Chapter 4 of 6

03 මන්දාකිණිය

මන්දාකිණී | Complete969 words~5 min read

මාව ගොඩට ඇදගෙන ඇවිත් අතෑරපු එයා කේන්තියෙන් වගේ මගේ දිහා බැලුවේ වැස්ස තවත් ටිකක් වැඩි කරන අතරේ.ඒ අතරින් පතර අකුණක් දෙකක් පුපුරන්නත් අමතක කරේ නෑ.

"දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙනවා.තමුසෙට මගේ දේවල් වැඩක් නෑනේ!!!"

"මහත්තයට පිස්සුද හැබෑට?..

මොකද්ද ඒ කරගන්න ගියේ?..

මැරෙන එක ප්‍රශ්න වලට විසඳුමක් නෙවෙයි!!!"

මහ වැස්ස මැද්දේ මුහුදු හුළඟට සීතලේ ගැහි ගැහි මම එයාගෙන් එහෙම අහනකොට මගේ ලඟටම ආපු එයා මගේ නිකටින් අල්ලලා මූණ උඩට ඉස්සුවේ මගේ ඇස් හරියටම ඒ එමරල්ඩ් ඇස්වල හිරවෙන විදියට.

"මම කරගන්නේ මට ඕන දේ,මේක මගේ ජීවිතේ!!.කොහෙන්වත් ඉඳලා ආපු තමුන් වගේ කෙනෙක් මං ගැන වද වෙන්න ඕන නෑ!!.ඒක නිසා පව් නොදී දැන් යන දේවාලෙක යනවා.!!!.....ගෑණු කියන ජාතිය ඔක්කොම එකයි මට පෙන්නන්න බෑ!!!...."

එයාගේ පිහිතුඩු වගේ වචන නිසා මාව ගැස්සිලා ගියා.මම සාමාන්‍ය විදියට හුස්ම ගන්න උත්සහ කරත්,

සීතල මුහුදු හුළඟ නිසා මට ඒක සෑහෙන්න අමාරු වුණා.මට දැනුනා මගේ නිකටේ තිබ්බ එයාගේ ඇඟිලි වල ග්‍රහණය වැඩි වෙනවා කියලා.

තත්පර ගානක් ඒ එමරල්ඩ් ඇස් දිහා බලාගෙන හිටපු මට එක පාරම හිතුණා එයා මාව පැත්තකට කරලා දායි,මාව මෙතන දාලා යයි කියලා.අපි අතර කිසිම විදියකට සම්බන්ධකමක් නොතිබුණත් මගේ හිත නිතරම අර මට ආපු මුරණ්ඩු හැඟීමේ පැත්ත අරගෙන එයා එක්ක කල්ලි ගැහුණා.

මගේ ඇස් දිහාම බලාගෙන හිටපු එයා මගේ නිකටේ තිබ්බ එයාගේ අත පහළට ගත්තා.කලකිරීමක් වගේ ඇස් වලින් මගේ දිහා බලපු එයා මූණට වැටෙන වැහි වතුර පිහිදන ගමන් මගෙන් ටිකක් පස්සට ගියා.

"ඔක්කොම එකයි"

අපි වටේට තිබ්බ මහ වැස්සත් මුහුදු හුළඟත් අතරින් මට ඇහුනා සෑහෙන කලකිරුනු හඬකින් එයා එයාටම එහෙම මුමුණ ගන්නවා.ඒ කටහඬේ අර ඉස්සල්ලා තිබ්බ තරහා තවදුරටත් තිබ්බේ නෑ.ඒ වෙනුවට ඒකේ මට තේරුම් ගන්න අමාරු හරි අමුතු ගුප්ත ගතියක් තිබ්බා.

"ඔයා මම කවුද කියලවත් දන්නේ නෑ.මගේ ජීවිතේ වෙන්නේ මොනාද කියලවත් අඩු තරමේ ඔයා දන්නේ නෑනේ?...ඒ නිසා කරුණාකරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න"

එයාගේ ඉස්සරහ හිටගෙන හිටපු මට මගේ ඇගේ හිරියක් දුවනවා වගේ දැනුනා.ඒ වැස්සටවත් හුළඟටවත් නෙවෙයි,එයාගේ වචනවල තිබ්බ බර ගතියට.ඒ එමරල්ඩ් ඇස් මේ වෙනකොට අඳුරු වළාකුළු ගොඩකින් වැහිලා තියනවා මට පෙනුනා.

එයාට රිදෙනවා.

තිත්ත ඇත්ත වගේම ඇත්ත පිළිගන්න තියන මුරණ්ඩුකම කියන බිත්ති දෙක පිටිපස්සේ හැංගෙන්න එයා සෑහෙන්න උත්සයක් ගන්නවා.

