Chapter 4 of 9

තෙවන දිගහැරුම

"කවිහාර සර්,"

"ඔව්, අමල් සර්."

"සෙනෙහස්ගෙ ආච්චිඅම්මා මේ පොත් ටික දුන්නා වෙන නැතිබැරි ළමේකුටවත් දෙන්න කියලා. ඒ මනුස්සයට මේවයින් වැඩක් නෑනෙ."

"මොනවද මේ?"

"සෙනෙහස්ගෙ පොත්."

අමල් සර් දීපු පොත් පෙට්ටියත් අරන් මං ගුරු විවේකාගාරෙට ආවා. ගිනියම් අවුවෙන් රත්වෙන ඉස්කෝල බිමේ එහෙ මෙහෙ දුවන ළමයි දිහා බලන් ඉද්දි මොකද්ද හිස් හැඟීමකින් මගෙ හදවත වැහිලා ගියා. මං පොත් පෙට්ටිය ඇරියා.

දොළහ වසර පොත්.. ලියන පොත්. කියවන පොත්. නෝට්.. අතරමැද්දෙන් මං මගේ අත් යැව්වා. මේ පොත් දිහා බලාගෙන හිනාවුනු ඇස් දෙකක් මට මතක් වෙනවා. ඒත් ඒ ඇස් දැන් වැහිලා කියලා අමතක කරන්න මං උත්සාහ කරනව. මොකද ඒ දර්ශනේ පවා මාව පුච්චලා දාන නිසා.

පොත් පෙට්ටිය අස්සෙම සිංහල ලියන පොතක් මැද්දෙන් ඉස්සිලා තියෙද්දි, අස්සෙ තිබ්බ දේ වැටෙන්න මං පොත ගැසුවහම.. නෝට් බුක් එකක් තරමෙ ඩයිරියක් මේසෙ උඩට වැටුනා. ඔව්. මට ඒක කියවන්න ඕනි. ජීවත් වෙද්දි මට උඹව කියවගන්න බැරි උනාට සමාවෙයන් මගේ කඩදාසි මල..

කියවන්න බැරි

හදවතක්

විසින් ලියවුනු

දිනපොතක්

ළඟ නතරවුනු

නෙත් දෙකක්..

🌼🌼🌼

ඒ පොත දිනපොතක් කියලා කියන්න අමාරුයි. මොකද දිනපොතක අපි ලියන සටහන් වගේ නෙවෙයි.. හරියට නිමාවක් නැති කතන්දරයක් වගෙයි ඒ දිනපොත පුරා ම ලියවිලා තිබ්බෙ. ඔව්. කතන්දරයක්. නමුත් ඔහු ගැන නෙවෙයි. ආගන්තුකයෙක් ගැන.. මට මැවිලා පේනවා මේ කහගැහුනු පිටු අතරින් කඩදාසි මලගෙ හිනාව.. ඒ දිග ඇඟිලි වලින් මේ පොත පෙරලන හැටි.. ඒ ලස්සන තොල්වලින් හිනාවෙන හැටි..

ජනේලෙන් එන මලානික එළියෙන් ඒ දිනපොත පුරා ඇස් ගෙනියන මට, අසීමිත විදිහෙ පාලුවක් දැනෙනවා. වැහි මන්දාරමක් අහස අරක් අරගෙන.. අඳුරු දම්පාට අළුපාට වලාකුළු මැද්දෙන් එන අඩ එළියෙන් මට දැනුනෙ මූසල බවක්. කඩදාසි මලට පාලු ඇත්ද.. ඒ හමේ පාට දැන් ගිහින් ඇත්ද.. ලස්සන සිනිඳු කොණ්ඩෙ දිරලා ඇත්ද.. දිග ඇඟිලි ඇට පෑදිලා ඇත්ද..

තව දුරටත් කඩදාසි මල මේ ලෝකෙ නෑ කියන එක මට පිළිගන්න අමාරුයි. මොකද්ද මරණය..  මරණයෙන් පස්සෙත් ඒ හැඟීම් ඉතුරු වෙන්න බැරිද.. ඒ හැඟීම් වා තලේට මුසුවෙලා සදාකාලික වෙන්න බැරිද.. ඒත් ඒ හැඟීමට හරි නමක්වත් නොදී එහෙම බලාපොරොත්තු වීම හරිද.. මං දන්නෙ නෑ කඩදාසි මල..

අදහගනු බැරි

වටහගනු බැරි

සිතාගනු බැරි

දරාගනු බැරි

හැඟීමකි නුබ

මා ටිකෙන් ටික

වේදනාවටම

ඇද දමන..

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!