොක්ට කෙනෙක්ව රිජෙක්ට් කරන්නෙ? ඕනම දෙමව්පියෙක් කැමති තමන්ගෙ ළමයා සතුටින් ඉන්නවට."

ඇයගෙ වදන් ඔහුට නැගිටින්න රුකුල් දුන්න බව ඇය වටහාගත්තෙ ඔහු අවදානයෙන් ඒ බස් වලට සවන් දුන් නිසා.

"හොඳට හිතලා නුවිනිටත් කියපන් බය නොවී හොඳට ස්ටඩීස් කරගන්න කියලා."

ඒ තමයි නිරාෂා පන්සිළු. තවකෙක් කඩා වැටෙද්දි වචන වලින් ශක්තියක් ලබාදෙන්න පුළුවන්කමක් ඇයට පෙර සිටම උරුම වී තිබුනා. එදින ඔවුන් පාසලින් නික්මුනේ බොහෝ වෙලාවක් කතා කිරීමෙන් පසුවයි. එදින රාත්‍රියේම ඔහු ඇයට එවා තිබූ එස් එම් එස් එක කියවීමෙන් අනතුරුව ඇයට සැනසීමෙන් පාඩම් කිරීමට පුළුවන්කම ලැබුනා.

"තෑන්ක්ස් නිෂූ කෙල්ල හැමදේටම. දැන් මම හිතේ සැනසීමෙන් පාඩම් කරනවා."

ඒ වදන් ඔහුගේ වුනා. ඉන්පසු එළඹි උදෑසන ඔහුගෙ කඩවසම් සිනහව ඇයගෙ දෑස් වලට දැකගන්න පුළුවන්කම ලැබුනා.

එතැන් සිට පැමිණි දවස් බොහෝමයක් කාර්යබහුලව ගෙවී ගියෙ සාමාන්‍ය පෙළ විභාගය ළං කරමින්. තවත් මාස දෙකකට පසු සාමාන්‍ය පෙළ ලියන දවස් පැමිණියා. පාසල් මිතුරු මිතුරියන් සමඟ ඇයත් ඔහුත් විභාගයට මුහුණ දුන්නා. 'හැමදේම හොඳින් සිදුවෙයි ' කියන බලාපොරොත්තුව ඔවුන්ගෙ දෑස් තුළ ඉතා පැහැදිලිව ලියවී තිබුණා. තොරතුරු තාක්ෂණය පේපරයත් සමඟින් විභාගය අවසන් වුනේ හැමෝගෙම සිත් තුලට තාවකාලික සැනසීමක් අත් කරමින්. විභාග ශාලාවෙන් නික්මෙන විටම වගේ ඉදිරියෙන් සිටි උසස් පෙළ ටියුෂන් ක්ලාස් වල ධූත පිරිස් අත් පත්‍රිකා බෙදා දීම ආරම්භ කර තිබුනා.

'හොඳම ටියුෂන් පන්තිය සුසිප් නුගේගොඩ......' වැනි වදන් එම පත්‍රිකාවල දක්නට තිබුනා. බොහෝ සිසුන් එම කොළ වලින් රොකට් හදා ඒ මොහොතෙම පියාසර කෙරෙව්වා.

"අම්මෝ ඇති යන්තම් ඒකත් ඉවරයි...ඊළඟට ඒලෙවල් බීසනේ...." යසස් තමන්ට ලැබුනු අත් පත්‍රිකාවෙන් රොකටයක් යවමින් කියූ විලසට සියල්ලම සිනාවෙමින් පාසලෙන් පිටතට පැමිණියෙ පාසලේ සොඳුරුම ඉසව්වක ඔවුන් විසින් ගත් කණ්ඩායම් ඡායාරූප කිහිපයකට පෙනී සිටීමෙන් අනතුරුවයි.

"මේ කට්ටිය එක්ක කූල් කැෆේ ගිහින් අයිස් ක්‍රීම් එකක් කාලම ගෙදර යමුද?" තමන් ලංකාවෙ සිටින අවසාන දිනය එදින බැවින් නිරාෂා පැවසුවෙ තමන් එදිනම රාත්‍රියෙ එංගලන්තය බලා පිටවන බවට දන්වන්නත් මෙය හොඳ අවස්ථාක් බැවින්.

"ඒහ්....මචන්ලා මන් යනවා බන්. නුවිනි බස්ටෑන්ඩ් එකට ඇවිත් කියලා මැසේජ් එකක් දාලා."

ඒත් සමඟම යහළුවන්ටත් අත වනා හීයක් මෙන් දුවගෙන ගිය ඔහු ඈතට නොපෙනී යන විට පන්සිළුගෙ ළය පත්ලෙන් ගලාගෙන ගිය හීන් විදුලි සැරය ඇයව රිදවනු දැමුමා. පෙර නොවිඳි ලෙස නෙත් කොනක් තෙත්වනු දැනෙද්දි ඇය වේගයෙන් ඇහිපිය සැලුවා.

"ඌ ගියාට කමන්නෑ බන්. අපි අයිස්ක්‍රීම් එකක් කාලම ගෙදර යමු." යසස් නම් ගැටවරයා පවසන්නට වුනේ ඔවුන්ගේ ළබැඳි යෙහෙළියක් වූ නුරාෂාගෙ දෑස් මත වූ කඳුළු පටලය දෙසට දෑස් යොමා වෙනතක් බලමින්. ඇතැම්විට ඊළඟට ඔහු මුවින් නික්මුන සුසුම ඇය නොදැනුවත්වම ඇය වෙනුවෙන්ම වන්නට ඇති.

"කමන්නෑ යසස්. අපි ගෙදර යමු."

"සෑඩ් මූඩ් ඉන්නෙපා ඕයි. මේ මං වගේ සතුටින් ඉන්නවා. හරි එහෙනම් කූල් කැෆේ ඕන්නෑ. අයිස්ක්‍රීම් එකක් කන ගමන් ගෙදරට පයින් යං." ඔහු පවසන්නවුනේ දීප්තිමත් දෑස් වලින් ඇය දෙස බලන්. ඔවුන්ගේ නිවෙස් එක ළඟ පිහිටි නිසාත් පාසලට ආසන්න නිසාත් ඇය එම යෝජනාවට කැමති වුනා.

"ඒක නෙමෙයි ඔයා මොනවද ඒලෙවල්ස් වලට කරන්න හිතන් ඉන්නෙ?"

"මම??"

"හ්ම්...මමනම් හිතන් ඉන්නෙ ආට්ස් කරන්න."

