Chapter 9: අවසන් කොටස

මඟ හැරී | NONFICTION ✔Words: 32634

" ආදරය " ඇහුවත් හිත නිවෙන අකුරු හතරක බහුවචනයක්...? ඒත් ඇත්තටම හැමෝටම එහෙමද..? සමහර අයට ඒක බහු වචනයක් වෙද්දි සමහර අයට, ඒක වචනයක්ම වෙනවා.. කවුරු කෙසේ කොහොම කීවත් ආදරය කියන්නෙම විශ්වීය හැඟීමක්..!! ආත්මාර්ථය තියන තැන ආදරයක් නැහැ.. සමහර ආදරවන්තයන්ට ලස්සන අවසානයක් ලැබෙන අතර සමහර ආදරවන්තයන්ට එහෙම නෑ.. හැම ආදර කතාවකටම ලස්සන අවසානයක් තියෙන්නම ඕනෙද..??

ආදරයට අර්ථකතන දෙන්න පුලුවන් කාටද ආදරය කියන්නෙම හැඟීමක් වෙද්දි.. හරිම කෙනා හරිම කාලෙදි හම්බුන ගොඩාක් උන් ආදරේ ලස්සන විඳිනවා.. සමහර ආදරකතා අහද්දි කියවද්දි එච්චරටම ලෝබ කමක් දැනෙන්නේ ඒ නිසයි..!! දැනිලා තියනවද තව කෙනෙක්ගේ ආදර කතාවක් ගැන ලෝබ කමක්.. එහෙම දැනිලා නැති වෙන්න බෑ නේද..??

සම්මතයේ හෝ අසම්මතයේ වේවා ආදරයේ සුන්දරත්වය විඳින්නේ ඒ ආදරේ විඳින උන්මයි.. ආදරය කියන්නෙම පපු කැවුත්ත මෝරගෙන එන හැඟීමක් වෙද්දි ඒ ආදරේ සම්මත බව අසම්මත බව තීරණේ කරන්න උඹටවත් මටවත් බෑ බන්..!!

සමහර ආදර කතා ලස්සන වෙන තරමට වේදනාව වැඩී.. අහලා නැද්ද, 'දැනෙන තරමට රිදෙනවා...රිදෙන තරමට දැනෙනවා....' කියලා.. ඒ ආදර කතාවල ගැඹුර වැඩිවෙන තරමටම විරහවේ සැඩ පහරින් ගැලවෙන්න බැහැ..!! ආදරය කියන්නෙම හැඟීමක් වෙද්දි ඒ හැඟීම් නිසාම විඳවන්න වන බව දැන දැනම ආදරේ මත්තෙම නැහෙන උන්ගෙනුයි මම අහන්නේ.. උමතුවක් නේද බන් මේ ආදරය..??

.

.

.

සුසුම් හඬවල්... බර හුස්මක හඬවල්... අඳෝනාවන්... ඇඬියාවන්... විලාපයන්... සුදෝ සුදින් සැරසී ඉන්න මනුස්සයන්... මූසල සොහොන් කොතක්..!!

ඒ හැම දේම එක්ක අඩි හයක් යටින් සාමයෙන් නිදන් ඉන්න ආදරෙන් උමතු උන උන්මන්තකයෙක්..!! ජීවිතයේ ඕනෑම දෙයක් සිදුවෙන්න ගතවෙන්නේ එක් ක්ෂනයයි.. ලස්සනට ජීවත් විය යුතුයි කියන ජීවිත කීයක් නම් අකාලයේ මිය යනවද..? නිරපරාදේ තරුණ ජීවිත කීයක් " ආදරය " කියන අකුරු හතර නිසාම නැති වෙලා යනවද..?? තවමත් කියන්නේ ආදරේ ආත්මීයයි කියලද..?

පිටින් හයියට ඉන්න හිත් කීයක් ඇතුලාන්තයෙන් කෑමොර දෙනවා ඇතිද.. හිත කීයක් වැලපෙනවා ඇතිද... ඒත් සමහර උන් දරාගන්නවා.. සමහර උන් අත අරිනවා... අත අරින උන්ටයි මේ මන් කියන්නේ උඹලා මහ පරාජිතයෝ ජාතියක් බන්..!!

" අහිංස... යමන් බන්.. වෙච්ච දේ වෙලා ඉවරයි.."

