Chapter 17: 16•

තේව් (TAEKOOK)Words: 46536

comment goal-30

අන්තිමේදී මං තේරුම් ගත්තා බැඳීම් කියන්නෙම අපිව තද කරලා අල්ලගෙන ඉන්න එක දෙයක් විතරයි කියලා..කොයි වෙලේ කොයි මොහොතක හරි ඒ බැඳීම් හිර කරලා දාන්න අභියෝග,බාධා එන්න පුළුවන්...ඒක කොයි වෙලේ එයිද කියන්න අපිට කියන්න බැහැ..ඒ දේවල් මොන තරම් අපිව හිර කරලා දැම්මත් අපිට පුළුවන් නම් ඒ හැමදේම දරාගන්න මං හිතන්නේ අපිව ඒ විදිහට හිර කරලා දාන්න ආපු අභියෝග,බාධාම අපිට පාගලා දාන්න පුළුවන් වෙයි සදහටම..

බැඳීමක් නිසා දුකක් ඇති වෙන්නේ කොයි මොහොතෙද ඒ දුක දැනෙන තරමටම අපි ඒ මනුස්සයා එක්ක ආදරයෙන් බැඳිලා...මට ඒක තදින්ම දැනෙන්න ගත්තේ ඊයේ රෑ..කවදාවත් මට එහෙම ඒ ගැන තේරුමක් තිබුනේ නැහැ..සුදු මහත්තයා කියන්නේ මං ආදරය කරන කෙනා,මගේ හොඳම යාලුවා..සතියක් කියන්නේ පුංචිම පුංචි කාලයක් විතරයි..ඒ සතිය කොච්චර පුංචි උනත් මට ඒක දැනෙන්නේ මහ මෙරක් වගේ..මොකද සුදු මහත්තයා මගෙත් එක්ක එකට ඉන්න අන්තිම දවස් කිහිපය මේ ගෙවිලා යන්නේ..මට පුළුවන් නම් කාලය ආපස්සට හරවන්න!!මම දෙපාරක් නොහිතා ඒ දේ කරනවා..මට ඕනේ එයත් එක්ක සඳහටම සතුටින් ජීවත් වෙන්න විතරයි..

කවදාවත් මං එයාගෙන් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ වගේම කවදාවත් බලාපොරොත්තු වෙලත් නැහැ..ලෝකේ ජීවත් වෙන හැමෝටම ආදරයක් ඕනේ..ඒක අම්මා,තාත්තා වෙන්න පුළුවන් ආදරය කරන කෙල්ල හෝ කොල්ලා වෙන්න පුළුවන්..කවුරු හරි කියනවා නම් ආදරයක් ඕනේ නෑ කියලා මට කවදාවත් ඒක පිලිගන්න පුළුවන්කමක් නැහැ...හිතන්නකෝ ගලක් වගේ හිතක් තියෙන මනුස්සයෙක් ගැන!! ඒ දරදඬු හිතක් තියෙන මනුස්සයා කියන්නෙත් හැඟීම් දැනීම් තියෙන කෙනෙක්..එහෙමනේ? ඒ කෙනා කවදාවත් පිටට පෙන්නන්න කැමති නෑ එයාගේ ඇතුලේ තියෙන හැඟීම්.ඒත් ඒ මනුස්සයාගේ ඒ පිටට පේන සීතල හැඟීම්,සීතල පැතිකඩ දවසක නැති කරලා දාලා එයාගේ ඇතුලේ තියෙන ආදරණීය හැඟීම් එලියට ගන්න පුළුවන් නම් තව කෙනෙක්ට,අන්න එතනයි ආදරය කියන අකුරු හතරට වටිනාකමක් ලැබෙන්නේ..ඉතින් මේ ලෝකේ ඉනා දරුණුම මනුස්සයාට උනත් ආදරයක් තියෙන්නෙම ඕනේ එයාව හරි ලස්සන,ආදරණීය චරිතයක් කරන්න..ඒකයි මම කියන්නේ ආදරයක් ඕනේ නෑ කියන මතේ ඉන්නවා නම් මට ඒක පිලිගන්න බැහැයි කියලා..

මම මුලු රෑ පුරාවට කල්පනා කලේ ඒ දේවල්..නින්දක් මගේ අහලකවත් තිබුනේ නැහැ..නා ගත්තට පස්සේ එහෙම්මම කෝපි එකක් හදන් බීලා කාමරයට එන්න ආවා..කමලා නැන්දත් මොනවා හිතුවද කියන්න මං දන්නෑ ඒත් මං එවෙලේ හිටියේ කා එක්කවත් කතා බහ කරලා ඉන්න පුළුවන් තත්වෙක නෙමෙයි..කාමරයට ඇවිල්ලත් ඇඳට පැනලා කොට්ටෙකුත් ඇඟට තුරුල් කරගෙන හීනයක් වගේ මගේ ඉස්සරහ සුදු මහත්තයා කිව්ව දේවල් මං එකින් එක මතක් කරගත්තා..ඒ හැමදේම එකින් එක ගැටගහගෙන ඒවාට මුහුණ දෙන විදිය කල්පනා කලා..මේවගෙන් පැනලා යන්නේ නැතුව හරිහමන් උත්තරයක් හොයන විදිය මම කල්පනා කලා..හැමදේටම අඩන එක උත්තරයක් නෙමෙයි කියලා මට තේරුනා..අන්තිමට මං තේරුම් ගත්තා මං හුඟක් සංවේදී මනුස්සයෙක් කියන එක..හැමදේටම බොළඳ වෙලා ඉක්මන් වෙන්න හොඳ් නැහැයි කියන එක මං තේරුම් ගත්තා..ඉතින් ඕවා කල්පනාවට වැටෙද්දී කොහින්ද මුලු රෑම මා ගාව නින්දක්?

