Chapter 3: CHAPTER 03

මඟ හැරී | NONFICTION ✔Words: 25238

මාස කිහිපයකට පසු...

අහස ගුගුරනවා.. ටිකක් සැරට වහිනවා.. වැසි සද්දෙ ඇරුනාම මුළු පරිසරේම මහ මූසල විදිහට නිශ්ශබ්දයි. මනුස්සයෙක්ගේ බර හුස්ම හඬක් ඇරුනාම මේ තැන මනුස්සයෙක් ජීවත් වෙනවද කියලා කියන්න බැරි විදියට නිශ්ශබ්දයි.. ඇයි මෙච්චර ඒ මනුස්සයා හූල්ලන්නේ..?? කාමරේ මුළුමනින්ම අඳුර වෙලාගෙන.. ඉඳහිට ගැහෙන අකුණක එලියෙන් පේන ඒ අපිළිවෙල මිනිස් රුව ඇරුනම මේ කාමරේ කිසිවෙක් නෑ.. ඉඳහිට කෙඳිරිල්ලක් වගේ සින්දුවක මිමිනිල්ලක් ඇසුනත් ඒ මූසල ගතිය නම් ඇරුනේ නෑ..  අර අපිළිවෙල පුද්ගලයා උරපු දුමේ සුවඳ මුළු කාමරේම වෙලාගෙන..අඳුරු කාමරය, බර හුස්මක හඬ, සිගරට් දුම.. ඇබ්බැහියක්.. ඒ ඔක්කොමත් එක්කම බිඳුණු හදවතක් ඇති මනුස්ස පරාණයක්..!! දෛවයේ දරුණුතම පළිගැනීම නම් අහිමිවන බව දැන දැනත් සමහර බැඳීම් මුන ගැස්වීමලු.. විඳලා තියනවද ඒ හැඟීම.. නැත්නම් උඹ වාසනාවන්තයි..!!

ඔව්.. ඔහු හොඳ හුස්මකින් පෙනහලු පුරවගෙන ඔහුගේ ගිටාරය අතට ගත්තා...

නමුත් කවුද මේ අපිළිවෙල පුද්ගලයා...??

ඒ.... මෙනුජ.... මඟහැරුන ආදරයෙන් මංමුලාවුන ආදරවන්තයා...

ආයෙත් මුමුනන්න ගත්තා. දැන් නම් සද්දෙන්ම මුමුණනවා..

නැවත මෙනුජගේ මානෙන්,

( සින්දුවත් එක්කම මේ කොටස කියවන් යන්න ළමයී.. විඳලා බලන්න මෙනුජගේ හැඟීම..)

"මදි වුනාදෝ

දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා

ඒ නිසාදෝ

වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා"

මට මතක් වෙනවා බන්... උඹේ ලස්සන හිනාව මතක් වෙනවා.. දන්නවද උඹ ගොඩක් ලස්සනයි බන්. මම පුදුම විදිහට උඹෙ වල ගැහෙන කම්මුල් වලට ආදරේ කරා... උඹේ හිනාවට ආදරේ කරා... උඹේ කතාවට ආදරේ කරා... උඹේ හැසිරීමට ආදරේ කරා බන්... මට මෙහෙම විඳවන්න බෑ බන්... මට බෑ.. මට තාම දරාගන්න බෑ එදා උඹ වෙන කෙනෙක්ගෙ උනා කියලා. මේ හිත තාමත් ඒක පිළිගන්නේ නැත්තේ ඇයි බන්...  අහිංස මගේ මගේ මගේ විතරමයි. ආදරය මෙච්චර වේදනාවක් කියලා දන්නවා නම් මම කවදාවත් ආදරේ කරන්නේ නෑ බන්... කවදාකවත්ම...!!