" මට හිතෙනවා මේ හැමදේටම වග කියන්න ඕනා මම කියලා අයියේ... "

"දරාගනින් බන්... අනික මේ උන දේට උඹ වගකියන්න ඕනේ නෑ... එයාගේ දෛවය ලියවෙලා තියෙන්නේ ඔහොම වෙන්න ඇති බන්.. ඒක අපිට වෙනස් කරන්න බෑනේ..."

තාමත් සොහොන් කොත දිහා හඳුනගන්න බැරි හැඟීම් වෙලා ගත්ත ඇස් දෙකකින් අහිංස බලන් ඉන්නවා... අහිංසට දුකකට වඩා මේ වෙලාවේ තියෙන්නේ කලකිරීමක්..!! නිරපරාදේ නැතිඋන ජීවිතයක් ගැන කලකිරීමක්ම විතරයි..!!

සොහොන් කොත දිහා නිවී හැනහිල්ලේ බලන් ඉද්දී අහිංසට අතීතයේ නොගැලපුන ගොඩක් තැන් හරි ලස්සනට ගැලපුනා... හැම විදියකම හැඟීම් ගොන්නක් අහිංසගේ හිතේ පැලපදියම් වෙලා.. දුක සතුට තරහව හැම දෙයක්ම..!!

සොහොන් කොත දිහා බලන් හිටපු අහිංසගෙයි රදීශ්ගෙයි අවදානය බිඳුනේ අහිංසට ආපු දුරකතන ඇමතුමත් එක්කමයි..

"හෙලෝ"

"ඔව්.. අහිංස තමයි.."

"හ-හරි... අපි ද්-දැන්මම එන්නම්.."

මෙතරම් වෙලා අඳුනගන්න බැරි හැඟීම් ගොන්නකින් පිරිලා තිබ්බ අහිංසගේ ඇස් කඳුලු වලින් පිරුනා.. ඒකත් සතුටු කඳුලුවලින්ම...

" අයියේ.. අපි ඉක්මන්ට හොස්පිට්ල් එකට යමු..!! "

හරි කලබලෙන් ඕනම කරන ලියමන් පිරුණු එක පුංචි බෑගයක් අරන් රදීශ් එක්කම අහිංස හොස්පිට්ල් එකට යනවා... ඒ හිත මහ ගොඩක් වේගයෙන් ගැහෙනවා.. ලොකු අඩි තියලා ඉක්මනින් ගිහින් හොස්පිට්ල් කාමරයක් ඉස්සරහ අහිංස නැවතුනා.. ගැහෙන හදවත එක්ක වෙව්ලන අතින් ඒ දොර ඇරියා..

.

.

.

"අ-අයියේ.."

අහිංස බලාපොරොත්තුවෙන් හිටපු ඒ රුව දිහාම බලන් අහිංස ඒ කෙනා ළඟට ගියා.. වේගයෙන් ගැහෙන හදවත උඩින් අත තියන් වෙව්ලන කකුල් එක්ක කෙටි අඩි වලින් අර රුව දෙසටම ගෑටුවා.. ඒ කාමරේට අහිංස විතරක්ම ඇතුල් වෙද්දි ඒ කෙනත් අහිංස දිහා බලාපොරොත්තු පිරුණු ඇස් වලින් බලන් හිටියා..

" අයියේ.. ම-මට සමාවෙන්න අයියේ.. මේ පවුකාර මට සමාවදෙන්න අයියේ.."

ලෙඩ ඇඳේ උන්න ඒ කෙනාගේ එක අතක් අහිංසගේ දෝතින්ම බදාගෙන ඒ කෙනාගේ බඩේ වෙලලා තියන ඒ තුවාලය උඩින් තොල් හරි පරිස්සමට තියන ගමන් අහිංස හරි වේදනාවෙන් මිමිණුවා.. අහිංසට වාවන්නේ නෑ එයාගේ පණ ටික මෙහෙම ඇඳක ඉන්නවා දකිද්දි.. මීට සතියකට කලින් එයාගේ ඇස් ඉස්සරහම තුවාල උන එයාගේ එකම ආදරේ එහෙමත් නැත්නම් මෙනුජ මෙහෙම ලෙඩ ඇඳක අමාරුවෙන් හුස්ම ගන්නවා එයාට බලන් ඉන්න අමාරුයි..