උදේ හයට කිට්ටු කරලා වෙලාව නතර වෙලා තිබුනා..ඉර එලිය යන්තම් වැටෙන විදිහට මම ඇඳෙන් බැහැලා ගිහින් එක ජනේලයක් ඇරලා දැම්මා..ජනේලේ ළඟට ගියොත් එලිය බලාගෙන ඉන්න ආස හිතෙනවා ආයෙ ගැලවීමක් නැහැ ඇත්තටම..එලියේ තියෙන සුදු රෝස පඳුරේ ලොකු මල් දෙකකුත් පිපිලා..හරි ලස්සනයි...

මගේ කොන්ඩේ හොඳටම අවුල් වෙලා තිබුනා..මම ඒක දැක්කේ කන්නාඩි මේසේ ඉස්සරහට ආවට පස්සේ..ඇස් යටට ගිලා බැහැලා වගේ පෙනෙන්න තිබුනා..ඔක්කොමත් හරි මම අනෙක් අයට කොහොම උත්තර දුන්නත් සුදු මහත්තයා ඉස්සරහ මට කවදාවත් බොරු කියන්න බැහැ..එයා දන්නවා කියද්දිම මේ කියන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා..

ඕනෙ දෙයක් වෙච්චාවේ කියලා මට කාමරයෙන් එලියට අඩිය තියන්නත් බැහැ..මම බර හුස්මක් පහලා දාලා දොර ගාවට අඩිය තිබ්බා..දොර භාගෙට අඩවල් කරලා මම එලිය බැලුවේ කවුද ඉන්නේ බලන්න..පේන විදිහට නම් කවුරුත් නැහැ කාමරය ළඟ..මට කවුරුත් අවදි වෙන්න කලින් මුහුණ හෝදගන්න තිබුනා නම් ඒක මට දැනට හොඳටෝම ඇති..මොකද මට දැන් ඕනි උනේ මගේ මුහුණේ තියෙන මලානික පෙනුම මකා ගන්න විතරයි..මම සුසුමක් පිට කරලා එලියට අඩිය තිබ්බා..

"කමලා මට කියපන් සුදු මහත්තයා යන්න කලින් එයාට හදලා දීලා යවන්න හොඳ මොනාද?"

මැනිකේ එක්ක කුස්සියට වැදිලා දොඩමලු වෙමින් හිටියේ වැඩට ඉන්න කමලා..කමලා අත තිබුනේ පෙනේරයක් එක්ක,පිටි තිබූ භාජනයක්..මැනිකේ ඊට එහා පැත්තෙන් මේසෙට හේත්තු වෙලා පන් වලින් නිම කරලා තිබුන පියන මත අතුරලා තිබුන වේලුන කෝපි ඇට බ්ලෙන්ඩර් කරමින් හිටියා..අන්තිමේදී ඒ වේලුනු කෝපි ඇට සියල්ලම කෝපි කුඩු බවට පත් වෙද්දී මැනිකේ ඒ කෝපි කුඩු ටික කෝපි කුඩු අසුරන බෝතලය තුලට දැම්මා..

"මැනිකේ හිතන්නේ මොනවද දෙන්න හොඳ?"

"මං හිතන්නේ කොල්ලට දවස් ගානක් තියාගන්න පුළුවන් වෙන විදියේ කෑම ටිකක් හැදුවොත් හොඳයි කියලා.."

"මැනිකේ හිතේ සතුටින් වගේ නේද?"

"ඇයි උබ එහෙම කියන්නේ?"

මැනිකේ ඇහි බැමක් උස් කරලා කමලා දිහා බලලා ආයෙම හිනා උනා..

"මැනිකේ ඔය විදිහට හිනා වෙලා ඉන්නේ හුඟක් සතුටින් ඉන්න දවස් වලටනේ..සුදු මහත්තයා කොළඹ දිහා යන නිසා නේද මැනිකේ ඔය තරම් සතුටින් ඉන්නේ?"

"ඔව් බන් වෙන මොනවටද මං සතුටු වෙන්නේ..සුදු මහත්තයා ඩිග්‍රි එකත් අරගෙන දැන් කොච්චර කල් වෙනවද...එයා පොලොවේ පය ගහලා ජීවත් වෙන්න දන්නවා කමලා..ඉතින් මට බය වෙන්න දෙයක් නෑ එයා කොහේ රස්සාවක් කරන්න ගියත්.."