"ඒ දෑස් මඟ හැරී

බොහොමයක් කල් ගෙවී ගිය මුත්

නුඹ කොහේ හෝ හොඳින් නම් සතුටින් මං

මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්"

උඹ සතුටින්ද මගෙ අහිංස..?? උඹේ වයිෆ් එක්ක ලස්සන ජීවිතයක් ගත කරනව ද..?? දැන් ලස්සන පැටියෙකුත් ඉන්නවද මගේ අහිංස..?? මට ආසයි බන් උඹව බලන්න එන්න.. ඒත් සමාවෙයන්.. මට හයියක් නෑ.. මම දුර්වල මිනිහෙක් බන්..!! ඒත් උඹ මට එදා පොරොන්දු උනා සතුටින් ඉන්නවා කියලා.. සතුටින් හිටපන් බන්. ඒක තමයි මගේ එකම පැතුම.. මගේ එකම සතුට..

"මටත් හිනැහිලා ඉන්න තිබුණා

නොකෙරුවා නම් නුඹට ආදරේ

දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී

නොහැඟුනා දෝ මා දුන් සෙනේ"

අහිංස!! ඇයි අහිංස මට මෙහෙම කරේ..?? ඔයා මට මහ සාගරයක් තරම් ආදරේ කරානේද අහිංස..? ඒත් බලන්න අහිංස මම ඔයාගේ ආදරේ කියන ජල පාරටම අහුවෙලා හුස්ම ගන්න බැරුව දඟලන විදිහ.. හුස්ම අයදින විදිහ... ඇයි බන් උඹට තේරුනේ නැත්තේ මගේ ආදරේ..?? සමාවෙන්න මට බැරුව ඇති දැනෙන්න ආදරේ කරන්න.. ඒත් මේ පිරිමි හිතේ නොසෑහෙන්න උඹට ආදරේ තිබ්බා බන්.. සමහරවිට, මමත් හිනාවෙලා ඉඳී නේද බන් උඹට ආදරේ නොකර හිටිය නම්... එහෙනම් මම තාමත් නිදහසේ හුස්ම ගනී නේද බන්? කියපන්..!!! මම පිස්සෙක් වෙලා..පිස්සෙක්..!!!

"කඳුළු මගෙ දෑසට නුහුරු වුනත්

නොනවතී වැටෙන මේ කඳුළු නම්

යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන්

සුවඳ සිහි කරයි මට නුඹව දැන්"

සතුටින් හිටියනේ අහිංස අපි.. ඒ මතකයන්ගෙන් මිදෙන්න බෑ බන්.. තාම මට උඹ කතා කරනවා ඇහෙනවා බන්..!! උඹේ හිනා හඬ ඇහෙනවා. උඹ ජීවත් වෙනවා බන් මගේම ළඟ ඉඳන් හුස්ම ගන්නවා දැනෙනවා. උඹේ සුවඳ දැනෙනවා බන්..!! මේකට නේද ආදරේ උමතුව කියන්නේ..?? කෙනෙක්ට අධිමාත්‍රාවෙන් ඇබ්බැහි උනාට පස්සේ  ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න බෑ .!! හෙන ගැහිලා යන විදියට ආදරේ කරපු මිනිස්සු උමතු වෙන්නේ මේ නිසයි. උන්ට ඒ වෙන්වීම දරාගන්න බැරි වෙනවා.. පපු කුහරේ ඇතුලේ මිරිකෙන ආදරේ තනියෙන් දරාගන්නම බැරි උන දවසට ඒ උන් සදහටම උනත් අතුරුදහන් වෙලා යනවා.. එහෙම උන්ට සමාජෙන් උන්මන්තකයෝ කියලා ලේබල් ගහනවා.. වැරදි නෑ... උන් ආදරෙන් උමතු උන උන්මන්තකයෝ තමයි..