" පිස්සුද දරුවෝ.. "

හරි හීන් මිමිනිල්ලකින් ඒ ඇහුන මෙනුජගේ වචන ටික අහිංසගේ හිත සතුටු කරා.. සතියකිනුයි එයා මෙනුජගේ කටහඬ ඇහුවේ.. එයා හරි ආදරෙයිනේ මෙනුජගේ හඬට...

" ඔයාට රිදුනද මගේ අයියේ.. මට ඔයාගේ ලඟටවත් එන්න බැරි උනා අයියේ... ඔයාට ආදරේ කරන ගොඩක් අය ඒ වෙද්දි ඔයාගේ වටේ වට උනා.. ම-මම ඔහේ හිටපු තැනට වෙලාම හිටියා අයියේ.. මට මගේ කකුල් පොඩ්ඩක්වත් හොලවගන්න බැරි උනා මගෙ අයියේ.."

" ශ්...ශ්... ඔය ඇති දැන්.. "

අහිංස හරි වේගෙන් කියවගෙන යනවා.. ඒ හිත කලබලයි.. සමහරවිට ඒ සිද්ධිය තාමත් අහිංසගේ හිත හොල්මන් කරනවා ඇති.. තාමත් රිද්දනවා ඇති..!!

" අයියේ මම ඔයාගේ පපුවෙන් ඔලුව තියා ගන්නද.. රිද්දන්නේ නෑ මම.. පොරොන්දු වෙන්නම් "

ඇයි මේ අහිංස මෙච්චරම අහිංසක.. ඒ දුඹුරු ඇස් බෝල කරන් හරි අහිංසක විදිහට මෙනුජගෙන් ඇහුවා... කඳුලු පිරිලා නිසා ඒ දුඹුරු ඇස් හරි අගේට දිලිසෙනවා.. තරුකැට දෙකක් එයාගේ ඇස් වලින් පේනවා.. මෙනුජ මෙච්චරටම මේ හුරතලේට ලෝබ කම් කරන්නෙම මේ නිසයි..

" වරෙන් බන්..!! "

මෙනුජ කිව්ව හැටියෙම අහිංස ඒ පපුවේ හරි පරිස්සමට ඔලුව තියාගත්තා.. එයා සැනසීම විඳිනවා... සමහරවිට හිතේ තිබුන මහ මෙරක් තරම් බර, එයාගේ පීඩනය ඒ පපුතුරේ දියකරන්න ඕන ඇති..!! අහිංස හරි ආදරෙයි මෙනුජගේ කතා විලාසයට.. බොරු ආටෝප නැති ඒ ගැඹුරු පිරිමි හඬේ තියෙන්නෙම අහිංස කෙරෙහි තියන අසීමාන්තික ආදරයමයි..

" ඔහොම දිගටම ඔලුව තියාගෙන සද්ද නොකර ඉන්නද කල්පනාව..? "

කෙනෙක්ගේ හැසිරීමේ අංශු මාත්‍රයක වෙනසක් උනත් ඒක තව කෙනෙක්ට දැනෙනවා කියන්නෙම ඒ කෙනා ඔයාගේ මුලු ආත්මේ එක්කම බැඳිලා කියන එක..!! මෙනුජත් බැඳිලා අහිංසගේ ආත්මේ එක්කම... ඒක නිසයි එයාට මහ ගොඩක් අහිංසව දැනෙන්නේ..

" මම කොතනින්ද පටන් ගන්නේ කියලා කල්පනා කරනවා අයියේ.."

" ඔයාට හිතෙන තැනකින් පටන් ගන්න අහිංස.. ඔයාට කැමති විදිහට කතා කරන්න මගේ ළඟ නිදහස තියනවනේ.. ඒක නිසා හිතේ තියන දේ හිරකරන් විඳවන්නෙ නැතුව ඒ දේ කියපන්.. ආදරේ බෙදා ගන්නවා වගේම උඹේ වේදනාවත් බෙදාගනින් මගෙ අහිංස..!!"

" මට මුලින්ම කියන්න... ඔයාගේ හිත බිඳලා දාපු මේ පවුකාරයට සමාව දෙනවද..? "

මෙනුජට දරාගන්න බෑ.. අහිංස එයාවම මේ ආදරේ ඉස්සරහ පහතට දාන එක දරාගන්නම බෑ.. සමහරවිට අහිංසට මේ ආදරේ මහ ගොඩක් ලොකු ඇති.. ඒකයි අහිංස ආදරේ නමින්ම කැපවෙලා ඉන්නේ !!