මැනිකේගේ මුහුණේ තිබුනේ එයාගේ දරුවා ගැන හරිම පිරුණු හැඟීමක්..දරුවෝ හොඳ තැනකට යනකල් තමන්ගේ උපරිමෙන් ඒ දේට පස්සෙන් ඉඳලා උදව් කරන අම්මලා ලබන්නත් පින් කරන්න ඕනේ..ඉපදුන හැටියේ ඉස්පිරිතාලෙම දාලා පැනලා යන,එක්කො ළමයාව වෙරලක් අයිනේ තියලා මුහුදට පනින අම්මලනේ දැන් ලංකාවේ ඉන්නේ..ඒ අතරින් තමන්ව උස් මහත් කරලා හොඳ තැනකට යනකල් අත් නොහරින අම්මලා ඉන්නේ කීයෙන් කී දෙනාද අවංකවම?අද කාලේ අහන්න තියෙන්නේ කවදාවත් සිද්ධ නොවිය යුතු දේවල් නෙමෙයිද? ළමයව එපා නම්,ළමයව මහ මඟ දාලා යනවා නම් මොකටද දරුවෝ වැදුවේ? ඒ මාතෘකාව ගැන කතා කලොත් නම් බොහොමයි දේවල් කියන්න..

"මොනා උනත් සුදු මහත්තයා නැති පාලුව මට නම් දැනේවි මැනිකේ.."

"ම්ම් උබත් එයාව පුංචි කාලේ ඉඳන් හුරතල් කර කර ළඟින් හිටියනේ..ඉතින් එහෙම දැනෙන එක පුදුමයක් නෙමෙයි කමලා.."

"මොනවා කියන්නද මන්දා මැනිකේ සුදු මහත්තයා හුඟක් ලොකු වෙලා..මට තාමත් සුදු මහත්තයව දකිද්දී පේන්නේ පොඩි දවස් වල හිටිය පැහිච්ච,දඟකාර කොල්ලම තමයි.."

"අනේ ඉතින් උබත් කියවන්න තියෙනවා නම් වරුවක් හරි කියවයි..මෙන්න මේ ඇවිත් මං කියන විදිහට කෑම වට්ටෝරුව ලියාගනින්.."

~

මම මේ වෙද්දී මුහුණත් හෝදගෙන මගේ කාමරය ඇතුලට ඇවිත් හිටියේ..වෙනදාට නම් කුස්සිය පැත්තේ ගිහින් මැනිකේ එක්ක හරි කමලා නැන්දා එක්ක හරි කයියක් දානවා..අද නම් ඒ පැත්තට යන්න මගේ හිත අදි මදි කරනවා..මම අඳින්න ඇදුමක් තෝරන ගමන් සුදු මහත්තයා අවදි වෙලාද නැත්තන් තවමත් නිදිද කියන්න ගැන හිත හිත හිටියා..

මම,සුදු මහත්තයා මට දීපු එයාගේ ඇඳුම් එකින් එක එලියට අරගෙන ඒ සේරම ඇඳ උඩට ගිහින් දැම්මා..ටිකකින් අල්මාරිය වහලා දාලා මං ඇඳ උඩින් ඈඳි උනා..එදා තිබුන ඒ සුවඳ තවමත් ඒ විදිහටම මේවගේ තිබුනා..මම, එයා පලවෙනියටම මට දීපු කමිසය අත් දෙකෙන් උඩට කරලා අල්ලගෙන ඒකේ සුවඳ නහයට ඇඳලා ගත්තා..සුදු මහත්තයා ළඟින් එන ඒ සුවඳ..මම ඒක මොන වගේ එකක්ද කියන්න දන්නෑ..ඒත් එයා ගාවින් එන සුවඳම සුවඳ, සුව පහසු හැඟීම මට මේ කමිසය තුරුලු කරගත්තම දැනෙනවා..මම තුරුල් කරන් උන්නු කමිසය,මට උදව් වේවි එයා යන පාලුව මගෙන් ඈත් කරලා දාන්න..මම එහෙම හිතනවා..වෙන මොනවා කරන්නද?

කවුරු හරි එන්න කලින් මේ ඇඳුම් සේරම අල්මාරිය අස්සට දාන්න ඕනේ නිසා මම පිලිවෙලකට ඒවා ටික නවලා ඇඟට හේත්තු කරගෙන ගිහින් ආයෙම අල්මාරිය ඇතුලට දාලා අල්මාරිය වහලා දැම්මා..

"ත්-තේව්..ටිකක් මේ දොර අරින්න පුළුවන්ද?"

මගේ කනට ඇහුනේ වැරදියටද? නැත්තන්..ඒක වෙන්න බෑ..කොහොමටත් වෙන්න බැහැ..මං හිතේ දෙගිඩියාවෙන් කාමරේ දොර ළඟට ගිහින් දොරට හේත්තු උනා..

"තේව්!!!!! ඔයාට මාව ඇහෙනවද?"

දෙයියනේ කොහොමද එහෙම වෙන්නේ..

"අ-අසිනි....!!!"

මගේ පපුව ගැහෙන එකත් පොඩි වෙලාවකට නතර වෙනවා වගේ දැනුනා..මෙච්චර දවසක් මුහුණවත් නොබලපු අසිනි අද මගේ කාමරේ ඉස්සරහට වෙලා මගේ නම කියලා කතා කරනවා..කොහොමද මං ඒක විශ්වාස කරන්නේ?

"මං ඇතුලට එන්නද තේව්?"

"අ-ආහ් එන්න.."

"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ උනා තේව්,කමක් නැහැ නේද?"

