Chapter 10: 09•

තේව් (TAEKOOK)Words: 30353

වෙනදා වගේම අදත් පාන්දරින්ම මාව ඇහැරුනේ පුරුද්දට වගේ...මම ඇස් දෙකත් අතින් පොඩි කර කර ඇඳ වියලට හේත්තු උනා...ටිකක් වෙලා ඉඳලා බැහැලා ගිහින් ලයිට් එක දැම්මේ වෙලාව හරියටම වෙලාව බලාගන්න..."තාම හතර හමාරද? "මට කියවුනා...එහෙම්මම බිත්තියේ එල්ලලා තිබුනු කැලෙන්ඩර් එක දිහා බැලුවා...මම මෙහෙට ඇවිත් මාසයක් වෙන්නත් එනවා...මම සුසුමක් පිට කලා..එලියේ හොඳටම වහිනවා.. අකුණු ගහන සද්දේ මට ඇහෙනවා...

අවුල් වෙලා තියෙන කොන්ඩෙත් හද හද මම කාමරයෙන් එලියට ආවා...හැමෝම නිදි...කවුරුත් පේන්න හිටියේ නැති නිසා මම ඉස්තෝප්පුව දිහාවට අඩිය තිබ්බා...එලිය හොඳටෝම කරුවලයි...සර සර ගාලා වහින සද්දේ මගේ කන් වලට ඇහෙනවා...මම ඉස්තෝප්පුව දිහාවට ආවත් හිරිපොද ඇවිත් මගේ ඇඟේ වදිනවා...සීතලයි...මම අත් දෙකත් බැඳගෙන බංගලාවේ ඉස්තෝප්පුවේ කැටයම් ආරුක්කුවකට හේත්තු උනා...

ඉස්තෝප්පුව එලිය කරන බිත්ති ලාම්පුවෙහි දැල්ල සුළං පහරවල් හේතුවෙන් ටිකෙන් ටික කළු කරනවා...ඉස්තෝප්පුවේ අඳුර කෙමෙන් වැඩි වෙමින් තිබුනා...මන්දා වෙනදා අඳුරෙදී ගැස්සෙන මගේ හිත මේ වතාවේ ගැස්සුනේ නෑ...පුදුමයි...

මම මේ විදිහට තනියෙන් ඉද්දී ළඟදි දවසක ඉඳලා මට මැවිලා පේන ඒ රූපේ...සුදු මහත්තයා! ඇයි එයාව දකිද්දී මගේ පපුව වේගෙන් ගැහෙන්නේ? ඇයි එයා මගෙත් එක්ක කතා කරද්දී මට එයාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න තරම් ශක්තියක් නැත්තේ? ඇයි ඒ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන ඉන්න පුළුවන් උනා නම් කියලා මට හිතෙන්නේ? ඇයි තවමත් අර පාලම ළඟදී මගේ අත අල්ලගත්තු එක,එදා පන්සල් ගියපු දවසේ මගේ අත අල්ලගත්තු එක මතක් කරගෙන මම තනියම හිනා වෙන්නේ? ඇයි එයා මට බනිද්දී,මට දුක හිතෙන්නේ?

මම දන්නේ නෑ...එයා ගැන මට කියන්න නොතේරෙන අමුතු ලෙන්ගතුකමක් දැනෙනවා...සමහරවිට-නෑ ඒක එහෙම වෙන්න බෑ...එයා මගේ ජීවිතේ බේරගත්තු මනුස්සයා..."තේව් සිහිය ඇතුව වැඩ කරන්න!"මම මටම කියාගත්තා...මම බර හුස්මක් පිට කරලා දාලා සුදු මහත්තයගෙ කාමරේ දොර දිහා බලලා ආයෙමත් කඩා හැලෙන වැහි වතුර දිහා බලාගෙන හිටියා...