"ඒක හරි.මම මහත්තයා ගැන දන්නේ නැති වෙන්න පුළුවන්"

මම අපි දෙන්නා අතර තිබ්බ දුර අඩු කරගෙන ඉස්සරහට ගියා.අඩු තරමේ මම මේ කරන්නේ මොකද්ද කියන එකවත් හිතන්න මම ස්ථාවර මනසකින් හිටියේ නෑ.

"ඒත් මහත්තයා මට ඉඩ දෙනවා නම්,මට ඒ ගැන දැනගන්න පුළුවන්."

මගේ දිහා බලපු එයා හිනා වුණේ සමච්චල් සහගත විදියට.ඒක හුඟක් අමාරුවෙන් නගාගත්ත හිනාවක්.

"ඔයාට ඉඩ දෙන්න?....ඔයා ඇත්තටම හිතනවද ඒක වැදගත් කියලා?....ඔයා හිතනවද මට ඒකට කාවහරි ඕනා කියලා?!!"

යටගහලා නිවිලා තිබ්බ එයාගේ තරහව ආපහු වතාවක් බුබුළු දාන්න පටන් ගත්තා.

"මට මං ගැන බලන්න කවුරුවත් ඕන නෑ.තමුන්ව ඕනත් නෑ.වෙන කෙනෙක්ව ඕනත් නෑ!!"

කේන්තිය පිටාර ගලන ගමන් කෑගහන එයාගේ හඬ යටපත් කරන්න වගේ වැස්ස තවත් ටිකක් හයියෙන් වැටෙන්න ගත්තා.මේ වෙනකොට අපි දෙන්නම තෙමෙන්න පුළුවන් උපරිමේටම තෙමිලයි හිටියේ.

වැස්ස නිසා කොච්චර අමාරු වුණත්,මාව සීතලට හොඳටම ගැහෙන්න අරගෙන තිබ්බත් මගේ හිතේ තිබ්බ අර මුරණ්ඩු හැඟීම නම් කොහෙත්ම පසුබහින්න කැමති වුණේ නෑ.

"සමහරවිට මහත්තයාට කාවවත් ඕන වෙන එකක් නෑ,"

මගේ ඇතුළේ පරිසරයේ තිබ්බ කුණාටුවට වඩා අන්ත කුණාටුවක් පටන් අරගෙන තිබ්බත් මම මගේ කටහඬ ස්ථීරව තියාගන්න සෑහෙන්න උත්සහ කරා.

"ඒත් සමහරවිට......මං කියන්නේ සමහරවිට.....මහත්තයා මේ දේවල් තනියම දරාගන්න ඕන නෑ."

එයා තත්පර ගානකට නිශ්ශබ්ද වුණේ හරියට මට කියන්න ඕන මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව වගේ.නැත්තන් මාව ආපහු වතාවක් පැත්තකට තල්ලු කරන්නේ කොහොමද කියන එක හිතාගන්න බැරුව වගේ.

ඒත් ඒ ඇස් වල තිබ්බ ගැටෙන ගතිය,හැඟීම් එක්ක වෙන නොනැවැත්වෙන සටන මම දැක්කා.අපි මේ මුණ ගැහුණ පුංචි වෙලාව ඇතුළත පළවෙනි වතාවට මට ඒක මට එල්ලවුණ එකක්ද එහෙම නැත්තන් එයාටම එල්ල කරගත්ත එකක්ද කියන එක මට තේරුම් කර ගන්න බැරි වුණා.

මම නොදැනුවත්වම මගේ හිතෙත් අර මුරණ්ඩු කල්ලිය ටිකෙන් ටික ඉස්සරහට යන්න පටන් අරගෙන තිබ්බා.

"තමුන් හිතන්නේ මම මොකෙක් හරි වීරයෙක් කියලද?"

එයා මගෙන් ඒක ඇහුවේ සෑහෙන කෙඳිරිලි හඬකින්.මුහුදු හුළඟ එක්ක මට ඒක ඇහුනේ යාන්තමට වගේ.

"නෑ."

මම දැනුනා වෙන කවදාටවත් වඩා සෑහෙන වේගෙන් මගේ පපුව ගැහෙනවා කියලා.ඒත් මම පසුබැස්සේ නෑ.

"මම නම් හිතන්නේ මහත්තයා නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි කියලා"

ඒකාකාරෙට අඬන වැස්ස එක්ක එකතු වුණ මුහුදු හුළඟ හරි හරියට තරඟ කලත්,මට දැනුනේ අපි අවට සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලා වගේ.එමරල්ඩ් ඇස් අයිතිකාරයගෙත් මගෙත් අතරේ හිතාගන්න බැරි තරම් ආතතියක් මේ වෙනකොට ඇති වෙලා තිබ්බා වගේම,මට මුහුණ දෙන්න බැරුව වගේ එයා මූණ අනිත් පැත්තට හරව ගත්තා.