"අපි දෙතැනක මතක එක තැනක

හිත් උන්මන්තක ඇස් ආගන්තුක

අහිමිව ගිය හේතු නොදැන ම-"

බෑ එතනින් එහාට තවත් මම බෑ.. මම මොකක්ද මේ කරන්නේ.. පෑරුණු තුවාලේ ලුණු දාලා සනීප කරන්න හදනවා වගේ වැඩක් නේද..? ඒ මඟහැරුණු ප්‍රේමය ගැන හිත හිත ජීවිතේ විනාස කරගන්න එක හරිද? වෙන්න ඕනේ අලුත් ආරම්භයක් නෙවෙයිද? හැම රෑකම උදේකම මගේ හිතේ හොල්මන්කරන එකම නම අහිංස... මේ සින්දුවේ හැම අකුරක්ම ලියවුනේ අහිංස වෙනුවෙන්.. මගේ මඟහැරුණු ආදරේ ගැන.. ඒත් මඟහැරුණු මාව අතරමංකරලා ගිය ආදරේ ගැන දැන් තියන හැඟීම මොකක්ද කියලා ඇහුවොත් මම කියන්නේ තාමත් ආදරෙයි කියලා විතරමයී.. මොකද මට බෑ වෛර කරන්න. කොහොමද බන් තමන් කාලයක් පන වගේ ආදරේ කරපු කොල්ලා ගැන අහිතක් හිතන්නේ..??  මගේ හිතේ එක සිතුවිල්ලකින්වත් මම අහිංසට වෛර කරේ නෑ එහෙම කරන්නෙත් නෑ. මට එහෙම කරන්නත් බෑ..කරදරයක් නේද ඔයාලට මේ ඇඬියාව.. සමාවෙන්න බිඳුනු හිතක අඳෝනාවක් මෙහෙම කියවට.. ඒත් ඒක සහනයක් මට...

.

.

මගේ ෆෝන් එකට ආව කෝල් එක නිසා මන් ගිලිලා හිටපු කල්පනාවෙන් එලියට ආවා.

"ඇයි බල්ලෝ කෝල් ගත්තට ආන්ස්වර් කරන්නේ නැත්තේ දැන් කෝල් කීයක් ගත්තද මම?"

"ඇයි ගත්තේ..?"

"දැන් උඹ ආයේ ලංකාවට එන්නේ කවද්ද..? එතකොට අර අලුත් සෝන්ග් එක..? ඒකෙ වැඩේ බලන්නේ කවද්ද..? අනික උඹ මාස ගානක් තිස්සේ එක ශෝ එකකට ගියේ නැ.. ගායකයෙක් කියලා නම හදා ගත්තා විතරයි උඹ මොකක්ද මේ නටන නාඩගම..? කියපන් මට..? මම මේ අන්තිම පාර කියන්නේ... උඹට ශෝ එකක් වැටුනා ඒකත් මේ සඳුදා ඒකට නාවොත් බන් උඹෙයි මගෙයි යාලුකමත් ඉවරයි කියලා හිතා ගනිම්.. මන් තියනවා.."

බීප් බීප් බීප්

ඌ මගේ එකා.. මගේ හොඳම යාලුවා... රදීශ්... ඔව් එදා වෙඩින් එකෙන් පස්සේ මම ආවා... ඔක්කෝලමව අත ඇරලා මම රටිනුත් පිටවෙලා ආවා. ඒත් මට ආයෙත් මගේ රටට යන්න වෙලා.. මට බෑ රදීශ්ගේ හිත රිද්දන්න... ඒත් මම කොහොමද අහිංස මූන දෙන්නේ?? ඒත් මීට වඩා මම හැංගෙන්න ඕනද..? ඒත් එහේ තියෙන්නේ එයාගේ මතක එයාගේ සුවඳ..?? ඒත් හැමදාම යතාර්ථෙන්  පැනලා යන්න බෑනේ... හිතට වද දෙන මතක අමතක කරන්න...ඒත් මම කොහොමද අමතක කරන්නේ??මට බෑ... නෑ උඹට පුලුවන්. නැගිටපන්. පිරිමියෙක් වෙයන්... ජීවිතේ ඉස්සරහට පලයන්...!!!