එක් වරම කුස්සිය දිහායින් කවුරු හරි සද්ද කරනවා මට ඇහුනා...මම හෙමින් අඩිය තියලා ඒ දිහාවට ගිහින් බැලින්නම් සුදු මැණිකේ! එයා පිටි වගයක් කොටනවා..සීතල පොලොව නිසා මගේ යටි පතුල් පවා සීතල වෙලා...මට දැනෙනවා...අයිස් කුට්ටියක් වගේ...මම කෙලින්ම ඇවිත් උළුවහුවට හේත්තු උනත් සුදු මැණිකෙට මං ආවා කියලා නිච්චියක්වත් නෑ..

"අහ්ම්"මම හෙමින් උගුර පෑදුවහම සුදු මැණිකේ මෝල් ගහ තද කරලා අල්ලගෙන මගේ දිහාවට හැරුනා.."අනේ මං බය කරන්න හිතුවේ නෑ,මට සමාවෙන්න"සුදු මැණිකේ බය වෙන්න ඇති,තවම එලිය වැටිලවත් නෑනේ...ඉතිම් කවුරු උනත් බය වෙන එක සාධාරණයි..

"අනේ මගේ දරුවෝ,මේ මොකටද මගෙන් සමාව ඉල්ලන්නේ?"සුදු මැණිකේ මෝල් ගහ ගොම මැටි බිත්තියට හේත්තු කරලා දාලා මගේ දිහාවට ආවා.."මොකද මේ කොල්ලා මේ පාන්දරින්ම ඇහැරිලා ම්ම්?"සුදු මැණිකේ මගේ මූණ අත් අතරට ගත්තා..."මට ඇහැරුනා නැන්දේ.."මම බිම බලාගත්තා...

"ආහ් එහෙනම් මට දැන් පාලුවක් නෑ ඔයා ඉන්නවා නේ,කෝ මෙතනින් ඈදි ගත්තා නම්"සුදු මැණිකේ පුංචි බංකුවක් මේසෙ යටින් ඇඳලා අරගෙන මට ඈඳි ගන්න කිව්වම මාත් එතනින් ඈඳි ගත්තා.."චුට්ටා,මං කෝපි එකක් හදන්නද?සීතලයිනේ එලිය හොඳටෝම"මාව ගැස්සිලා ගියා.."චුට්ටා!"මට මහ අමුත්ත්තක් දැනුනත් මං එක පාරින්ම ඒ නමට ආස වෙලා..."අපි දෙන්නටම.."මම මිමිණුවා...

"හරි අපි දෙන්නම බොමු...ටිකක් ඉන්නකෝ මං කේතලේ වතුර ටිකක් නටවනකල්..."මම සුදු මැණිකේ වතුර රත් කරන දිහා බලාගෙන හිටියා..සුදු මැණිකේ ඇත්තටම ලස්සන ගැහැණු කෙනෙක්...හරිම තැන්පත් පෙනුමක් මැණිකෙට තිබුනා...සුදු මහත්තයාට තියෙන්නෙත් මැණිකෙගෙම ඇස් දෙක!ඒ ඇස් පිහාටු හරි දිගයි...දෙන්නටම තියෙන්නේ තද කළු පාට ඇස්!

මම හරි සිහියට ආවේ මැණිකේ ඇවිත් කෝපි කෝප්පේ මගේ අත උඩින් තියද්දී..."ම්-"මම මැණිකේ එක්ක හිනා වෙලා කෝපි සුවඳ නහයට ඇඳලා ගත්තා...රස්නෙට තියෙන කෝපි කෝප්පය නිසා මගේ අත් වලට කලින් දැනුන සීතල පොඩ්ඩක්වත් දැනුනේ නෑ,මම තවත් තද කරලා කෝප්පේ අත් දෙකෙන් අල්ලගත්තා..