"එහෙමද? මම හිතුවෙ ඔයා බයෝ කරයි කියලා. හැමදාම සයන්ස් වැඩිම ඔයාටනෙ."

"හ්ම්....ඒත් මට මියුසික් කරන්න ඕනෙ දිගටම. ඒ නිසා ආට්ස් තෝරගන්නවා. කියනෝකො ඉතින් මැත්ස්ද? බයෝද? අරූ බයෝ නිසා තමුසෙත් බයෝ කරනවා කියලනම් කියන්නෙපා." යසස් පවසද්දි ඇය හිමින් සිනාසුනා.

"අපෝ ඒ පිස්සා යන පාරකනම් මන් යන්නෑ හරී...." ඇය විහිළුවෙන් පවසන විට ඔහු තොල් අඟ ඇඳුනෙ සිහින් සිනාවක්. නමුත් එක තවකෙක් පාච්චල් කරන අන්දමේ සිනහවක් නොවූවා.

"බොරුව දාන්නෙපා නිශූ...."

"ඉස්සරහට මම දන්නෑ මොනවද කරන්නෙ කියලා යසස්. මම අද රෑ අම්මා එක්ක අප්පච්චි ඉන්න දිහාට යනවා." ඇය පවසන්නට වුනේ ඔහුගෙ පෙර කියමන මඟ හරිමින්.

"මොනවා? එංගලන්තෙ?" ඇය සෙමින් හිස වනන්නට වුනා.

"ඇයි අපිට කලින් කිව්වෙ නැත්තෙ? නදීෂයා දන්නවද?" තරමක නොරිස්සුමකින් ඔහු අසන්නට වුනේ.

"කියන්න ට්‍රයි කරාට බැරි වුනා. එයා ගෑනු ළමයා එක්ක බිසීනෙ. අද තමයි එයයි ඔයයි දෙන්නටම කියන්න හිටියෙ. රෑට යන්න කලින් මම ටෙක්ස්ට් එකක් දානවා." ඇයගෙ නෙත් කොනක් කඳුළු කැට වලින් තෙත් වූ අයුරු දැක යසස් හුස්මක් පහත දැම්මා.

"යන තැනක පරිස්සමින් ඉන්න නිෂූ....එංගන්තෙ තියෙන්නෙ මුහුදු කීයක් එහාද? ඉස්සර වගේ හම්බවෙලත් ඉවරයි එහෙනම් නෙහ්.....ඔය අයිස් ක්‍රීම් එක කඳුළු වලින්ම දියවෙන්න කලින් කනවා..."

ඇය තම කම්මුල් තෙත් කරන කඳුළු වැල් පිටි අල්ලෙන් පිහදමන්නට වුනා. නිරාෂා වැඩිපුරම සමීප වුනේ නදීෂ්ට. යසස් ඔවුන් සමඟම සිටියද ඔහුව එතරම්ම ළඟින් ආශ්‍රය කරන්න නිරාශට නොහැකි වුනා. කෙසේ හෝ නොහිතුව ලෙස නිරාෂා නදීෂ් ඉදිරියෙ නොහෙළු කඳුලු වැල් යසස් ඉඳිරියෙ පිටාර යන්නට වුනා. ඇතැම් විට ගතවුනු විනාඩි කිහිපය තුළ ඔහුව ඉතා ලෙංගතු ලෙස ඇයට දැනෙන්නට ඇති.

"ඒහ් මෝඩ කෙල්ල...අඬන්නෙපා හලෝ.....තමුසෙ කොහෙ ගියත් කමන්නෑ. අපි ඉන්නෙ එක අහසක් යටනෙ. ඉතින් ඒ මදිද? හැබැයි උබ සුද්දෙක්වනම් බඳින්නෙපා. එහෙම වුනොත් උබ මෙහෙ ආයි ආව දවසක අපිට ඉංග්‍රීසි අහලම එපා වෙයි." ඇය විටක ඔවුන් සමඟ ඉංග්‍රීසියෙන් කතා කරමින් ඔවුන්ට එම බස එපා කරවූ සැටි මතක් කරමින් ඔහු පවසන්නට වුනේ ඇයගෙ මුවටද සිනහව කැන්දමින්.

"නරකට හිටී නේහ් මම සුද්දෙක් ව බැදන් ආවොත්? පොඩ්ඩක් හිතලා බලනවකො මම සුද්දෙක් බැදලා අපේ රටටම ඇවිත් ඉංග්ලිශ් නර්සරි එකක් දානවා. එතකොට ඔයාට පුළුවන් ෆියුච බබාව මං ගාවට ඉගෙනගන්න එවන්න. පරණ යාළුකම් සලකලා මං ගාණක් අය නොතර ඉන්නම්." මාවතේ සමාන්තරව ඇය සමඟම ඇවිඳ යමින් සිටි ඔහු ඇය විරිත්තා කියූ කතාවට සිනහවන්නට වුනේ ඇගේ කතාව සිතින් මවා ගනිමින්.

"හැබැයි උබට ටීචින්නම් ගැලපෙනවා මොනවා වුනත්. දවසක අරූ වගේ හිච්චි කොල්ලෙක් තමුසෙට ලව් ලෙට එකක් දීලා ප්ලීස් මිස් මේකෙ වැරදි හදා දෙන්න කිව්වොත් උබට පුළුවන් ඒකෙත් වැලන්ටයින් ද වලන්ටයිම්ද කියලා හරියටම හොයාගන්න." ඔහුගේ කීමත් සමඟ ඔවුන් නැවතත් කොක්හඩලා සිනහසෙන්නට වුනා.

ඉතින් කනගාටුදායක විනාඩි කිහිපයකින් අනතුරුවත් ඔවුන් සිනාවෙමින් ඉඳිරියට යන්නට හේතුවක් සාදගෙන අවසන්.

(මොරාල් - අසීරුම කාර්තුවලදීත් සතුටින් සිටීමට හේතුවක් සොයා ගන්න.)

🌸✨🌸

ඇයත් ඔහුත් නිවස් වලට හැරෙන මංසන්දිය අසලින් වෙන් වන්නට තීරණය කලේ උණුසුම් වැළදගැනීමකින් අනතුරුවයි.

"නිෂූ.....ගියාම කෝල් කරන්න තරම් අපි ගාව පහසුකම් නැති වුනාට කමන්නෑ. පුළුවන්නම් ලියන්න. ඉංග්‍රීසියෙන් හරි කමන්නෑ බන්. උබ නැතුව අපිට පාළු දැනෙයි. "

ඇය යම්තමට සිනාසී හිස වනා ඔහු ඇය අත තැබූ ලිපිනයද බෑගයේ පොකට්ටුවට දමාගෙන නික්මී ගියේ තම පියාගේ එංගලන්තයේ වෙසෙන නිවසේ ලිපිනයද ඔහු හට ලබා දීමෙන් අනතුරුවයි.