අසිනි ඒ විදිහට අහද්දී කවදාවත් මට බැහැ කියලා උත්තර දෙන්න හිතෙන්නේ නැහැ..එ නිසා මං කලේ ඔලුව වනලා හා කියපු එක..වෙන මොනවා කියලා කරන්නද මං මේ වෙලාවේ..

"ඔතනින් ඈඳි ගන්න අසිනි..ම්-මං මෙතන ඉන්නම්"

"නෑ නෑ ඔයත් එන්න මෙතනට.."

අසිනි එහෙම කියලා මගේ අතින් ඇඳගෙන ගිහින් මාව ඇඳ උඩ වාඩි කරගත්තා..මට නුහුරු ගතියක් දැනුනත් මට බැහැ අසිනිට විරුද්ධව වචනයක් කියන්න..මොකද මට එහෙම කරන්න කිසිම අයිතියක් නැහැ..අසිනි කියන්නේ සුදු මහත්තයාගේ නංගි..මේ බංගලාවේ එකම දුව..එහෙව් එකේ එයා කොහොම අපි එක්ක තරහ වෙලා,මුහුණ නොබලා හිටියත් මට මුකුත්ම කියන්න බෑ..ඇත්ත ඒකයි..

අපි දෙන්නා අතරේ දිගු නිහැඬියාවක් තිබුනා..එයා කතා කලෙත් නැහැ මං කතා කලෙත් නැහැ..ඒත් ඒ දිගු නිහැඬියාවට පස්සේ අසිනි උගුර පාදලා මගේ දිහාවට හැරෙනවා මං ඇස් කොනින් දැක්කා..

"අයියා යනවලු නේද?"

"ම්ම් ඔයා දැනගෙන හිටියේ නැද්ද ඒක.."

"උදේ වෙනකල් නම් නෑ,ඒත් මං කුස්සියට යද්දී මට ඇහුනා අම්මයි කමලයි ඔය ගැන කතා වෙනවා.."

"එහෙමද?"

"ඔයාට හිතෙන්නැද්ද එහෙම උනු එක හොඳයි කියලා.."

"අ-ආහ්"

"මං නම් ආසයි එයා එහෙ යනවට..මේ ඉද්දී නේ පිරිමියෙක් වගේ හැසිරෙන්නෙ නැත්තේ ඒත් එයා කොළඹ ගියාම පවන් අයියා එයාව ගානට එයාව හදලා ගනී..සෝ මට නම් බය වෙන්න දෙයක් නැහැ ඒ ගැන.."

අසිනි එහෙම කියලා මගේ දිහා බලලා අමුතුවට හිනා උනා..අසිනි ඒ කියපු වචනයක් වචනයක් ගානේ පිහි තුඩකින් මගේ හිතට ඇනගෙන යනවා වගේ දැනුනා..මෙච්චර වෙලා, රෑ පුරාවට අමාරුවෙන් ගැටගහගත්ත හිතත් මට දැනුනේ මේ වෙලාවේ කඩාගෙන වැටෙනවා වගේ හැඟීමක්..

"අසිනි..."

"ඇයි ඔයාට දුක හිතුනද චුට්ටෝ?"

අසිනි මගේ කම්මුලක් තදින් මිරිකන්න ගත්තේ එහෙම අහලා..මට රිදෙනවා..එයා තවත් තද කරලා මගේ කම්මුල අල්ලන්න ගත්තේ හරියට තරහක් පිරිමහනවා වගේ..මට මේ කාමරේ අසිනි එක්ක ඉන්න එක ලොකු අපහසුවක් වගේ දැනෙන්න ගත්තා..ඇත්තමයි මට දැන් සුදු මහත්තයා ළඟට යන්න තිබ්බා නම්..

"ඔයා දුක් වෙන්න එපා,හැමදේම හොඳින් සිද්ධ වෙයි..මට ඕනෙ විදිහට.."

එයා ඒ කිව්ව දේ මට හරියට ඇහුනේ නැත්තේ එච්චරටම හෙමින් මගේ කනට ලං කරලා ඒක කොඳුරපු නිසා..මොකක්ද ඒ කිව්වේ..මට ආපස්සට ආයේ අසිනි එක්ක කතා කරන්නවත් හේතුවක් තිබුනේ නැහැ..මට ඕනේ උනේ දෙන්නගෙන් එක්කෙනෙක් මෙතනින් එලියට යන්න..එක්කො මං මෙතනින් යන්න ඕනේ නැත්තන් අසිනි..

අසිනි යන්න නැගිටලත් ආයෙම මගේ ඉස්සරහට ආවා..ඇවිත් මගේ දිහා බලාගෙන හිටියා..මට එයාගේ ඇස් දිහා කෙලින් බලලා කතා කරන්න පුළුවන්කමක් තිබුනේ නැහැ, ඒ නිසා මං බිම බලාගෙන හිටියේ අසිනි කාමරේට අඩිය තියපු වෙලාවේ ඉඳන්..

"මගෙත් එක්ක තරහා නෑ නේද? මං ආස නෑ ඔයා එක්ක තරහ වෙලා ඉන්න.."