"ස්තූතියි ඔයාට!"මම හෙමින් කිව්වම මැණිකේ කෝපි උගුරක් තොල ගාලා මගේ ඔලුව අත ගෑවා..."මොනවද නැන්දේ ඔයා හදන්නේ?"මම කුස්සියට එද්දිත් මගේ ඔලුවේ තිබුනේ ඒ ප්‍රශ්නේ..."අද මගේ කෙල්ල රට ඉඳලා එනවානේ චුට්ටෝ!ඉතිම් මගේ එකී කන්න ආසම අලුවා!ඒවා තමයි මේ හදන්නේ..."මැණිකේ කිව්වම මම බීපු කෝපි ඩිංග උගුරේ හිර උනා...

"ක්-කෙල්ල කිව්වේ?"එක පාර හයියෙන් අකුණක් ගැහුවාම මම නැගිටලා ගිහින් කුස්සියේ දොර ලාවට අඩවල් කලා..."මගේ දුව...අසිනි...සුදු මහත්තයගේ නංගි...එයා අද ලංකාවට එනවා...සුදු මහත්තයා කිව්වේ නැද්ද දරුවෝ ඒ ගැන?"කිව්ව නම් බැරියෑ!ඒ මනුස්සයා මට කවද්ද එහෙම එකක් කිව්වේ...මම කෙල පිඬක් ගිලලා තවමත් උණු උණුවේ තියෙන කෝපි කෝප්පෙට තොල ගෑව්වා...

"එයා මට එහෙම එකක් කිව්වේ නෑ නැන්දා...අනේහ් ඔයාලගේ පවුල හරිම ශෝක්...මටත් හිටි-"

සුදු මැණිකේ මගේ අතේ තිබ්බ කෝප්පේ මේසෙ උඩින් තියලා,එයාගේ පපුවට මාව තුරුලු කරගත්තා...සුදු මැණීකෙගේ පපුවෙන් මට කියන්න තේරෙන්නෙ නැති උණුහුමක් දැනුනා...මම ඇස් පියාගත්තා...එයා මගේ කොන්ඩේ සිනිඳුවට අත ගාන්න ගත්තා...මට අම්මා කෙනෙක්ගේ උණුහුමක සුවඳ දැනුනා...මට සුව පහසුවක් දැනුනා...මම ඇස් නොඇර ඒ විදිහටම මැණිකෙගේ පපුවට තුරුලු වෙලා හිටියා..

"මගේ චුට්ටා දැන් ඇඩුවොත් නැන්දාව යාලු කරගන්න ලේසි වෙන එකක් නෑ හොඳද?"මැණිකේ කිව්වම මම කඳුලු අස්සෙන් හිනා උනා..ඇත්තමයි මට මේ පවුලට හුඟක් ලෝභ හිතෙනවා,සුදු මහත්තයට නංගි කෙනෙක් ඉන්නවා...මම ආසයි එයා මොන වගේද කියලා බලන්න...

"කෝ දැන් මගේ චුට්ටාට වැඩක් තියෙනව කරන්න"එහෙම කියපු නැන්දා මගේ අත උඩින් පෙනේරයක් තිබ්බා...මම ලස්සනට හිනා වෙලා සුදු මැණිකෙත් එක්ක ඉතුරු වැඩ ටික කරන්න එයාට උදව් උනා...

දවල් වරුව වෙනකල්ම අපි වැඩ ගොඩක හිර වෙලා හිටියා...මට නම් කිසිම කම්මැලිකමක් දැනුනේ නෑ...කමලා නැන්දා,සුදු මැණිකේ...මේ දෙන්නත් එක්ක ඉද්දී ඇත්තටම මට පාලු නෑ...මැණිකේ අලුවා විතරක් හදලා නවතී කියලා හිතුවට එක එක කෑම ජාති ගොඩක් මේ වෙද්දී හදලා තිබුනා...සුදු මහත්තයා එහෙට යනවා...මෙහෙට යනවා...බංගලාවට බඩු උස්සන් එනවා..අප්පච්චිත් වත්ත සේරම සුද්ද කරලා ඉවර වෙලා තිබුනා...හරියටම තව පැයකින් සුදු මහත්තයා එයාපෝට් යන්න ලෑස්ති වෙනවා කිව්වා...මට නම් ඉවසිල්ලක් නෑ...ඒ ඇයි කියන්න මං දන්නෙත් නෑ...මට තිබුනේ කුතුහලයක්...මෙහෙම කලබලෙන් වැඩ කරද්දී,එහෙට මෙහෙට කලබලෙන් දුවද්දී...ඒක වෙනමම දෙයක් කියලා මට පලවෙනි වතාවට දැනුනා...