ඉතින් එය ගැටවර වියේ ඔවුන්ගේ අවසන් හමුව වූයේ ඒ අයුරින්.

නිවසට ගොස් පිරිසිදු වී මව සමඟ බෑගයන් ඇසුරූ ඇය තම මවගේ සොහොයුරාත් ඔහුගෙ බිරිඳත් පැමිණෙන තෙක් බලාසිටින්නට වුනේ ගුවන් තොටුපලට යාම සඳහායි.

ඒ අතර සූදානම් ව සිටි ඇය කාමරයට පැමිණ දුරකතනයෙන් නදීෂ්ව සම්බන්ධ කරගැනීමට බොහෝ වාර ගණනක් වෙහෙසුනද ඵලක් නොවූ කල ඇය තම පොත් මේසය අසලට පියවර ඇහිදින්නට වුනා. ඒ අසල වූ පුටුවෙන් අසුන්ගත් ඇය සී ආර් පිටුවක් අතට ගෙන එහි ලියන්නට වුනේ නදීෂ්ට.

නදීෂ්,

නදීෂ්, මම අම්මා එක්ක අප්පච්චි ගාවට යනවා. ආයි ලංකාවට එන දවසක් කියන්න දන්නෑ බන්. මේ කලින් කියන්න ඕනෙ වුනේ....ඒත් කොහෙද ඉතින් තමුසෙ හැමතිස්සෙම බිසීනෙ. නුවිනි නංගි එක්ක සතුටින් ඉන්න කොල්ලො. මීට පස්සෙ ඉතින් උබගෙ කුරුටු ගී වල වැරදි හොයන්නයි....ඒවයෙ අඩුපාඩු හදන්නයි.....ඒවට හිනාවෙන්නයි මම නැතිවෙයි. මම හිතන් හිටියෙ උබගෙන් ෆෙයාවෙල් ගිෆ්ට් එකක් ඉල්ලගන්න යන්න කලින්. කොහෙද ඉතින් උබට ඉහටත් උඩින් ලව් සික් එකනෙ.

ලියුමක් ලියද්දි වචනෙන් දෙකෙන් ඉවරකරන්න මට බෑ බන්. හිතේ තියෙන සේරම වමාරලා දාන්නයි මට ඕනි. මම දන්නෝ කොල්ලො උබ අනිවා නයින් ඒස් දාන සිරා පොරක් කියලා. ඒත් ඕලෙවල් පාස් වුනා කියලා ඒ ලෙවල් වල සියල්ල දත් වගේ නම් ඉන්නෙපා මචං. ඒ ලෙවල් බයෝ කරලා හොඳ ඩොකෙක් වෙයන්. වයසට යන්න කලින් උබව බලලා යන්න මන් එන්නම්. පුළුවන්නම් ඇඩ්‍රස් එක වෙනස් නොකර ඉඳපන්. ලංකාවට ආවොත් බලන්න එන්නවත් උබ ඉන්න තැනක් දැනගෙන ඉන්න එපැයි. අනේ මන්දා තියන ටොම් පච සේරම ලියලා අවශ්‍යම දේ මතක් වෙන්නෙත් නෑ ඕයි. ආ....ඔයා හිටියෙ නෑනෙ මම යසස් එක්ක අයිස් ක්‍රීම් කෑවා. යසස් තමයි අරන් දුන්නෙ....බලනවා ඉතිං නංගි බබා හින්දා නිකං කන්න තිබ්බ පින උබ නැති කරගත්තෙ.

ඕකෙ ඕකෙ....ලෙට් මී බී සීරියස් මචෝ.....මම නැතිවුනාට කමන්නෑ....සතුටින් ඉන්න. උබ සතුටින් කියන්නෙ කොහෙ හිටියත් මාත් සතුටින්. ජීවිතේ අපහසුම සිසිරයට පස්සෙත් හරි ලස්සනට මල් පිපෙනවා කියලා මතක තියාගනිම්. අම්මටයි තාත්තටයි සලකන් වයිෆ්ටත් සලකගෙන සතුටින් ඉන්න. මගෙ ජීවිතේ සතුටුදායක මතක ගොඩක් එකතු කරපු ඔයාව කවදාවත් අමතක වෙන එකක් නැහැ.....හදේ ගැඹුරුම තැන ඒ මතක සදාකාලිකවම පරිස්සම් වේවි. හැමදේටම ගොඩක් ස්තූතියි නදීෂ්......බුදු සරණයි.

මීට,

ඔබේ ලබැඳි මිතුරිය

නිශූ....

(ප.ලි : බලපන් ආමන්ත්‍රණයයි අවසානෙයි එකතු වුනාම ලියුමක් කොච්චර ලස්සනද කියලා. උබ ඉතින් හිච්චි කාලෙ ඉඳන්ම ලියුම් ලියපු එකා. මම සිංහල ගෙදර වැඩකටවත් ලියුමක් ලියලා නෑ......බලහන් ඉතින් වෙනස නේ....පිස්සෙක් නොවී.....ලස්සනට ජීවත් වෙයන්. ආදරෙයි බොක්ක)

ඉතින් අවසානයේ එලෙස ලිපිය අවසන් කල ඇය තම නෙත් අඟින් රූටා ගිය කඳුළු කැටය පිසදැමුවෙ ගැඹුරු හුස්මක් ඉහළට අදිමින්. අදින් පසු නැවුම් දිවියක් ඇරඹීමටයි ඇය සූදානම් වන්නෙ. එක් අතකින් ඇය මවත් සමඟ පියා අසලට යෑම පිළිබඳව සතුටු වූවා. අදින් පසු ඔවුන් සැබෑ පවුලක් වශයෙන් එකට දිවි ගෙවන්නටයි සැරසෙන්නෙ. ඇයට අඩුවෙන්ම ලැබුණු පිය සෙනෙහස ඇති තරම් විදීමට හැකිබව දැනෙනවිට ඇය හදවතින්ම සතුටු වූවා. නමුත් තම මව්රට හැර ගොස් නොදන්න මිනිසුන් බොහොමයක් සිටින ස්ථානයකට යෑමට හිත හදා ගැනීම ඈ සිතුවට වඩා බෙහෙවින් අසීරු වුවා.