අසිනි මගේ කොන්ඩේ අවුල් කරලා දාලා කාමරයෙන් එලියට ගියා..මට දැනුනේ නෑ මේ දේවල් වටේ හොඳක් සිද්ධ වෙනවා කියලා..මට දැනුනෙම මහ නරක හැඟීම් ගොන්නක්..අසිනි හරියට කතා කලේ ඒ එයාගේ අයියා නොවෙච්ච ගානට..කොහොමද මේ විදිහට මිනිස්සු වෙනස් වෙන්නේ?

මට දැනුන හිස් ගතිය වචනෙන් මෙච්චරයි කියලා කියන්න තේරෙන්නේ නැහැ..මට දැන් සුදු මහත්තයව බලන්න ඕනේ කියන දේ විතරයි මගේ ඔලුවේ වැඩ කලේ..එයා හොඳින් නේද? මට දැනෙන්න හොඳ නැති මූසල,පාලු සිතුවිලි එක දිගට මට හිතෙද්දී මම ඇඳ රෙද්ද පුළුවන් තරම් වේගෙන් මිරිකන්න ගත්තා..

දවල් වරුවත් ඔහේ ගෙවිලා ගිහින් හවස් වෙලා තිබුනේ මගේ ඇස් දෙකට මගේ සුදු මහත්තයව දකින්නවත් නොදී..එයා කොහේ හරි ගිහින්..මම බර හුස්මක් පිට කරලා දාලා මගේ තනිය නැති කල්ලා දාන මගේ යාලුවෝ දෙන්නා ගාවට ගියා..හැමදාම වගේ අදත් මාව දැක්කම රෝසි,සුද්දියි දෙන්නම කෑ ගහන්න ගත්තා..මම හබල් ගාලා තිබුනු පුනක්කු බාල්දියත් උස්සගෙන උන් දෙන්නා කිට්ටුවට ලං උනා..

"බඩගිනිද ම්ම්..චුට්ටා ආවනේ දැන් ඔයාලට බඩගිනි වෙන්න විදියක් නෑ..තේරුනාද?"

මම හෙමින් එහෙම කියලා දෙන්නවම ටිකක් වෙලා යනකල් සිනිඳුවට අත ගාන්න පටන් ගත්තා..ඒත් එක්කම දෙන්නටම වෙන වෙනම පුනක්කු බෙදලා දීලා මං පැත්තකට වෙලා බලාගෙන හිටියා..විනාඩි තිහක් විතර යනකල් මම තණ පිස්සට වෙලා උන් දෙන්නා එක්ක කාලේ ගත කලා..අසිනිත් ඉස්තෝප්පුවට වෙලා මං ඉන්න දිහාවට ඇස් යොමාගෙන ඉන්න විදියත් මං ලාවට දැක්කත් මං එයා දිහා නොබලා මගේ පාඩුවේ මුන් දෙන්නා දිහා බලාගෙන හිටියා..ඔය වෙලාවෙම මට ඇහුනේ සුදු මහත්තයාගේ වාහනේ සද්දේ..එයා කොහි හරි ගිහින් දැන් තමයි එන්නේ..මට එයාව බලන්න පුදුම තරම් උවමනා වෙලා තිබුනා..මං දන්නෑ ඒ ඇයිද කියන්න..ඒත් මට ඕනේ උනේ එයා යන දවස වෙනකල් එයත් එක්ක ළඟින් ඉන්න විතරයි..

"පුතා..ගිය ගමන මොකද?"

මැනිකේ කුස්සියේ ඉඳලා දුවගෙන ආවේ සුදු මහත්තයාගේ වාහනේ සද්දේ ඇහුනු පාර..

"වැඩ ටික නම් කරගත්තා අම්මා..මට තේ එකක් හදන්නකො.."

"ආහ් ඉන්න ඉන්න.."

ආයෙම මැනිකේ කුස්සියට දිව්වා..ඒත් එක්කම තමයි සුදු මහත්තයා වත්තට වෙලා හිටිය මාව දැක්කේ..එයා ඇඳගෙන හිටිය කමිසයේ උඩ බොත්තම් දෙකක් බුරුල් කරන අතරේ මගේ දිහාවට ඇවිදගෙන ආවා..මම එයාත් එකක මේ හැමදේම හොඳින් කියලා කියන්න ඕනේ නිසා මුහුණ පුරවලා හිනා උනා..සමාවෙන්න සුදු මහත්තයා මට දැනෙන දේවල් ඔයාට දැනෙන්න දෙන්න මට කොහෙත්ම උවමනාවක් නැහැ..

"චුට්ටා...!!"

"සුදු මහත්තයා. !!"

"ම්ම් මුන් දෙන්නව හොඳට බලාගන්නවා නේද මං කිව්ව විදිහට.."

"අ-.."

"දැන් ගිහින් ලෑස්ති වෙන්න.."

"ඇයි ඒ සුදු මහත්තයා.."

"කිව්වම අහලා ගිහින් ඇඳුමක් දාන් එන්න මගේ දරුවෝ.."

අපි දෙන්න කොහෙ හරි යන්නද හදන්නේ? මම එයාට හා කියලා ආයෙම කාමරය ඇතුලට දුවගෙන යද්දී තමයි ආයේත් අසිනිව ඇස් දෙකට දැක්කේ..එයා මෙච්චර වෙලා මෙතන ඉඳලාද? එයාගේ ඇස් හීනි වෙලා තිබුනා..මං ඒ දේවල් හිතන්න කලින් සුදු මහත්තයා කිව්ව විදිහට ලෑස්ති වෙලා එලියට එන්න ආවා..