මට යන්න වෙනවා.. ඔව් මම යනවා.. මම ආයේ යනවා...

එතකොට එදා දවසේ උනේ මොකක්ද..?

.

.

.

මාස කිහිපයකට පෙර...

"හරි ලස්සනට ලොකු කතා ගොඩකුත් කියලා මාව අත ඇරලා යන්නද හදන්නේ..ඒ..? කියන්න මට.."

මොකද අහිංස මේ...? මොකද..? ඔයාම නෙමේද අහිංස මාව අත ඇරලා දැම්මේ..?? මම මගේ හිතින් ඇහුවා මිසක් මම අහිංසගෙන් ඇහුවේ නෑ.. මම හැරුනෙවත් නෑ.. ඒත්.. ඒත්.. එයා මාව මගේ පිටිපස්සෙන් වැළඳ ගත්තා.. අහිංස ඔයා මට මේක තවත් අමාරු කරනවා මගේ ළමයෝ.. මට තේරෙනවා ඔයාව.. ඔයා ගත්ත තීරණේ ගැන ආයේ වද වෙනවද..? එහෙම නේද..? මේ දැන් උනත් ඔයා ඉල්ලුවොත් අපි කොහේ හරි ගිහින් ජීවත් වෙමු කියලා මම ඒ දේ කරනවා.. ඒත් ඔයා ඉල්ලුවොත්ම විතරමයි.. නැතුව මට බෑ අහිංස උඹේ කකුල් ළඟ වැටිලා ආදරේ අයදින්න.. මට බෑ බන් එහෙම..  මම මාව ඒ තත්වෙට පහත් කරන්නේ නෑ බන්..!!

මම එයා දිහාවට හැරුනේ නෑ. ඒ ඇස් දිහා බැලුවේ නෑ.. මට බෑ බලන්න මට හයියක් නෑ.. ඒත් මම එයා මගෙන් ඒ දේ ඉල්ලනකන් බලන් හිටියා..

"මොකද සිතුම් මේ??"

"සිතුම්..? ඔයාට මාව මෙච්චර ඉක්මන්ට නිකන්ම සිතුම් වෙලා ගියාද මගෙ අයියේ?"

"කියන්න ඉක්මන්ට ඔයාට කියන්න තියන දේ.."

"මම ආවේ අයියේ...අ-අයියේ"

"..."

"මම ආවේ අපි- අපි... මට සමාවෙන්න. මම ශක්තිමත් නෑ අයියේ."

"ඇයි සිතුම් එහෙම කියන්නේ..??"

"මට සමාවෙන්න අයියේ... මේ පව්කාරයට සමාව දෙන්න.."  මගේ කොල්ලා ඌට පව්කාරයලු.. මට ඕන උනා සත්තයි මට ඕන උනා උඹ පව්කාරයෙක් නෙවෙයි මගෙ රත්තරං කියලා ඉබින්න.. ඒත් බෑ මට බෑ එහෙම කරන්න.. එයා වෙන කෙනෙක්ගේ සැමියෙක්..!!

"එහෙම කියන්න එපා අහිංස.. මේක අපේ දෛවය කියලා හිතමු.. දැන් හොඳ දරුවා වගේ හිනා වෙලා ඉන්න. මේ දවස වෙනකන් ඔයා ගොඩක් ආසාවෙන් බලන් හිටියනේ?" මම අනික් පැත්ත හැරිලා අහිංස දිහා බැලුවා. දැනුයි මම ඒ ඇස් බැලුවේ. ඒවා රතු ගැහිලා. ඉදිමිලා.. මම ආස නෑනේ ඒ ඇස් කැත වෙනවට...