ඉන්පසු ඇය නැවතත් පාට කොලයක් හරි හතරැස් ආකාරයකට කපා පෙර දවසක පියා විසින් උගැන්වූ ඔරිගාමි කඟවේනුන් දෙනෙනෙක් සකසන්නට වූවා. ඒවා ද සමඟ කාමරයෙන් පිටතට පැමිණි ඈ තම මවට පවසන්නට වූයෙ මිතුරකුගෙන් සමුගෙන ඉක්මනින් පැමිණෙන බවටයි. මවගෙ අවසරත් රැගෙන ඇය විගහට පියවර තබමින් ඇවිදින්නට වුනේ යසස්ගෙ නිවසට. එහි ගොස් යසස් වෙත කවර දෙකක් දිගු කල ඈ එකක් ඔහුට බවත් අනෙක නදීෂ්ට බවත් පවසා පිටවන්නට සූදානම් වුනා.

"නිෂූ.....ඔහොම පොඩ්ඩක් ඉන්නවද."

"ඉන්න විදියක් නෑ යසස්. මාමලා ආව ගමන් අපි යනවා. මාමා එනගමන් කියලත් කිව්වා."

"හරි ඕයි තප්පර පහක් ඉන්නෝකො. තමුසෙට ෆෙයාවෙල් ගිෆ්ට් එකක් දෙන්න තියෙනෝ." එසේ පවසා ඉක්මනින් නිවස තුළට දිවගොස් ඔහු නැවත පැමිණියෙ ලැමිනේට් කරපු ඡායාරූප කීපයක් ද අතැතිවයි.

"මේක...???"

"අද එන්න කලින් අපි සෙට් එක ගත්ත ෆොටෝස් ටික. ඔයා යනවා කිව්ව නිසා නිහාල් අයියගෙ ස්ටූඩියෝ එකට ගිහින් ප්‍රින්ට්අවුට්ස් ගත්තා. හිතාගන්නවකො ෆෙයාවෙල් ගිෆ්ට් එකක් කියලා."

"අනේ තෑන්ක්ස් යසස්.....මට ඔයාවත් කවදාවත් අමතකවෙන එකක් නෑ."

ඇය දෙනෙත් වල කඳුළු පුරවන් පවසනවිටදි ඔහු හීනියට හිනාවෙමින් හිස සැළුවෙ දරාගැනීමට අසීරුම අවස්ථාවකදිත් කඳුළු නොසලා ඉන්න ආයාස ගන්නාක් මෙන්.

"මට ලියන්න."

"අනිවාරෙන්..... මම යනවා යසස්......"

"ගිහින් එන්නම් කියන්න නිශූ....අපිව අමතක කරන්න එපා. මැරිලා යන්න කලින් පුළුවන්නම් ආපහු ලංකාවට එන්න."

"මොනවද කියන්නෙ මෝඩයො....මැරෙන කතා කියන්නෙ පිස්සුද ආ......" ඔහුගෙ අත්ලට පහරක් ගසමින් පැවසූ ඇය තම මිතුරාව මහත් ලෙංගතුකමකින් දවසෙ දෙවන වරටත් උණුහුම්ව වැළඳගෙන දිව යන්නට වූයේ තවත් එහි සිටීමට තරම් ඇයට ශක්තියක් නොවූ තැනයි.

✨🌸✨

ඉතින් ගැටවරයන් විලසින් ඔවුන් අවසාන වරට දුටු අවසන් දිනය එය වන්නට වුනා. එකොළොස් වසරක් සිට එකට කල්ගෙවූ ඔවුන් මෙලෙස වෙන්වීම දරාගැනීමට නොහැකි තැන එංගලන්තයෙ තම පියාගෙ නිවසෙහි තමන්ට ලැබුණු හුරුබුහුටි සයනයෙහි වැතිර ඇය රහසේ හඬා වැටුනා. ඒ වද්දි එංගලන්ත කාලයෙන් දෙකේ හෝරාව පමණ වී තිබුනා. තවත් හෝරා කිහිපයකට පසුව ඇය නාන කාමරයට පිවිස මුහුණ සෝදාගන්නට වුනේ පෙනහළු අභ්‍යන්තරයෙන් ඉහළට පැමිණි සුසුම හිස් අවකාශයට මුදා හැරීමෙන් අනතුරුවයි. මින් පහුවට ඇයට සිදු වන්නෙ සුදු ජාතිකයන් බොහෝ පිරිසක් සමඟ ගතකරන්නට බව සිහි වද්දිත් ඇයගෙ මුවින් නික්මුනේ නොරිස්සුම් හඬක්. ඇයට අවැසි වුනා හැමදේම මොහොතකට අමතක කර සැහැල්ලු හුස්මක් ගන්න.

ඒ ආකාරයෙන්ම නින්ද ඇය කරා පැමිණෙන්නට වූයෙන් සියලුම දෝමනස්සයන් අමතක කර සිහින අනන්තයක් සොයා ඇය ඇවිඳ යන්නට වුනා.

ගතේ මෙන්න හිතේ විඩාව නිසාවෙන් පසු දින උදෑසන ඇය අවදි වද්දි උදෑසන දහයට ආසන්නයි.

"දෝණි නැගිට්ටද?"

"ගුඩ් මෝනින් අම්මා! ගුඩ් මෝනින් අප්පච්චි."

"ගුඩ් මෝනින් පැටියො"

"මගෙ දෝණිට පාළුද?"

"යාළුවො නැතුව පාළුයි අප්පච්චි. ඒත් මම පුරුදු වෙන්නම්."

" එහෙම ඕනි නෑ... හොඳ යාළුවෙක්ව අපි හොයාගමු."

නිරාෂා පන්සිළුගෙ පියා එංගලන්තයෙ සුප්‍රසිද්ධ හෝටලයක කෝකියෙක්. නමුත් දින ත්‍රිත්වයකට නිවාඩු ගෙන සිටි ඔහු තම බිරිඳත් දරුවත් සමඟ ඇවිදින්නට හිතාගෙන සිටියා. ඉතින් තවත් හෝරා කීපයකට පසුව ඔවුන් සිටියෙ ලන්ඩන් නුවර බිග් බෙන් ඔරලෝසුව ඉදිරිපිට. විසල් නෙත් වලින් ඇය ඒ දෙස නෙතු යොමන් සිටියෙ කිසිදිනක මෙවැනි ප්‍රාතිහාරයක් දැක නොතිබුන බැවින්. ඇයට එකවර තම මිතුරන් ද සිහිපත් වන්නට වූයෙ ඔවුන්ද සිටියේනම් කොතරම් අපූරුදැයි සිතෙමින්.