"අයියේ...!"අසිනි ලගේජ් එකත් එක අතකින් අල්ලගෙන ඈත තියා තමන් දිහාවට ඇවිදගෙන එන මෙවාන්ට අත වැනුවා.."අසිනි...!"මෙවාන් අසිනි ළඟට ආවේ අත් දෙකත් ඈත් කරමින්...විනාඩියක්? දෙකක්? නෑ පැය කාලකට කිට්ටු වෙනතුරු දෙන්නා තුරුල් වෙලා හිටියා..මෙවාන්ගේ ඇස් අඟින් කඳුලක් වැටුනත් ඒක අසිනිට නොපෙන්වා ඉන්න ඕනේ නිසා ඇඟිල්ලකින් කඳුලු බිංදුව පිහදාලා දැම්මා...

"ඕහ් ගෝඩ් අයියා! ඔයා තවත් හැන්ඩ්සම් වෙලා"අසිනි කියමින් මෙවාන්ගේ කොන්ඩේ අවුල් කරලා දාලා ලස්සනට හිනා උනා.."ඔයත් ගොඩක් වෙනස් වෙලා..."මෙවාන් අනෙක් අතට අසිනිගේ කම්මුලකට ඇඟිල්ලකිම් තට්ටුවක් දාලා අසිනිගේ අතේ තිබුන ලගේජ් එක තමන්ගේ අතට ගත්තා...

"අවුරුදු පහක්? එහෙමනේ?"මෙවාන් ඉස්සර උනාම අසිනි මෙවාන්ගේ පිටිපස්සෙන් ඇවිද්දා..."ඔව්...මං මෙහෙට ආවා කියලවත් මට තාම හිතාගන්න බෑ...අම්මයි,අප්පච්චියි ආවේ නැද්ද අයියේහ්?"අසිනි වට පිට බල බල ඉදිරියට ඇවිද්දා..."නෑ අසිනි...ඒ දෙන්නම එන්න හැදුවේ...මම තමයි එපා කිව්වෙ.."කාර් එක ළඟට ආවම කාර් ඩිකි එකෙන් ලගේජ් එක දාපු මෙවාන් ඉස්සරහට ඇවිත් කාර් ඩෝ එක ඇරියා...අසිනි පැසෙන්ජර් සීට් එකෙන් වාඩි වෙනවත් එක්කම මෙවාන් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි උනා..

"ඇයි ඒ?තමුසේ එහෙම කිව්වේ?මම ඒ දෙන්නව අන්තිමට මෙහෙදී දැක්කේ අවුරුදු දහ හතරෙදී,ආහ් අයියේ අම්මවයි,අප්පච්චිවයි බලන්න ඕනේ,ඉක්මන් කරනවා"අසිනි මෙවාන්ගේ උරහිසට හයියෙන් ගහගෙන ගහගෙන ගියා..."ඔන්න ඉතිම් මල වදේ පටන් ගත්තා...හරි අපි යන්කෝ එහෙනම්..."මෙවාන් කාර් එක ස්ටාර්ට් කරලා ඉදිරියට ඇඳුනා...

"පුංචි කෙල්ල හුඟක් ලොකු වෙලා එයාගේ ලොකු අම්මා ගාවම ඉඳලා.."මෙතෙක් වෙලා තිබුනු නිහඬතාවය මෙවාන් විසින් බිඳලා දැම්මා..අසිනි ශටර් එකට ඔලුව තියන් එලිය බලාගෙන හිටියා.."අනේ අයියේ!"