" සමාව ඉල්ලලා ඔයාගේ ආදරේ පහත් කරන්න එපා අහිංස..!! ඒ වගේම ඔයා ඔයාටම පවුකාරයා කියලා කියා ගන්නත් එපා..!! මම ලඟ ඔයාට නොදෙන සමාවක් නෑ.."

මෙනුජ හරි ආදරෙන් අහිංසගේ සිනිඳු කෙස් පිරිමදින ගමන් කතා කරනවා.. මේ දෙන්නගේ ආදරේ හරි ලස්සනයි.. දැක්කත් දකින කෙනාට මහ ලෝබ කමක් දැනෙනවා.. තමන්ටත් මේ වගේ ආදරයක් තිබුනනම් කියලා හිතෙන තරමට පරිපූර්ණ ආදරයක් මෙයාලා අතර තියනවා.. කලාතුරකින් මිනිස්සුන්ට ලැබෙන හරි පිංකාර ආදරයක්..!!

" දන්නවද අයියේ.. ගෙවුන කටුක ඍතුවට පස්සේ අපිට වස්සානේ උදා වෙන්නයි යන්නේ.. මගේ තාත්තා පිළිගත්තා අපේ ආදරේ..  ජනප්‍රියම ගායක මෙනුජ නුවන්සිත්, අපේ පුංචි පවුලේ ලොකු පුතා වෙන්නලු යන්නේ.."

මෙනුජගේ ඇස් දිලිසුනා... ලේසියෙන් කඳුලු හෙලන්නේ නැති ඒ තියණු ඇස් වල තුනී කඳුලු පටලයක් එයාටත් හොරාම බැඳිලා.. ඒ හිතට ලෝබ ඇති.. නැතිවෙන්න ගිය ඒ මඟ හැරුණු ආදරේ තමන්ගේ වෙනවා කියලා දැනෙද්දි ඒ හිත අස්සෙන් හුඟාක් අඬනවා ඇති..!!  සමහරවිට තමන්ටත් පවුලක් ලැබෙන්න යනවා කියන දේ නිසාම ඒ හිත සතුටු ඇති.. අනාතයෙක් උන මෙනුජ තව දුරටත් අනාතයෙක් නොවන නිසාම හිත කෑමොර දෙනවා ඇති.. ඒත් තවමත් ඔහු නිහඬවම ඒ සතුට විඳිනවා..!!

" මම දැනන් හිටියා අහිංස, උඹේ පිංකාර ඒ ආදරේට දෙවියන් වහන්සේ අවැඩක් කරන්නේ නෑ කියලා... මේක වෙන්නැති දෛවයේ හාස්කම් කියන්නේ.. මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ.. මම ආදරෙයි උඹට මහ ගොඩක්..!!"

" මමත් ආදරෙයිනේ මගේ අයියට.. ඒක නිසාමනේ මම අපේ හීනේ වෙනුවෙන්ම මේ ආදරෙත් මඟ හැරියෙ.. සමාවෙන්න මට.. "

" හීනේ වෙනුවෙන්..? "

" හ්ම්ම්.. අපේ තාත්තට අපි දෙන්නගේ සම්බන්ධේ ආරංචි වෙලා තිබ්බා.. ඒකත් ඔයා ගැන නරක විදියකට.. ඔයාගේ ප්‍රතිරූපය ගොඩක් නරක විදිහට තාත්තගේ හිතේ ඇඳිලා තියෙන්නේ.. ඒකට හේතුවත් අධිකාරි අංකල්.. "

" ම්ම්.. ඉතින්.."