එලෙස එම දින ත්‍රිත්වය පුරාවටම ඇය තම මව් පියන් සමඟ දෑත් පටලන් සුප්‍රසිද්ධ කලාගාරවලත්, මින්මැඳිරි තුලත්, 'ඇමියුස්මන්ට් පාක්' ලෙසින් රූපවාහිනී තිරයෙන් පමණක් දැක තිබූ උද්‍යානවලත් සතුටින් ඇවිද යන්නට වුනා. එංගලන්තයෙ තම පියා රැකියාව සිදුකරන හෝටලයෙන්ද ඔවුන් ඉතා ප්‍රණීත ආහාර වේල් රස බැලුවා.

'අනේ නදීෂ් යසස් දෙන්නත් හිටියනම්...' කඳුළු පටයක් ඈ දෑස් අග ඇඳී නොපෙනී යන්නට වුනා.

මුල් දවස් කීපයෙ අළුත් දිවියට හුරු වීම දුෂ්කර වුනත් ඇය සුන්දර ලන්ඩන් නගරයෙ දිවි ගෙවීමට දවසින් දවස හුරුවන්නට වුනා. ඒ අතර අපූරු මිනිසුන් ඇයට මුණ ගැසුනා. ඉතින් තවත් හවස් යාමයක ඇයගෙ නෙතු ගැටුනෙ පෙර දිනක යසස් විසින් ඔහුගෙ ලිපිනය ලියා දුන් කොළ කැබැල්ල. ඉතින් අලුත් නගරය ගැනත් ඇය දැකපු කරපු දේවල් වගේම අලුත් නගරයෙ තමන්ට මුණ ගැහුණ සුන්දර මිනිස්සු ගැනත් ඇය ඔහුට ලියන්නට සිතා ගත්තා. සිතූ පරිදිම එය ක්‍රියාවට නැංවූ ඇය ලියුමක් ලියා තැපැල් කාර්යාලය හරහා තැපැල් කරා. ඇය පියා විසින් ඇයට ත්‍යාග කල නවතම පන්නයෙ ස්මාට් දුරකථනය ගැනත් එහි ලියා යැවුවා. අමතක නොකරම තමන්ගෙ දුරකථන අංකයත්, ඊ මේල් ලිපිනයත් එහි සඳහන් කර යවන්නට ඇය කටයුතු කලා.

එදිනෙන් පසු ගතවන සෑම මිනිත්තුවකම ඇය තම මිතුරන්ගෙන් ලිපියක් හෝ දුරකථන ඇමතුමක් එන තෙක් මඟ බලන් සිටියා. නමුත් සිතූ පරිදි පිළිතුරක් නොලැබෙද්දි ඇය ලියුම ඔවුනට නොලැබෙන්නට ඇති ලෙස අනුමාන කරමින් නැවත ලියුමක් ලියා එහි පිටපත් ගණනාවක් තවත් ලියුම් කවර වල දමා යවන්නට කටයුතු කලා. ඉන් තවත් දවස් ගණනාවක් යන්නට වුවත් පිලිතුරක් ලබා ගැනීමට ඇයට නොහැකි වන තැන ගතවන දවසක් ගානෙම සිදුවුන එකම දේ ඇගේ බලාපොරොත්තුත් විශ්වාසයත් පළුදු වී යාමයි.

ර්‍"ඒ දෙන්නට මාව එච්චර ඉක්මනට අමතක වෙලාද?"

ඉවසා ගැනීමට නොහැකි වූ තැන ඇය තම කොට්ටයට හිස තබාගෙන හඬා වැටෙන්නට වුනා. නමුත් ඇය තවමත් මිතුරන් බොහෝ සෙයින් විශ්වාස කරන්නට වුනා. කුමක් හෝ වැරදී ඇති බවට ඇය අනුමාන කරන්නට උත්සහ කලා. ඇය තමා සතු වූ පැරණි දුරකතනයෙන් තමා නදීෂ්ගේ දුරකතන අංකය සම්බන්ධ කරගැනීමට දරපු වෑයමත් අසාර්ථක වී ගියෙ එය ක්‍රියාවිරහිත බව උත්සහ කල හැම අවස්ථාවකම සවන් වැකූ නිසත් තවත් දවසක තවදුරටත් එම අංකය භාවිතයේ නොමැති බවත් වටහා ගැනීමෙන්.

නමුත් තවමත් ශේෂ වුනු විශ්වාසයෙ කැබලි කිසියම් දිනක මිතුරන් ඇයට කතාකරන බවට සිහි ගන්වන්නට වූවා. එතෙක් උපරිම අයුරින් දිවියෙ සතුටු දායක ස්ථානයකට ළඟා වීමට උත්සහ කරන්න ඇය අදිටන් කරගත්තා.

ඉඳින් ඒ අයුරින් දින සති මාස අවුරුදු කෙමෙන් කෙමෙන් ගතවන්නට වුනේ ඇයව මානසිකව මෙන්ම කායිකවත් ශක්තිමත් ගැහැණු ළමයෙක් කරලා. මේ ගෙවී යන්නෙ ලංකාවෙ සිට එංගලන්තයට පැමිණ හත්වන අවුරුද්ද. ඇය දැනටමත් ලන්ඩන්හි කීර්තිමත් විශ්ව විද්‍යාලයක අවසාන වසරෙ සිසුවියක් ලෙසින් ඉගෙනගන්නවා. තවත් මාස ගණනාවකින් එළඹෙන උපාධි උත්සවයෙන් පසුව ඇය දෙමව්පිය ආශිර්වාදය මැදම තම මවගෙ සොහොයුරා සමීපයට යාමට තීරණය කර අවසන්. එමෙන්ම ඉංග්‍රීසි ගුරුවරියක් ලෙසට දියතලාව ප්‍රදේශයේ පාසලකට පුහුණු ගුරුවරියක් ලෙසින් යාමට ද සිතා සිටි ඇය ඉක්මනින් එම දවස් ගත වෙන්නට කියා සිහින මවන්නට වුනා.

ඉතින් සිතූ ලෙසින් දවස් ගත නොවූවත් ඇය හීන දැකපු දවස පැමිණියෙ බොහොම ඉක්මනින්.

****

දෙමාපිය ආශිර්වාද මධ්‍යයෙ ඇය ලංකාවට පැමිණ දැනට සතියක් ගත වී අවසන්. තම නැන්දනියටත් මාමාටත් පවසා ඇය නිවසින් පිටතට පැමිණියෙ යසස්ගෙ නිවසට යාමට.