"ම්ම්"

"මට විතරක් කියන්නේ,ඔයත් දැන් හුඟක් වෙනස් වෙලානේ අයියේ...මට ඔයාලා නැති පාලුව එහෙදී සමහරක් වෙලාවට තදින්ම දැනුනා...ආහ් මතක් වෙද්දිත්..ස්ටඩීස් නිසයි මම හිත හදන් අම්මා කිව්ව දේට හා කිව්වේ...නැත්තන් මම කීයටවත් ලොකු අම්මා ළඟට යන්නේ නෑ ඔයාලව මෙහෙ දාලා..."

අසිනි සුසුමක් පිට කලා...මෙවාන් අපහසුවෙන් හිනා වෙලා වේගෙ වැඩි කලා...මෙවාන් කැමති උනේ නෑ තමන්ගේ නංගි නැතුව ඒ දවස් ගෙව්ව හැටි මතක් කරන්නවත්...නංගිගේ අනාගතය වෙනුවෙන් අම්මා ගත්තු තීරණයට මෙවාන්ටත් එකඟ වෙන්නම සිද්ධ උනා...

"ඔයා ආයේ යන්නෙ එහෙම නෑ නේද? මෝඩි...නැත්තන් කියන්න තියෙන්නේ අයියේ මට ටික දවසයි මෙහෙ ඉන්න වෙන්නේ කියලා...අම්මපා එහෙම කියපන්කෝ බලන්න...මම උබට කරන දේ පෙන්නන්න..."

"ඇයි තමුසේ මට මොනවා කරන්නද ආහ්? මෝඩ සුදු මහත්තයා..."අසිනි හයියෙන් හිනා වෙලා මෙවාන්ට ටොක්කක් ඇන්නා.."ඒක නෙමෙයි ඇත්තටම අහන්නේ මෙහේ ආවේ හුඟ දවසක් ඉඳලා යන්න නේද?"මෙවාන් අසිනි දිහා බැලුවා..."ඔව් ඔව් ඉන්නවා...මට දිග නිවාඩුවක් ලැබුනානේ..."අසිනි කිව්වම මෙවාන්ගේ මුහුණ පිරිලා යන්න තරම් සිනහවකින් සැරසුණා...

"අයියේ මේ කොහෙද?"කාර් එක වෙලක් අයිනේ නතර උනාම අසිනි ඇහුවා..."බහින්න"අසිනි කාර් එකෙන් බැහැලා මෙවාන් ගාවට කිට්ටු උනා.."මහන්සිත් ඇතිනේ...දෙකක් කපලා දෙන්න..."මෙවාන් කිව්වම තැබිලි විකුණන මනුස්සයා හිනා වෙලා තැබිලි ගෙඩි දෙකක් කපලා බීම බට දෙකක් ගහලා මෙවාන්ටයි අසිනිටයි දික් කලා...

මෙවාන් කාර් එකට හේත්තු උනාම අසිනි පාර අයිනේ තිබුන ඒ ලී බංකුව උඩින් වාඩි උනා..."ඔයාට යාලුවෙක් හඳුන්වලා දෙන්නත් තියෙනවා"මෙවාන් කට කොනට හිනා වෙලා කොන්ඩේ අතින් හැදුවා.."ම්-මොන?"අසිනි ඇස් රෝල් කලා..."බංගලාවට ගිහින්ම බලමු..."මෙවාන් බීලා ඉවර උනු තැබිලි කෝම්බය ඩස්ට්බින් එකට දැම්මා..

"අයියේ!ඔයාව නම් හදන්න බෑ...මම හිතුවේ ඉස්සර තිබ්බ ඒ පුරුද්ද දැන් නැති වෙලත් ඇති කියලා..කෝ කොහෙද තාමත් ඉස්සර වගේ මොනවා හරි දෙයක් කියලා අපිව අවුස්සනවා...හරි නරකයි..."අසිනි මූණ බෙරි කර ගත්තම මෙවාන් අසිනිව තුරුල් කරගෙන අසිනිගේ කට දෙපැත්තට ඇද්දා..."ඉවරයක් නැති කියවිල්ල!"මෙවාන් හිනා උනාම අසිනි මෙවාන්ට ඔරවලා අහක බලාගත්තා...