" ඉතින් මගේ තාත්තා ඊට පස්සේ මේකට විරුද්ධ උනා.. මම කොහොම දිවුරලා කිව්වත් ඔයා ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා අපේ තාත්තා ඒක විස්වාස කරේ නෑ.. මට පණ වගේ ආදරේ කරපු එයා මාව අවිස්වාස කරා.. ඒත් මම එයාලා කියන දේවල් අහන්නේ නැතුව ඔයා එක්කම හිටියා.. මොකද මම තරම් ඔයාගේ හැඟීම් අඳුනන කෙනෙක් තවත් නෑ.. ඉතින් මම දිගටම ආදරේ කරා.. ඒත්.. මට එක දවසක් ආවා පවුලයි ආදරයයි අතරින් එකක් තෝරගන්න.. මගේ තාත්තා කිව්වා සමනලීව බැන්දේ නැති උනොත් ඔයාගේ හීනේ විනාස කරලා දානවා කියලා.. මේ රටට ආයෙත් මූන දෙන්න බැරි වෙන විදිහේ දෙයක් කරනවා කියලා.. "

" ඔයා ඉතින් එහෙම කිව්ව ගමන් සමනලීව බඳින්න කැමති උනා.. එහෙම නේද..? "

" නෑ නෑ දෙයියෝ... එහෙම නෑ.. මම ඒත් එයාලා කියන දේ ඇහුවේ නෑ.. ඒත් දවසක් අපේ තාත්තා මට කිව්වා එයාගේ ජීවිතේට හරි එයාගේ ආදරණීයන්ගේ ජීවිතේකට හරි කරදරයක් වෙන ඕනෙම කෙනෙක්ව නැති කරලා දාන්න එයා දෙපාරක් හිතන්නේ නෑ කියලා.. එක ජීවිතයක් තීරණය වෙන්නේ මගේ තීරණේ අනුව කියලා කිව්වා... ඉතින් කොහොමද මම තවත් ආත්මාර්ථකාමී වෙන්නේ.. මම ඉතින් ඒ තීරණේ ගත්තා.. නැහැ මට ගන්න උනා.. "

" එතකොට හැමදෙයක්ම විසඳුනේ කොහොමද..? "

ඒ ප්‍රශ්නෙට උත්තරයක් නොදීම ලියමන් තිබුණු ඒ පුංචි බෑගය මෙනුජගේ අතේ තිබ්බා..

මෙනුජ සහ අහිංස වෙත,

කොහොමද ඔයාලට.. එහෙම ඔය දෙන්නාගෙන් අහන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි මම... මට මුලින්ම ඉල්ලන්නේ මට සමාව දෙන්න එපා ඔයාලා.. එහෙම සමාවක්වත් සුදුසු කෙනෙක් නෙවෙයි මම..

ඔයාලගේ ජීවිතේ උන හැම කරදරයකටම මමයි වග කියන්න ඕනා.. මමයි ඔය දෙන්නව වෙන් කරේ.. මමයි මෙනුජ ගැන බොරු වැරදි ගොඩක් අහිංසගේ තාත්තට කිව්වේ.. ඒකත් මගේ තාත්තගේ මාර්ගෙන්... මට සමාවෙන්න.. මම දන්නවා මම සමාව ඉල්ලන්නවත් සුදුසු නෑ කියලා.. ඒත් මගේ වැරදි කියලා මගේ හිත නිදහස් කරගන්න ඕනා.. එහෙනම් මාව පොඩ්ඩක් අහන් ඉන්නවද..?

දන්නවද මම ඇයි එහෙම කරේ කියලා.. ඉඩ දෙනවද අඩුම නිදහසට කරුණක්වත් කියන්න..?

දන්නවද මමත් ආදරේ කරා.. ඒකත් කැම්පස් කාලේ ඉඳන්ම.. එක ඇස් දෙකක් දිහා මමත් බලන් හිටියා.. ඔව් ඒ ඇස් නම් මගේ ඇස් එක්ක ගැටුනේ නෑ... ඒත් නොබලන ඇස් දිහා බලන්න එයා බලන්න ඕනෙමද..?

හරි ලස්සනට හීන ගොඩක් මැවුවා.. දුර ඉඳන් එයා දිහා බලන් අපි දෙන්නගේ හීන මාළිගයක් මැවුවා ඒකත් අහස උසට.. ඒත් මට අමතක උනා ඒ මාළිගාව වීදුරු කියලා.. ඒ හීන මාළිගාව දෙදරලා බිඳිලා ගිය දවසට මාව විනාස වෙනවා කියලා..