හෝරා කිහිපයකට පසු ඇය සිටියෙ තම මිතුරාගෙ නිවසෙහි ගේට්ටුව අබියසයි. පෙර පරිදි දිස් වූ නිවස පිළිසකර කර තීන්ත පින්තාරු කල ඇති බව ඇයගෙ නෙතු ගැටුනා. නැවුම් වාතයෙන් පෙනහලු පුරවාගත් ඇය ගේට්ටු පියනට තට්ටු කරන්නට වුනේ හදවත අසාමාන්‍ය ලෙසින් ගැහෙන්න වූ අතරෙයි. විනාඩි කිහිපයකින් ගේට්ටුවෙන් පිටතට පැමිණියෙ සුදු අත් දිග ටීශටයකටම ශෝටක් ඇඳ සිටි තරුණයෙක්. පන්සිළු ට වඩා බොහෝ උස් වූ ඔහු නින්දෙන් නැගිට ඇත්තෙ සුළු මොහොතකට පෙර බව අවුල් වූ හිස කෙස් පැහැදිලි කරා. පෙර සිටි හීන් දෑරි කොලුවා වෙනුවට කඩවසම් පෙනුමකට උරුමකම් කියූ ඔහුගෙ රැවුල මනාවට කපා තිබුනා. හිස කෙස් ගෙල පිටුපසට තරමටම දික් වී තිබුනා. නමුත් ඇය දුටු විගස ඔහුගෙ නෙත් විසල්ව යන්නට වුනේ තමා ඉඳිරියෙ සිටින ඇයගෙ පැමිණීම මෙවැනි මොහොතක ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවුන නිසා.

"නිශූ?? අහ්..."

නැවතත් එම ඇස් දෙවන වරටත් විසල්ව යන්නට වුනේ ඇයගෙ ඇඟිලි පහක් ඔහුගෙ කම්මුලක සලකුණු වෙද්දි.

"ඒයි....පිස්සුද?"

ඒත් එක්කම තවත් වතාවක් අනෙක් කම්මුලටද පහරක් එල්ල කල ඇය නැවතත් අත ඔසවන්නට වුනත් ඇගේ දෑත ඔහු තම අතින් අල්වා ගත්තා.

"මොළේ හොඳ නැද්ද නිෂූ......මොකද මේ...."

"ඔව් ඔව් මගෙ මොළේ හොඳ නෑ.....මට හොඳටම පිස්සු...මට පිස්සු හැදුනෙ තමුසෙලා දෙන්නා නිසාම තමයි. ලන්ඩන් වල ඉන්නකොට තමුසෙලව මතක් වෙද්දි මට පිස්සු හැදුනා තමයි යසස්." පිටවූ ඉකියක් සමඟින් ඇය පවසන්නට වුනා.

"හේයි....පොඩ්ඩක් සන්සුන් වෙනවා නිශූ...අපි කතා කරමු. ඔයා දන්නැති ගොඩක් දේවල් සිද්ද වුනා නිශූ...මාව විශ්වාස නැද්ද?"

"විශ්වාස??? තමුසෙගෙ කටින් ඒ වචනෙ වත් කියන්නෙපා. මම යන්න කලින් ඔයා ලියන්න කියද්දි උත්තරයක් කවදහරි ලැබෙයි කියන් විශ්වාස කරලා ලියුම් කීයක් එව්වද? ඒවට උත්තර ලැබෙන්නැති වෙද්දි ත් විශ්වාස කරන් මම කෝල්ස් කීයක් ගත්තද? ටෙක්ස්ට් මැසේජ් කොච්චර එව්වද ඒත් ඔය දෙන්න කරලා තියෙන්නෙම මගෙ විශ්වාසෙ කඩපු එක විතරයි. නදීෂ් කමන්නෑ කියමු. එයාට ගෑනු ළමයා නිසා මාව වැඩකට නැතිවුනා කියමු. ඒත් ඔයා.....මම විශ්වාස කරලා කරලා අන්තිමට රිදිලා තියෙන්නෙත් මටම විතරයි....."

"අඬන්නැතුව හොඳ ළමයා වගේ ඇතුලට එන්නකො....ම්...."

"ඕන්නෑ...මම යනවා...මම මෙහෙට ආවෙ අපේ යාළුකම මෙතනින් ඉවරයි කියන්න. අර බූරුවටත් මම කියපු ටික මේ විදියටම ගිහින් කියනවා." ඇය ආවේගයෙන්ම කියා නැවතත් ආපිට යන්නට හැරෙනවිට යසස් ඇයව තම බාහු වලට මැදිකරගන්නට වුනේ මහත් ආයාසයෙන්.

"ප්ලීස් නිශූ....එහෙම කරන්නෙපා....මට තව වතාවක් මගෙ හොඳම යාලුවෙක්ව නැති කරගන්න බෑ......මම විදෙව්වා නිශු....ගොඩක් විදෙව්වා.....ආයෙත් පාරක් බෑ බන්......එක පාරක් කියන දේ අහලා නවතින්න. මම කියන දේ ඇහුවට පස්සෙත් මට සමාව දෙන්න වටින්නෑ කියලා හිතනවනම් ඔයත් මාත් එක්ක තරහ වෙන්න. ඒකට කමන්නෑ..." ඇගෙ උරහිසෙහි මුහුණ සඟවාගෙන සිටි ඔහුගෙ නෙත් තෙත්ව යන්නට වුනා. නමුත් ඇය මෙවර හිතුවක්කාර වී සිටියා.

"මට මොන කතාවක්වත් අහන්න ඕන නැහැ. අයින්වෙනවා." ඔහුව පසෙකට තල්ලු කර ඉඳිරියට යන්න සැරසුන ඇය හිටිතැනම ගල් ගැසී යන්නට වුනේ යසස්ගෙ මුවෙන් ඊළඟ නිමේෂයෙ නික්මුණ වචන හමුවෙ.

"නදීෂ් නැතිවුණා."

.

.

.

"මො -කද්ද?"

"නදියා නැතිවුනා....හරියටම එදා ඔයා ලංකාවෙන් ගිය දවසට පහුවෙනිදා හවස"

"බොරු....ඔයා කියන්නෙ බොරු...."

"විහිළුවකටවත් හොඳම යාලුවා නැති වුනා කියන්න තරම් පහත් මිනිහෙක් නෙමෙයි නිශූ මම." කඳුළු පටලයකින් වැසී තිබුනු දෑස් පොඩිකරමින් ඔහු පිටුපස හැරුනා.

"වෙච්ච හැමදේම කියන්නම්. ඇතුලට එන්න. "

ඔහු ඉදිරියට පියවර කිහිපයක් යන්නට ගත්තත් ඇය හිටි තැනම නැවතී සිටින ආකාරය දැකීමෙන් ඔහු නැවතත් ඇය අසලට පැමිණ වෙව්ලමින් සිටින ඇගෙ උරහිස් අල්වා ගත්තා.