"අම්මා,අයියෝ මට හුස්ම ගන්න බෑ..."මම හිතුවා වගේම අසිනි ලස්සන ගැහැණු ලමයෙක්...එයා හිනා වෙද්දී සුදු මහත්තයා හිනා වෙනවා වගේමයි...මම තොලක් හපාගෙන හිනා වෙලා මැණිකේ ළඟ හුරතල් වෙන මැණිකෙගේ සුදු නෝනා දිහා බලාගෙන හිටියා...එයා තවම මාව දැක්කේ නැද්ද කොහෙද..මට බයත් හිතෙනවා...මම බර හුස්මක් පිට කලා...

"මගේ කෙල්ල..ඒයි මේ බලන්න...මගේ කෙල්ල මට තෑගි ගෙනත්..."සුදු මැණිකේ පෙට්ටියක් අතේ තියාගෙන ඒක අප්පච්චිට පෙන්නුවා...අප්පච්චි හිනා උනා..."දැන් හරිනේ...ඔය ඉන්නේ මගේ කෙලි පොඩිත්ත...දැන් බැරියෑ මැණිකෙට නාඩා ඉන්න..."අප්පච්චි කිව්වම අසිනි වගේම මැණිකෙත් හිනා උනා...

"අම්මා අයියා කෝ?දැන් මගෙත් එක්කනේ ආවේ?"මැණිකේ වටපිට බැලුවම තමයි මටත් සුදු මහත්තයව මතක් උනේ...කෝ එයා..."වොශ් දාන්න ගිහින් ඇති සුදු නෝනා...කෝ මැනිකත් ගිහින් වොශ් කරන් එන්න...පැය ගානක් ඔය ෆ්ලයිට් එකේ ඉඳලා මගේ කෙල්ලට ගොඩක් මහන්සිත් ඇති..."මැණිකේ ඔලුව අතගාලා කිව්වම අසිනි ඔලුව වැනුවා...

"ඔව් අම්මා,ඇඟ රිදෙනවා...මම යනවා ඇතුලට"

"සුදු නෝනා මට අමතක උනා,ඔයා මගෙන් ඇහුවා නේද මේ කවුද කියලා?"මගේ පපුව ගැස්සිලා ගියා...ඒ කියන්නේ එයා මං ගැන අහලද?"ඔව් අම්මා"මැණිකේ හිනා වෙනවා මම දැක්කා...

"අපේ පුංචි පවුලේ අලුත් සාමාජිකයා! නේද චුට්ටො?"මැණිකේ කිව්වම මට ලැජ්ජාවක් දැනුනා...මම ඔලුව බිමට බර කරගත්තා..."මොනවා?"අසිනි ඇස් ලොකු කරගත්තා...මට හිනා යන්න ආවත් මම හිනාව තද කරගෙන හිටියා...

"ඔව් සුදු නෝනා,ඔයා දන්නවද එයාත් ඔයාගේ වයසේ.."මම නම් උදේම දැනගත්තා මැණිකෙගේ දුව මගේ වයසේ කියලා...ඒත්...අපි කොච්චර වෙනස්ද? එයා හොඳට ඉගෙන ගන්නවා...රට යනවා...මේ පවුලට එයා දවසක එයාගේ වගකීම් ඉටු කරාවි...ඒත් මම? මට මොනවද තියෙන්නේ? මට කිසි දෙයක් නෑ...මට හිතුනෙම මම ගෙවන්නේ මහ කාලකණ්ණි ජීවිතයක් කියලා විතරයි...

"හා හා මොකද මේ කසු කුසුව?"සුදු මහත්තයාගේ ගැඹුරු හඬ ඇහෙනකොට මාව ගල් ගැහුනා..."අයියේ!තමුසේ මෙයා ගැනද කිව්වේ?"අසිනි ඇහුවම සුදු මහත්තයා හිනා උනා...