සුදු මහත්තයා මැනිකේ හදලා දුන්න තේ එකත් බීලා මාවත් එක් කරන් වත්තට ආවා..

"අපි අද මේකේ යමුනේ?"

සුදු මහත්තයා අර වත්ත කෙලවරේ ඉටි රෙද්දකින් හුඟ කාලෙක ඉඳන් වහලා තිබුන බයිසිකලේ පෙන්නලා මගෙන් ඇහුවේ හිනා වෙවී..මට පුදුම හිතුනා..මම මීට කලින් මේකක ගිහින් තිබුනේ නෑ කවදාවත්..මම ඇස් දෙකත් ලොකු කරන් ඉන්න විදිහට සුදු මහත්තයා ආයෙම හිනා වෙනවා මං දැක්කා..එයා හිනා වෙද්දී හුඟක් ලස්සනයි..

"ඒ-ඒත්-"

"හරි හරි මං අම්මට කියල තියෙන්නේ..කෝ ඉක්මන් කරලා නගින්න.."

එයා බයිසිකලේ ස්ටාර්ට් කරලා මම නගිනකල් බලාගෙන හිටියා..දෙයියනේ මට පුරුදුත් නැහැ මේවගේ ගිහින්..මම අමාරුවෙන් එයා කිව්ව විදිහට කකුල තියලා එයාගේ පිටිප්ස්සේ සීට් එකේ වාඩි උනා..මං හරියට වාඩි උනා නේද...අනේ මන්දා සුදු මහත්තයාගේ වැඩේම මං දිහා බල බල හිනා වෙන එක..හරි නරකයි එයත් වෙලාවකට..

"මාව හයියෙන් අල්ලගන්න.."

එයා බංගලා වත්තෙන් බයිසිකලේ එලියට දාලා එහෙම්මම පාරට ආවා..ඊට පස්සේ ආයෙමත් මට තද කරලා අල්ලගන්න කිව්වා විතරයි මතක..පුදුම තරම් වේගෙකින් එයා ඉස්සරහට ඇදුනා..

"සුදු මහත්තයා අනේ හෙමින් යන්.."

"බය වෙන්න එපා චුට්ටා.."

එයාට කිව්වට වැඩක් නැහැ එයා එයාගේ උපරිමේටත් වඩා වේගෙන් ඉස්සරහට ගියා..මගේ හුස්ම නතර උනේ නැති එක විතරයි ඇත්තටම..මරණ බය කියන එක මට තදින්ම දැනුනා..මම පුළුවන් තරම් තද කරලා සුදු මහත්තයා ඇඳන් හිටිය කලු ජැකට් එක මිරිකගෙන හිටියා..

දැන් නම් කලුවරත් වැටීගෙන එනවා..පාරේ යන වාහන වල ලයිට්ස් හුඟක්ම කැපිලා පෙනුනා..හෙන වෙලාවකට පස්සේ අපි වංගු ගානක් පහු කරාට පස්සේ අපි ඇවිත් නතර උනා..ඒත් ඒ කොහෙද කියන්න මං දැනගෙන හිටියේ නැහැ..සුදු මහත්තයා එයාගේ පිටිපස්සෙන් එන්නයි කියලා කිව්ව නිසා මාත් එයාගෙ පස්සෙන්ම ඉස්සරහට අඩිය තිබ්බා..

අපි දෙන්නම මේ වෙද්දී ඇවිත් තිබුනේ ලොකු කොටේජ් එකක් කිට්ටුවට..මාරම ලස්සනයි එලියෙන් බලද්දී..කලුවර වැටිලා තිබුන නිසා කොටේජ් එක ඉස්සරහ සෙට් කරලා තිබුන ලයිට්ස් එක්ක කොටේජ් එක එලිය වෙලා තිබුනා..

"යමු ඇතුලට.."

එයා මාවත් ඇඳගෙන හිනාවෙලා ඒක ඇතුලට ආවා..දෙයියනේ මේක ඇතුල මාර ලස්සනයි..මට හිතාගන්නවත් බැහැ..පුදුම තරම් ලස්සනයි..ඇතුලට යද්දි සෝෆා සෙට් දෙකක් තිබුනා..එක සෝෆා එකක් උඩ ගිටාර් එකක් තියලා තිබුනා..ආයෙම ටිකක් ඇතුලට යද්දී පුංචි කිචන් එකක් තිබුනා..ඒකේ ලී බිත්තිය පුරාවට ලස්සන වැල් යවලා තිබුනා..මම ලස්සන බල බල එයත් එක්කම ඒ ලී තරප්පු පෙල නැගලා උඩට ආවා..

"ම්-මේ කොහෙද සුදු මහත්තයා?"

"මේක ඇවිල්ලා මොකක්ද දන්නවද?"

"ම්ම් මොකක්ද?"