"මට මගේ පාඩුවේ ඉන්න දෙන්න"

"මහත්-......"

එයා යන්න ගියා.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියපු එයා ආපහු හැරෙන්නෙවත් නැතුව යන්න ගියා.

එත් මම.......තාමත් එතනට වෙලා ඈතට යන ඒ රූපේ දිහා බලාගෙන ඉන්නවා.

වැටෙන මහ වැස්ස දැනෙන්නේ නැති තරමටම සීතලට මේ වෙනකොට මගේ මුළු ඇඟම හිරිවැටිලා ගිහින් තිබුණා.එතනම බිම වාඩිවුණ මම කකුල් දෙක නවලා අරගෙන දණහිස් වලින් ඔළුව තියාගත්තා.ගෙඩියක් වෙන්න බැඳලා තිබ්බ මගේ කොණ්ඩේ,මේ වෙනකොට දියඇල්ලක් වගේ පහළට කඩාගෙන වැටිලා කියලා මට තේරුණා.

විනාඩියෙන් විනාඩිය ඔහේ ගෙවිලා යනකොට එමරල්ඩ් ඇස් අයිතිකාරයාගෙන් විතරක් මගේ මුළු හිතම පිරිලා තිබ්බා.ලෝක දෙකක අපි ජීවත් වුණත් මොකද්දෝ මන්දා නොදන්න හේතුවකට මට අතාරින්න හිතුණේ නෑ.ඒත්......එයා දැනටමත් යන්න ගිහිල්ලා.

ආපහු අපි මුණගැගෙයිද?

වෙන වෙලාවක එයා එයාගේ ජීවිතේ නැති කරගන්න උත්සහ කරයිද?

මොකද්ද ඇත්තටම එයාට තියන ප්‍රශ්නය?

කියපු දේවල් අනුව එයා ගෑණු ලමයිට වෛර කරනවා.එතකොට ඒක ආදර ප්‍රශ්නයක්ද?

කියාගන්න බැරි තරම් උත්තර නැති ප්‍රශ්න ගොඩක් එකින් එක උඩට මතුවෙලා මගේ හිතේ පෝලිම් ගැහෙන්න ගත්තා.

මම තව ටිකක තදට මගේම කකුල් දෙක බදාගත්තා.

සීතලයි..........නොසෑහෙන්න.....

රිදෙනවා පපුව හුඟක්......අයිතිවත් නැති හේතුවකට.....

මට තේරුණා මගේ කම්මුල් තෙත් වෙනවා කියලා.වැහි වතුරට නම් නෙවෙයි,මගේම ඇස් වලින් කඩාගෙන වැටුණ උණුම උණු කඳුළු වලට.

කාත් කවුරුවත් නැති අනාථ ගෑණු පපුවකට,කොහෙන්දෝ මන්දා ඉදන් ගහගෙන ආපු නම නොදන්න එමරල්ඩ් ඇස් දෙකක අයිතිය සෑහෙන්න තදටම ඕන වෙලා තිබුණා.

මගේ හදවත ඒ එමරල්ඩ් ඇස් වෙනුවෙන් තත්පරෙන් තත්පරේ ගැහෙන වේගේ වැඩි කරන්න ගත්තා.

ගැහෙන වේගේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒක රිදෙන ප්‍රමාණය ඊට දෙතුන් ගුණයකින් ඉහළ යන්න ගත්තා.

මම එහෙම්ම වාඩිවෙලා හිටියා.මං දන්නෙ නෑ කොච්චර වෙලාවක්ද කියන්න.ඒත් මම ඉඳියා.එච්චර හොඳ නොවුනත් අපේ මතක තිබ්බ එතනින් යන්න මට ලෝභ හිතුණා.

ඒත් එක පාරම මම ගැස්සිලා ගියේ මගේ හදවත ගැහෙන වේගය සීඝ්‍රගාමී දුම්රියක වේගෙටත් වඩා වැඩි කරන්න පුළුවන්,මම කොහෙත්ම ආපහු වතාවක් ඇහෙයි කියලා බලාපොරොත්තු නොවුණ කටහඬක් මගේ ලඟින් ඇහුණ නිසා.

"එනවා යන්න වදකාරී!"

මතක් කරලා මට ඔයාගෙ අදහසුත් කියාගෙන,හිත නිදහස් කරගෙනම මෙතනින් එළියට යන්න.

ආදරෙයි මහ හුඟක් !

-මන්දාකිණී-

Contents
Contents