"මොකක්ද අම්මා කරන්නේ? මම මේ කෙල්ලට මගේ යාලුවව හඳුන්වලා දෙන්න හැදුවම ඔයා මැද්දෙන් පැනලා වැඩේ විනාස කරලානේ"සුදු මහත්තයා කිව්වම හැමෝම හිනා උනා.."ආහ් මම කොහෙද විනාස කලේ? මෙයා බංගලාවට අඩිය තියනකොටම තමයි චුට්ටව දැක්කේ"මැණිකේ හිනා උනා...

"චුට්ටා?අම්මේ ඔයා මෙයාට නමකුත් දැම්මද?"මට දැනෙන ලැජ්ජාව දරාගන්න බැරි තැන මම කකුලේ ඇඟිලි පොලොවට තියලා තද කලා...දෙයියනේ මගේ කම්මුල් රත් වෙනවා කියලා මට දැනුනා...මට තවත් මෙතන ඉන්න පුළුවන්කමක් තිබුනේ නෑ...මට මෙතනින් දුවලා යන්න ඕනේ...

"එහෙනම් සුදු නෝනා වොශ් කරන් ආවම අලුත් යාලුවා එක්ක විස්තර කතා කර කර ඉන්නකෝ..."සුදු මැණිකේ එයාලගේ කාමරය පැත්තට ගියා..අසිනිත් එයාගේ කාමරයට ගියා...අප්පච්චිත් වැඩක් කරන්න තියෙනවා කියලා එතනින් යන්න ගියා...

මගේ පපුව වේගෙන් ගැහෙනවා...මමයි සුදු මහත්තයි විතරක් කවිච්චිය උඩ ඉතුරු උනා..."අහ්ම්"එයා උගුර පාදලා ඉස්සරහ බලාගෙන හිටියා...මගේ ඇස් කෙලවරින් ඒක පෙනුනා..."චුට්ටා!"සුදු මහත්තයා මගේ ළඟට කිට්ටු උනා...අනේ මට බෑ තවත් මෙතන ඉන්න...

"ඒ නම ඔයාට ගැලපෙනවා චුට්ටෝ!"ආහ් මගේ කම්මුල් ආයෙම රත් වෙනවා...එයාගේ කටින් ඒ නම කියද්දී මට අමුතුයි...මම බිම බලාගෙන හිටියා..."ඇයි සද්ද නැත්තේ?"එයා ඇහුවත් මම ඒ විදිහටම ඔලුව බිමට බර කරගෙන හිටියා...

"ඔයා රතු වෙලා..."සුදු මහත්තයා මගේ නිකට යටින් අල්ලලා මගේ මූණ ඉස්සුවා...දෙයියනේ මට තවත් නම් බෑ...මට දරාගන්න බෑ ඒ ලැජ්ජාව...දෙවියනේ මාව බේරගන්න!මම දෙවියන්ට කිව්වා..."ආහ් චෙරි ගෙඩියක් වගේ!"සුදු මහත්තයා කියලා හිනා උනා...

"මං යන්න ඕනේ..."මට මෙතනින් පැනලා දුවන්න ඕනේ...මම නැගිටින්න හැදුවත් ඒ ශක්තිමත් අත මාව මේ වෙද්දිත් තදින් අල්ලගෙන ඉවරයි...එපා සුදු මහත්තයා...මට ළං වෙන්න එපා...මගේ හිත කියවන්න පුළුවන් උනා නම් ඔයාට තේරෙයි! මේ දේ කරන්න එපා...මම ඔයා ඉස්සරහ හුඟක් දුර්වලයි! මාව මේ විදිහට දුර්වල කරන්න එපා...මම සුදු මහත්තයාගේ තද කළු ඇස් දිහා බලාගෙන මගේ ඇස් වලින් ඒ ඇස් වලට හැඟෙව්වේ මට කවදාවත් වචනෙන් ඒ දේවල් හඟවන්න බැරි නිසයි...

_________________________________________

laura-bun🍃