"මාව තවත් අසරණ කරන්නෙපා නිශූ....මට තවත් දරාගන්න ශක්තියක් නෑ." ඔහුගෙ වචන ඇයව තවත් රිදවන්නට වුනා.

🌸✨🌸

නිල් පැහැති ගුවන ඉතා පැහැදිලිව දිස් වන්නට වුනත් ඔවුන් දෙදෙනාටම එය තවත් එක් මූසල දිනයක්ම පමණක් වුනා. තමන්ගෙ ආදරණීයන්ගෙ වේදනාව පෙර සිටම දැකගන්න පුළුවන්කමක් නොතිබුන ඔහු ඇයට පිටුපසින් සිට හිස් අවකාශය දෙසට නෙත් යොමු කරන් සිටියා. පැය ගණනාවක් තිස්සෙ ගැස්සෙන උරහිස්වල රිද්මය ඇය අඬන බව හොඳින් වටහා දුන්නත් ඔහු කියා කුමක් කරන්නද? ඒ පිරිමි හිතත් මහා අසරණයි. තවත් හෝරා කිහිපයකට පසුවත් ඇයගෙ හැඬීම නතර නොවද්දි ඔහු කෙමෙන් ඇය අසලට පියවර තබා ඒ අසලින් පහත් වුනා.

"දැන් ඇඬුවා ඇති නේද ම්?"

"අනේ...යසස් මට දරාගන්න බැහැ....." ඉකි බිඳිමින් සිටි ඇගෙ උරහිස් වටා දෑත් යවා ඔහු ඇයව තම ළයට සමීප කරගත්තා.

"නදීෂ් ඔයා අඬනවට කවදාවත් කැමති වෙන එකක් නෑ නිශූ..... එයා මට අන්තිමට කිව්වෙ නුවීට ආදරේ නොකර ඔයාට ආදරේ කරන්න තිබුණා කියලා. එහෙනම් හැමදාම එයාට සතුටින් ඉන්න තිබුනා කියලා. මේ වගේ වේදනාත්මක මරණයක් කවදාවත් ලැබෙන එකක් නැහැ කියලා. මම එයා ඉස්සරහා අන්තිමට ඔයා එදා මට එයාට දෙන්න කියලා දීපු ලියුම කියෙව්වා. එයා නැතිවෙන්න කලින් අන්තිම මොහොතෙ එයාගෙ මූණෙ හිනාවක් තිබුනා නිෂූ. ඒ ලියුමෙ ලියලා තිබුන දේවල් වලට එයාට හිනා නොවී ඉන්න බැරි වුනා. එයා දුකින් නෙමෙයි මැරුණෙ. මේ ඇත්තමයි...එයා අන්තිමට කිව්වා අපි වගේ යාළුවො දෙන්නෙක් ලැබෙන්න තරම් එයා වාසනාවන්තයි කියලා." ඔහුගෙ එම වචන හමුවෙ ඇය තවත් ඔහුගෙ උණුහුමේ ගුලිවුනේ දරාගත නොහැකි අයුරින් හදවත රිඳුම් දෙනවිට.

යසස් ඇයව ඔවුන්ගෙ ළබැඳි සොයුරගෙ සොහොන් කොත වෙතට රැගෙන පැමිණියෙ ඇය ඔහුගෙන් තමන්ව එහි රැගෙන යන ලෙසට පෙරැත්ත කරද්දි. ඔවුන් එකට හමුවූ අවසන් දවසෙ සා.පෙ විභාගය අවසන් කර තම පෙම්වතිය හමුවට ගිය නදීෂ්හට ඇය පවසා ඇත්තෙ ඇය එළඹෙන සතියක වෙනත් තරුණයකු සමඟ විවාහ ගිවිස ගැනීමට නියමිත බවයි. එනිසා ඇයව අමතක කරන ලෙසත් තම පියාට විරුද්ධව යාමට ඇයට නොහැකි බවත් දිගින් දිගටම පවසා සිටිද්දි ඔහු කියන්නේ කුමක්ද කියාවත් දැන සිටියෙ නැහැ. ඉදින් එදින ඔවුන් අවසන් වරට උද්‍යානයට ගොස් ඇත්තෙ සමුගැනීමේ ත්‍යාගයක් ලෙසට ඇයට එම දිනේ මතකයන් තිළිණ කර දීමටයි. ඉඳින් ඔවුන් සමුගැනීමෙන් අනතුරුව ඔහු උද්‍යාන බංකුවෙහි වාඩි වී හැඬූ බවත් ඒ වේදනාව කිසිවකුට උරුම විය යුත්තක් නොවන බවත් ඔහු තම මිතුරාට පවසා ඇත්තෙ අවසන් මොහොතෙ මරණ මංචකය අබියසදියි. නැවත නිවසට එන මොහොතේ කේදනීය ලෙස ඔහු අනතුරකට භාජනය වි ඇති බවත් වෑන් රියක් ඔහුගෙ ඇට කටු කුඩු කරමින් යට කර ගිය ඇති බවත් යසස් ඇයට පවසන්නට වුනේ හදවතේ තෙරපෙන වේදනාව අසීරුවෙන් මැඩ පවත්වමින්. රෝහල් මැෂින් වලට හිරවී වේදනාවෙන් සිටි අයුරුත් නමුත් ජීවත් කරවීම අසීරු බැවින් අවසාන මොහොතෙ ඔහු තමන්ට කතා කරමින් සිටි අයුරුත් ඔහු ඇයට පැවසුවෙ මීට සුළු මොහොතකට ප්‍රථමයෙන්. ඉතින් ඇයට තවත් වේදනාව දරාගන්නට නොහැකි වූ තැන ඇය අයදින්නට වුනේ නදීශ්ව බලන්න ඇයව රැගෙන යන ලෙසටයි. ඉඳින් ඔහුත් ඇයත් නදීෂ් මිහිදන් කල සුසාන භූමියෙ කඳුළු හෙලමින් තම වේදනාව පිටකරන්නෙ ඉතිරී යන සහෝදර ස්නේහයෙ නාමයෙන්.

"යසස්....නදීෂ් ඇත්තෙ පාළුවෙන්." වේලුනු කඳුළු පාරවල් සමගින් ඇය පවසන්නෙ ඔහුගෙ තුරුලෙ හිඳිමින්. ඔහු තම නිකට ඇගෙ හිස් මුදුනින් තබාගන්නට වුනා.