"මගේ රත්තරං මම කොහොමද... හිනා වෙන්නේ... මගේ හිනාවේ අයිතිකාරයව හොරු අරන් ගියාම අනික මම- නැහැ ඇත්ත මම හීන දැක්කා අද දවස වෙනුවෙන් ඒත් ඒත් ඒ හීනේ හිටියේ ඔයානේ මගේ දෙයියෝ... ඔයා නැති අද වගේ දවසක් ගැන මම හීනෙකින්වත් පැතුවේ නෑ..අනික අයියේ මගේ ආදරේ බොරුවක් නෙවෙයි.. එක සිතුවිල්ලකින්වත් මම ඔයාගේ ආදරේට පිටුපෑවේ නෑ.. මේ මොහොතෙත් මගේ අවසන් හුස්ම වැටෙනකන්ම මගේ එකම ආදරේ ඔයා විතරයි මගේ අයියේ.. පුලුවන් නම් මට සමාවෙලා ඔයා සතුටින් ඉන්න. හිත හදාගන්න උත්සාහ ගන්න.. "  එයා ඒ හීන් දිග ඇඟිලි වලින් මගේ කම්මුල් දෙක මැදි කරගෙන ඒ දුඹුරු ඇස් දෙකෙන් මම දිහාම බලන් අහනවා.

එයාගේ ඇස්වල කඳුලු වලට ලා ඉර එලියක් වැටිලා ඒ ඇස් දිලිසෙනවා.. ඒ ඇස් වල ආදරේ පිරිලා.. මම ඒ ඇස් දිහා බලන් හිටියා... ඒ ඇස් වල ගැඹුරටම ගිලුනා... නිමක් නෑ.. ඒ ඇස් වල නිමක් නෑ කියලා මට හිතුනා.. තත්පරයක් දෙකක් ගත්වෙන්නැති එක වෙලාවෙම මාව ගල් ගැහුනා ඒ තොල් මගේ තොල් මත ස්පර්ශ වෙද්දී... සත්තයි මම මේ මොහෙතේ අහිංසගෙන් මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ නෑ.. මම දන්නවා මේක අපේ අවසාන සිපගැනීම වෙයි. ටිකින් ටික මටත් නොදැනීම මාව ඒ සිපගැනීමට නතු උනා.. වෙනදා වගේම මගේ පාලනෙන් මේ සිපගැනීම රස වින්දා.. ඒ තොල් ඇබ්බැහියක්.. තනිකරම අධිමාත්‍ර මත්ද්‍රව්‍යක්.. මත්ද්‍රව්‍යක් නැතුව මාව මත්කරන එකම දේ අහිංස..!!  මම වින්දා ඊටත් වඩා එයාව හපාකෑවා.. වෙන්වීමේ දුක, තරහව, බය හැමදේම ගැබ් උන සිපගැන්මක්..!! එතනින් එහා ලෝකයක් ගැන මතක් උනේ නෑ මට.. එයා කලබලයි... ගොඩක්... වෙනදා කලබල නැති එයා අද කලබලයී... මට දැනුනා එයාගේ කඳුලු පල්ලම් බහිනවා  එයාගේ විතරක් නෙවෙයි පියවිලා තියන මගේ ඇස් වලිනුත් කඳුලු ගලනවා. මේ හැඟීම තව විඳපාන් කියලා හිත කෑමොර දෙන අතරතුර මේක නවත්තන්න කියලා මනස මුමුනනවා.. මම නැවැත්තුවේ නෑ. මගේ හිතට ඉඩදීලා තදින් සිපගත්තා.. මහා ලෝබ කමක් මේ සිප ගැනීම තුල තියනවා.. ඒවගේම කෑදරකමක්..!! නැතිවෙන්න යන ආදරේට..!! තව දුරටත් හුස්ම ගන්න බැරි වෙන තෙක්ම අපි සිපගත්තා. ඒ විරාගවත් සිපගැනීමේ තනිකරම ගැබ් උනේ විරහව..!! දුක...!!  එයාගේ ලස්සන තොල් මම විනාස කරලා... ඒත් පසුතැවීමක් නෑ... එයා අඬනවා... මම අඩියෙන් අඩිය පස්සට ගියා.. මගේ දිහාවට අත දික් කරන් මගේ කොල්ලා හොඳටම අඬනවා.. මම දැක්කා දුරින් එයාලගේ ගෙදර අයත් එයාව හොයන් එනවා.. ආයෙත් දුවලා ගිහින් බදාගන්න හිතුනත් මම මාව පාලනේ කරගත්තා.. මොකද එයා එකපාරක්වත් කිව්වේ නෑ මට මේ කසාදේ කරගන්න බෑ අයියේ අපි කොහේ හරි ගිහින් ජීවත් වෙමු කියලා.. ඉතින් මම එයාගේ තීරණේට ඉඩ දුන්නා. එයාගේ මූන දිහා අන්තිම පාරට බලලා මම එන්න ආවා. සදහටම.. එයාගේ ජීවිතෙන්ම..