මට පෙනුනේ නෑ ඔය දෙන්නගේ ආදරේ... මට පෙනුනේ මගේ ආදරේ මගෙන් ගිලිහෙනවා කියලා විතරයි.. මට පෙනුනේ නෑ ඔය දෙන්නගේ බැඳීමේ තිබුණ ලස්සන.. මට පෙනුනේ මම කොච්චර ආදරේ කරනවද කියලා විතරයි... මට පෙනුනේ නෑ මෙනුජගේ ජීවිතේ ලස්සන උන අපූරුව... මට පෙනුනේ මගේ ජීවිතේ අඳුරු වෙන විදිහ විතරයි.. ඒත් ඇත්තමයි මම ඔයාලා දෙන්නව වෙන් කරන අදහසින් මෙනුජ ගැන බොරු කිව්වත් මම අහිංසව කසාද බඳින්න ඕනා කියලා යෝජනා කරේ නෑ...

හරි ලස්සනට දුරින් ඉඳන් ආදරේ කරන්න ඕන උනත් මගේ ඇස් වලට බලන් ඉන්න පුලුවන් උනේ නෑ.. ආත්මාර්ථය කියන විස මගේ ඇඟේ දිව්වා... ඒ විසෙන් ඔයාලගේ ආත්මයන් පිච්චුවා..

උන්මන්තකයෙක් වෙන්න ඇති මම.. ඔව් මම උමතු උනා... ඒකත් මගේ හිතේ තිබ්බ රූපයටම.. ආදරේ කරා.. ඒත් ඒ ආදරේ මට තනියම දරාගන්න බැරි උනා.. මේ ඔක්කොම මෙහෙම තියෙද්දී අහිංස එදා මගේ ඉස්සරහ ආදරේ අයදිද්දී සත්තමයි මගේ පපුව කීරි ගැහුනා... අහිංස එදා එයාගේ පිවිතුරු ආදරේට පවුකාරකමක් කියලා කියද්දි මගේ ආත්මයම අළුවෙලා ගියා.. මොකද මෙතන ඉන්න එකම පවුකාරයා මමයි..!! ලස්සන කුරුළු කූඩුවක් සාහසික විදිහට කුඩු කරලා දාපු යක්ශනිය මමයි..!!

ඉතින් මම කල් දැම්මා.. කල් දැම්මා කිව්වට මම හිතාගත්තා මේ කසාදේ සිද්ධ වෙන්න දෙන්නේ නෑ කියලා.. අහිංසගේ ඒ අඳෝනාව මගේ හිතම පෑරුවා.. මගේ හිත පසුතැවිල්ලෙන් වෙලිලා ගියා.. ඒත්.. මෙනුජව අපේ තාත්තගේ නරුමයෙක් මරන්න උත්සාහ කරා කිව්වම මට මාවම නැති උනා.. දරාගන්න බෑ.. මමයි මේ ඔක්කෝටම හේතුව.. ඔය දෙන්නගේ ජීවිතේ සාතන් මම උනා.. දෙවියන් වහන්සේගේ නාමෙන් මට දරාගන්න බැරි උනා.. ඉතින් මම මගේ තාත්තව පොළීසියට අහු අරා.. දන්නවා දුවෙක් විදියට මම වැරදියී.. ඒත් මට මේවා තවත් ඉවසගන්න බෑ... ඒයාට ඕන කරේ අහිංසගේ තාත්තගේ සල්ලි දේපළ.. ඒ නිසාමයි මගේ හැම වැරැද්දකටම එයා උදව් කරේ.. පස්සේ මම නොදැනුවත්වම මගෙයි අහිංසගෙයි කසාදේ තීන්දු කරේ..!!

මම ඔක්කොම අහිංසගේ තාත්තට කිව්වා.. හැම දෙයක්ම..!! ඉතින් මගේ යුතුකම මම ඉශ්ට කරා... මම ඇති කරපු ඔයාලගේ ජීවිතේ පිළිලය මමම නැති කරා..

සමහරවිට මම මේ දකින්නේ මාවම කියන එකත් මට සැකයි.. ඔව් තවම පණ තියන පපුවට අත තියලා බැලුවම දැනෙනවා පපුව ගැහෙනවා.. ඇයි තාමත් මගේ පපුව ගැහෙන්නේ..? මුකුත් නොදැනෙන සාප හිතකට හදවත ඔහේ ලේ පොම්ප කරනවා අපරාදේ...