"මේක නුවරඑළියේ තියෙන ෆේමස්ම කොටේජ් එකක්"

එයා ලී පොලොව මත එලලා තිබුන මෙට්ටෙ දිහා බලලා ආයෙම උස වීදුරු ජනේල් දෙක ළඟට ගිහින් ඒ තිර රෙද්ද උඩට කරලා එකක් ඇරලා දැම්මා..ඒක ඇතුලින් ගියාම තිබුනේ ලස්සන බැල්කනි එකක්..මේක ඇතුල තවත් ලස්සනට පේනවා ඇත්තේ උදේ වරුවට..දැන් කියලත් අඩුවක් මට පෙනුනේ නෑ..

"ඔයා වොශ් එකක් දාන් එන්න චුට්ටා ඕනෙ කරන ඇඳුම් තියලා ඇති.."

"සුදු මහත්තයා අපි ගෙදර යන්නේ නැද්ද?"

ඇත්තටම මගේ හිතේ තිබුන ප්‍රශ්නේ තමයි ඒ..

"ම්ම් නෑ අපි අද මෙහෙ ඉන්නවා.."

"ඒත් අපි-"

"ඔහ් බබා ඒක හිතන්න එපා..මං අම්මට කියලා තියෙන්නේ අද මගේ යාලුවෝ එක්ක පොඩි ගමනක් යනවා කියලා..දහම් එනවා කිව්වොත් අම්මා මට බෑ කියන්නේ නෑනේ..ඉතින් මං දහම්ව මේකට අහු කලා.."

"එතකොට දහම් මහත්තයා ඇත්ත දැනගත්තොත්.."

"මිහිනා දන්නවා..මං එයාට කියලා තියෙන්නේ..බය වෙන්න ඕනේ නෑ ඒ නිසා.."

"කෝ දැන් ගිහින් එන්න හොඳ ළමයා වගේ.."

සුදු මහත්තයා මගේ කොන්ඩේ අවුල් කරලා අත් දෙකෙන්ම තල්ලු කරලා බාතෲම් එක ඇතුලට යැව්වා..

~

"සුදු මහත්තයා!!! මේ දොර අරින්න බෑ..අනේ ඔයා කොහෙද?"

"වොශ් දාලා ඉවරද? ඉන්න මං එනෝ.."

ඇයි එයා මේ දොර ලොක් කලේ..තව පොඩ්ඩෙන් බය වෙලාම පන ටික යනවා..ඕනේ නැති වැඩක්මයි කලොත් කරන්නේ..දොර අරිනවකෝ හොඳ වැඩක් කරන්න මම..

"ච්-චුට්ටා.."

"සුදු මහත්තයා..!!!!"

මම එයාවත් එක අතකින් තල්ලු කරගෙන තිබ්බ කේන්තියටම ඉස්සරහට අඩිය තිබ්බා..ඒත් එක්කම මම එයත් එක්ක ගිහින් ලී පොළොව උඩ එලලා තිබුන මෙට්ටේ උඩ නතර උනේ මට එයාගේ ග්‍රහණෙන් මිදෙන්න බැරි වෙද්දී...

"සුදු මහත්තයා..මං ඇඳුම් මාරු කරන්න ඕනේ.."

එයා එක එල්ලේ එයාගේ ඇඟ උඩට වැටිලා ඉන්න මගේ ඇස් දිහා බලාගෙන හිටියා..මට දැනෙන ලැජ්ජාව නිසා මට මෙතනින් නැගිටින්න ඕනෙ උනත් එයාගේ දරදඩු අත් එක්ක මට ඒක හීනයක්ම උනා..මම තවමත් හිටියේ තුවාය ඉනේ පටලගෙන..

ටික වෙලාවක් ඒ විදිහට ඉඳලා එයා ඒ ක්ශනයෙන්ම මාව අනෙක් පැත්තට පෙරලගෙන මගේ ඇඟ උඩට ආවා..

"ඔයා හරි ලස්සනයි බබා"

එයා මට අලුත් නමකින් කතා කරද්දී මට දැනෙන ලැජ්ජාව දෙගුණ තෙගුණ වෙන්න ගත්තා..

"ඔහ් ඔයා හුඟක් රතු වෙලා.."

එහෙම කියලා තප්පරයක් යන්නත් කලින් එයා මගේ තොල් වලට නැඹුරු උනා..රලුත් නැති,සිනිඳුත් නැති විදියට එයා මගේ තොල් ග්‍රහණය කරගෙන එයාගේ ආධිපත්‍යය පතුරවමින් හිටියා..මමත් ඒ පිටටම එයාගේ කර වටේ අත් යවලා ඒ හාදුවට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා..එයාගේ තොල් හරිම සීතලයි..ටිකකින් මගේ කොන්ද දිගේ යන හිරිය නවත්තගන්න ඕනෙ නිසා මම සැරෙන් සැරේ උඩට ඉස්සුනා..එයා එක දිගට මගේ තොල් උරවමින් ඉද්දී මම අතරමං උනු දිහායින් ගොඩ එන්න පාරක් හොයමින් හිටියා..

"ම්ම් ඇඳුමක් දාන් එන්න.."

එයා මාව කොට්ටෙ උඩින් ඇල කරලා මගේ නලලට හාදුවක් දීලා නැගිටලා පහලට ගියා..සුදු මහත්තයා එක්ක මේ ගෙවන තප්පරෙත් මට දැනුනේ මහ මෙරක් වගේ..එයා ගැන හිත හිත ඉඳලා ටික වෙලාවක් ගියාට පස්සේ මම ඇඳුමක් ඇඳගෙන කොන්ඩෙත් හදාගෙන පහලට ගියේ,එයා මට එන්න කිව්ව නිසා..