"අවෛරයෙන් සමුදුන් ප්‍රේමවන්ත‍යින් සාංසාරිකයි..."

.

.

.

ඉතින් මෙයද අවසානය..??

----------------------------------------------------------------------

මොකෝ හිතුනේ ගායිස්....

ප'සනලි මම මාරම හැඟීමෙන් ලියපු චැප්ටර් එක මේක...

මේ සින්දුවෙන් සම්පූර්ණයෙන්ම පෙන්නන්නේ මෙනුජගේ mentality එක.. ඒක තමයි මම පෙන්නන්න උත්සාහ කරේ.. ඒක සාර්ථකද කියලා කියන් යන්න.

අනික සමාවෙන්න මේ චැප්ටර් එකේ සිද්ධීන් ගොඩක් අඩුයි.. ඔයාලට බෝරින් වගේද කතාව එකම තැන වගේ නිසා..?? ඒත් මම මේකේ සිද්ධීන්ට වඩා හැඟීම් ගැන විස්තර කරේ මෙනුජගේ හැඟීම් අකුරු කරන්නයි උත්සාහ කරේ.. ඔයාලගේ ඇත්තම අදහස කියන් යන්න.. කොහොමත් ඊළඟ චැපිය මේ වගේ නෑ..

ම්ම් අනික තමා.., මෙනුජගේ අඳෝනාව ඔයාලා හොඳටම දන්නවා ඒත් එයා එයාගේ හැඟීම් පිටට පෙන්නන්නේ ගොඩක් අඩුවෙන්... ඒත් අහිංස එහෙම නෑ.  ,එයා කතා කරපු ටිකට තේරෙන්න ඇතිනේ එයා කොච්චර ආදරණීය වචන වලින් කතා කරනවද කියලා. මෙනුජ මෙච්චර පිස්සු වැටෙන්න තරම් අහිංස එයාට කොච්චරක් ආදරේ දීලාද කියලා හිතාගන්න පුලුවන්ද..? දෙන්නා දෙවිදිහකටයි ආදරේ කරන්නේ..හිතන පතන විදිහ වෙනස්.. ඒකයි එයාලගේ ආදරේට මම ලෝබ..

අඩුපාඩු එහෙමත් කියන්න අනේ මේ ඔයාලා ඔක්කොම මට වඩා පරණ දක්ෂ අයනේ... මම අවංකවම හරිම නිහතමානීව අහන්නේ.. ඇත්තටම කියලා යන්න.. මට මාව improve කරගන්න ඕනා... මේ ගෙම්බි ආවා විතරනේ...

Writing style එක ගැන මොකද හිතන්නේ මේක ඕනවට වඩා වැඩීද... මම අහන්නේ මීට වඩා සරලව ලියන්න ඕනෙද..? ඒත් මගේ ටේස්ට් එක මේක.. ඒකයි පළවෙනි කතාව මෙහෙම ලිව්වේ..!!

ප්ලීස් කියන් යන්න..!!

24.10.2024  -යෙශී-