"අපිත් දවසක එයාට එකතු වෙමු නිෂූ...ඒත් ඒ දවස එනකම් ඉස්සර වගේ හිනාවෙලා ඉන්න බලන්න. අපි දැන්වත් යමුද? පැය ගානක් දැන් හිටියනෙ නිෂූ. ඔයා ඔහොම අඬද්දි නදීෂ් ගෙ ආත්මෙටවත් සැනසීමක් දැනෙන එකක් නෑ."

"ඔයාට තිබුනා මට මේවා කියන්න. මම ගොඩක් කල් බලන් හිටියා."

"මන් කොහොමද නිෂූ මේ දේවල් ඔයාට කියන්නෙ? දරාගන්න බැරුව ඔයාට මොනවා වෙයිද? අම්මා තාත්තට පස්සෙ ඔයා කාට හරි දුක කියලා සැනසෙන්න ඕනා. ඒත් ලන්ඩන් වල එච්චර සමීප මනුස්සයෙක් ඔයාට හිටියෙ නෑ. කොහොමද මම ඔයාට එච්චර ලොකු ගින්දරක් දෙන්නෙ. නදීෂ් ට නොවී මේ දේ මට වෙන්න තිබුනා කියලා මම හැමදාම හිතුවා."

"මොනවද කියවන්නෙ ඔයාට පිස්සු හැදිලද?"

"මම කියන්නෙ ඇත්ත නිෂූ....ඔයා මෙහෙම අඬ..."

"අනේ එහෙම කියන්නෙපා යසස් මම මැරිලා යයි දෙයියනේ.....මට ඔය දෙන්නවම ඕනි....ඔය දෙන්නම මගෙ හොඳම යාළුවො. කොහොමද එක්කෙනෙක් නැතුව ජීවත් වෙන්නෙ."

"අයිම් සොරි නිෂූ....අපි දැන් යමු ම්.....ආයි අපි මෙහෙ එමු."

ඔවුන් නදීෂ් ගෙ මතකයන් සමගින් සුසාන භූමියෙන් පිටතට පියවර ඇහින්දා.

යසස් නිහඬවම රිය ධාවනය කලේ නගරය දෙසට.

"ඔයා හිතනවනම් මම ඔයාගෙ දුක සැප හොයලා බැලුවෙ නෑ කියලා. මන් ඔයාගෙ අම්මට හැම මාසෙම කතා කරා. නදීෂ් නැතිවුනා කියලත් ආන්ටි දන්නවා. ඔයාට දරා ගන්න බැරිවෙයි කියලා තමයි ඔයාට හරි කාලෙ එනකම් මේ දේවල් නොකියා හිටියෙ."

ඔහු තවදුරටත් පවසන්නට වුනේ ඇය නිහඬවම ඇහුම්කන් දෙද්දි.

"දන්නවද මම මෙච්චරකල් ජීවත් වුනේ ඔයා එවපු ලියුම් වලින් නිෂූ....මම ලිව්වෙ නැති වුනත් මම ආයෙ ආයෙ ලැබුන ලියුම් කියෙව්වා. මට ඔයාට ලියන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. මම ඔයාගෙන් ලියුමක් එනකම් හැමදාම බලන් හිටියා. ඒත් තවත් ඒවා ලැබෙන්නැති වෙද්දි මම දැනගත්තා ඔයාට ලියුම් එවලම හති වැටිලා ඇති කියලා. ඒයි මං කියන දේවල් අහගෙන නේද ඉන්නෙ. "

"හ්ම්..."

"මේ අවුරුදු ගානට ඔයා ගොඩක් ඉස්සරහට ගිහින් නිෂූ. හෙට අනිද්දට ඔයා ඉංග්ලිෂ් ටීච කෙනෙක්. ඒක කොච්චර හොඳ දෙයක්ද...මට ඔයා ගැන සතුටුයි ඇත්තටම.....අපේ නිෂූ..ඉස්සරහට ගිහින් කියලා නදියත් ඉන්න තැනක ඉඳන් සතුටු වෙනවා ඇති. " ඔහු වසර ගණනක් මුළුල්ලේ සිතේ සිර කර තබාගත් වචන සියල්ලම පිටාර යන්නට ඉඩ හැර අවසන්.

"අද දවස ගෙවාගන්න ගොඩක් දුෂ්කර වෙයි නිෂූ.....ඒත් අපිට එකතැන නතර වෙලා ඉන්න බෑ. එකතැන් පල් වෙවී ඉන්නැතුව අපි ඉස්සරහට යන්න ඕනි. කැමති දේවල් කරන්න ඕනෙ. සතුටින් ඉන්න පුළුවන් හැම මොහොතෙම සතුටට අපි ළඟට එන්න දෙන්න ඕනෙ. ඒ නිසා ඉස්සරහට එන දවස් වලටත් හොඳින් මූණ දෙන්න තේරුනාද?"

"හ්ම්....ඔයා ඕවා මට කියන්නෙ....මාව දාලා යන්න එහෙම නෙමෙයි නේද?" නැවතත් ඇය කඳුළු පුරවන් ඔහු දෙස බලා හිඳින්නෙ ඔහුත් ඇය දමා දුරකට යන්න තැත් කරනවාදෝයි සිතෙද්දි.

"මම ආදරය කරන ගෑනු ළමයව දාලා යන්න මට බෑ නිෂූ....."

"ඒ කියන්නෙ...ඔයත් එයා ගාවට යනවද?"

"කවුරු ගාවටද? "

"ඇයි දැන් කිව්වෙ ආදරේ කරන කෙනා කියලා." ඇයගේ බොළඳ පැනය අබියස ඔහුගෙ මුවෙහි සිහින් සිනාවක් ඇඳී යන්නට වුනා.

"මම කිව්වෙ ඔයා ගැන. මම ආදරෙයි....."

"ආ???"

"මම ආදරෙයි නිෂූ....."

ඇය ඔහු දෙස කඳුලු පටලයක් බැඳී ගිය දෑස් වලින් බලා සිටියෙ කුමන පිළිතුරක් දෙන්නද කියා සිතාගත නොහැකි වද්දි. ඉතින් ඇතැම් විට පන්හිඳක ඔවුන්ගේ කතාවකට පෙර මං සලකුණු තැනේවි. දිවිය එක මාවතක ඔවුන්ට ඇවිද යාමට ලැබේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු. රස්නෙ කෝපි මෙන් උණුහුම් මිතුදම් රැක දේවා.

නිමි..

ඉතින් මට ත් ඕනි උණු කෝපි වගේ රස්නෙ වචන ටිකක්.

Contents
Previous
Contents
Next

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!