අන්තිමේදී අපි දෙන්නම රෑට කෑම කාලා ඉවර වෙලා පහලත් හුඟ වෙලාවක් කාලෙ ගත කරලා උඩට එන්න ආවා..සුදු මහත්තයා සෝෆා එක උඩ තිබුන ගිටාර් එකත් අරගෙන මගේ පස්සෙන් තරප්පු පෙළ නැග්ගා..

"ඔය අඟුල අරින්න චුට්ටා.."

සුදු මහත්තයා කිව්වම මම ජනේලේ අඟුල පන්නලා බැල්කනි එක දිහාවට අඩිය තිබ්බා..මගේ ඇස් ආයෙම වතාවක් ලොකු වෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නැහැ..අනේ දෙයියනේ..මම ඉස්සරහට අඩිය තියලා වටේම ඇස් යැව්වා.. ෆෙයරි ලයිට්ස් වැල් එල්ලලා,ඉටිපන්දම් පත්තු කරලා මුලු බැල්කනි එකම ලස්සන කරලා තිබුනා..

"ලස්සනයිද?"

"ඔව් හුඟක්..."

"එහෙනම් එච්චරයි.."

එයා මාව ඇඳලා අරගෙන එයාගේ පපුවට හේත්තු කරගත්තා..මම එයාගේ ටී එක තද කරලා අල්ලගෙන හිටියා..මේ උණුසුම් පපුව ඇයි මට මෙච්චර සනීප..මට මැරෙනකල් උනත් ඉන්න හිත දෙන එකම තැන තමයි සුදු මහත්තයගේ දරදඩු,උණුසුම් පපුව..

ටිකකින් එයා මාව ටිකක් එහාට කරලා කැටයම් කරලා තිබුනු සුදු පුටුව උඩින් මාව වාඩි කෙරෙව්වා..ඒත් එක්කම එයා ගිටාර් එක අතට අරගෙන බැල්කනි එකේ අත් වැටට හේත්තු උනා..මේ මොහොතට ගැලපෙන විදියටම එලියේ ගස් කොලං,රෑ රහස උනත් හැඩ ගැහිලා තිබුනා..කලුවර අහසේ වැඩිය නැතත් තැනින් තැන ලස්සනට තරු පායලා තිබුනා..

උදුල තරු මේ අහස් තලයෙන්..

වසන් වී වාගේ..

මාර සේනා හදට කැන්දන..

යාමේ ලං වූයේ..

මේඝ වර්ශා ගලා හැලුනේ..

සේද යහනාවේ..

දෝරේ යන මේ හැඟුම් ගංඟා..

ඔහේ සැලුනාවේ...

සඳඟනාවට සදළුතල සිප..

සුවදෙන යාමයේ..

උණුහුමේ ගිරි තුඩට මී පැණි..

ගෙනේවී රාත්‍රියේ ආයේ..

කාලෙකින් මං ආවේ නැත්තේ..

පහල ගං තීරේ..

ඉවුරු තල සිප ගන්න අවසර..

දේද හිත කීවේ..

සඳගනාවට සදළුතල සිප..

සුවදෙන යාමයේ..

උණුහුමේ ගිරි තුඩට මී පැණි..

ගෙනේවී රාත්‍රියේ ආයේ..

එයා අන්තිම පේලියත් මගේ ඇස් දිහා බලාගෙන කියලා දැම්මා..මට පපුවට හුඟක් බරයි මේ දේවල්..මගේ ඇස් කෙවෙනි තෙත් වෙද්දී මට ඒ කඳුලු පිහදලා දාන්න උවමනාවක් තිබුනේ නැහැ..මම ඒ හිටිය විදිහටම ඉඳලා එයා එක්ක ලස්සනට හිනා උනා..

"කෝ එන්න මගෙ දරුවෝ.."

"නාඩා ඉන්න..මං ඉන්නවානේ ම්ම්"

සුදු මහත්තයා මගේ මුහුණ සිය වතාවක් විතර හාදු වලින් පුරවලා මාව ආයෙම අර උණුසුම් පපුවට තුරුල් කරගත්තා..මම අන්තිම වතාවට එයත් එක්ක ගෙවන මේ මොහොත උවමනාවටත් වඩා බර වැඩි නිසා ඇස් වහගෙන එයාගේ උණුසුම් පපුවේ මූණ හංගන් හිටියා..කාලය ගෙවීගෙන යනකල් අපි දෙන්නා  මේ විදිහට බැල්කනි එකේ අත් වැටට හේත්තු වෙලා හිටියා..මම එයාගේ තුරුලට වෙලා ඒ හිටිය විදිහටම හිටියා..

ආයෙම මෙහෙම දවසක් එනවා නම්..!

______________________________________________________

laura-bun🍃

comments නැතුව ආයේ මං ලියන්නෑ. එච්චරයි!👍🏻

ඔයාලගේ කමෙන්ට්ස් දැක්කම තමයි ඇත්තම කිව්වොත් මට කතාවක් ලියන්න හිතෙන්නේ..ඒවා අඩු වෙද්දි එන්න එන්නම,මට ඉතින් දුක හිතෙනවා :((😒👍🏻