මම තාමත් ආත්මාර්ථකාමී... මට තාමත් බලන් ඉන්න බෑ මගේ ආදරේ අන්සතු වෙනවා... ඔයා ගැන තියන හැඟීම් මරන්න හිතුවත් මට තියන එකම හැඟීම ඔයාම උනා... අමතක කරන බව දිවුරුවත් අමතක කරන්න බැරි එකම මතකයත් ඔයාම උනා.. ආදරේ නැහැයි කියා එකඟ උනත් ඒ එකඟතාවය පුරාම තිබ්බ ආදරේ ඔයාම උනා.. මගේ ආත්මය මගේ නාමය මගේ ලෝකය ඔයාගේ නමින්ම ලියවුනත් මගේ නොවන ඔයාගේ මතකයන් ගොන්න මන් එක්කම පොළොවට වැළලේවී... සදහටම ඒ මතකයන් මන් එක්කම පොළොවට පස් වේවි.. අසීමිතව සදහටම හැම හුස්මකම ආදරේ කරා මම.. ආදරෙයි තාමත් මම... එයත් එක්ක හිනා වෙලා සතුටින් ඉන්න එයාගෙ පණ...

අන්තිම පාරටත් මම ඉල්ලනවා අනුකම්පා කරන්න එපා මට... හෙට දකින පවුකාර මළකඳටවත් අනුකම්පා කරන්න එපා.. එහෙනම් ආයේ ආත්මෙකදිත් තනියම ආදරේ කරන බලාපොරොත්තුවෙන් මම ඇස් පියාගන්නම්... ආදරෙයී...

.

.

.

.

.

"දන්නවද සමනල්ලු හරි ආසයිලු අඳුරුවට තියන අහස පාට වලින් පාට කරන්න.. ඒකමලු ඒ සමනල්ලු අහස අඳුරු උන හැටියේ දේදුන්නට පාට දෙන්නේ... අදුරු අහස පාට වලින් හැඩ කරන්න ඒ අහස ඉඩ දෙනකන් ඒ සමනල්ලු බලන් ඉන්නවලු.."

-සමනලී-

දන්නවද..?

කෙනෙක්ට අධිමාත්‍රාවෙන් ඇබ්බැහි උනාට පස්සේ ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ .!! හෙන ගැහිලා යන විදියට ආදරේ කරපු මිනිස්සු උමතු වෙන්නේ මේ නිසයි. උන්ට ඒ වෙන්වීම දරාගන්න බැරි වෙනවා.. පපු කුහරේ ඇතුලේ මිරිකෙන ආදරේ තනියෙන් දරාගන්නම බැරි උන දවසට ඒ උන් සදහටම උනත් අතුරුදහන් වෙලා යනවා..

" ප්‍රේමය කියන්නේ අන්ධකාර ඛේදවාචයකින් අවසන් විය යුත්තක් නොවෙයි, ජීවිත කාලය පුරාම පවත්නා වර්ණවත් සැනකෙළියකින් අවසන් විය යුත්තක්..!! "

.. සමාප්තයි ..

____________________________________________________

ඔයාලට මතකද මෙනුජට ලියමන් ලියපු නම නොදන්න ලියමන්කාරයා... ඒ ලියමන් මතකද..?

මෙනුජ-අහිංස ආදර කතාවේ හරි ලස්සන තාවකාලික නැවතුමකට එක් උනා.. එයාලා තවත් ලස්සනට එයාලගේ ආදරේ බදාගනී... එකටම වයසට යයි.. පණ වගේ ආදරේ කරලා ඒ ආදරේ මඟින් නවතිනවට වඩා ලස්සන අවසානයක් ලැබෙන්න ඕනා.. සියලුම ආදරවන්තයන්ට ලස්සන අවසානයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු...

ඒ වගේම හැම ඒකපාර්ශ්වික ආදර වන්තයෙක්ටමත් තමන් හොයන ඒ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු...

මුල ඉඳන්ම කතාව එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ස්තූතියි..

කතාව ගැන දැනුන දේ මෙතන කියන් යන්න...

.

.

මෙයාලාට කියන්න දෙයක් හරි මෙයාලගෙන් අහන්න තියන දෙයක් හරි අහන්න ඔයාලට පුලුවන්...

මෙනුජ...

අහිංස...

සමනලී...

ආයෙමත් ස්තූතියී.... ආදරෙයි හැමෝටම