Chapter 5: 🌸05🌸 - අවසාන කොටස

හීලියොස් - Ἠέλιος (GL) ✓Words: 24063

ඉඳහිට ගැටෙන බීර වීදුරු හඬ මැඳින් ඇසෙන ග්‍රැමෆෝනයේ සිහින් ඔපෙරා හඬ, අවන්හල තුළ පැවති ගැඹුරු අරුමෝසම් බව වැඩි කර තිබුණේ ය.

එතෙක් වුවත්, සකසන ලද කල්දේරම තුළින් ඉහළට නැඟෙන ලයිබීරියානු කෝපි දුම්‍ රොටු දෙස සැලකිල්ලෙන් යුතුව බලාගෙන සිටි අයකැමි තරුණයා, කරදරකාරී හඬක් නඟමින් එල්නෝරා වෙතට හැරුණේ ය.

"එල්නෝරා.....!! දෙවියන්ගේ නාමෙන්... කරුණාකරලා ඔය නාකි මනුස්සයාට නිවිසැනසිල්ලේ ඉන්න දෙනවා....!"

එසේ වුවත්, ඇල්ටන්ගේ එම වදන් කෙරෙහි බිඳකුදු හෝ අවධානයක් යොමු නොකළ එල්නෝරා, තම දෑතෙහි පැවති කුඩා සටහන ගුලි කර ගනිමින් බර්නාඩ් මහාචාර්යතුමා වෙතට වේගයෙන් පියමැන්නා ය.

ඒ වන විටත් අවන්හලෙහි පිවිසුම හරහා මැන්චෙස්ටර් වීදිය වෙත පැමිණ සිටි බර්නාඩ් මහාචාර්යතුමා, තම බස්තම පොළව මත තද කරමින් එල්නෝරා දෙස බලා සිනාසුණේ ය.

"දරුවෝ.... දරුවෝ....! ලෙනින්ගේ තට්ටේ පල්ලා...! පෙරටුගාමී විප්ලවවාදීන්වත් මේ හැටි මාව ලුහුබඳින්නේ නැතුව ඇති ඕං....!"

බර්නාඩ් මහාචාර්යතුමාගේ එම යටත් පිළිවදනෙන් මෙවර වඩාත් නොසන්සුන් වූ එල්නෝරා, වේදනාව මුසු වූ කෝපයෙන් යුතුව කෑ ගසා සිටියා ය.

"කිසිවෙකුට ඇයි මගේ වේදනාව නොතේරෙන්නේ මහාචාර්‍යතුමා....!!!!!"

එල්නෝරාගේ එම වේදනාත්මක හඬින් මඳක් විස්සෝපයට පත් වූ බර්නාඩ් මහාචාර්යතුමා, වියපත් වූ කෙටි පියවරින් යුතුව එල්නෝරා වෙතට සිමින් සමීප වූවේ ය.

"කෙල්ලේ...... ඔය දරුවාට මා එදත් පැවසුවා නොවේද කඳුකරයට ගොහින් පලක් නැති බව..!"

අනතුරුව හෙතෙම සිය ගොරහැඬි වියළි ස්වරයෙන් පවසා සිටියේ ය.

"ඒ කාරණාවෙන් මට ඇති පලක් නැහැ මහාචාර්යතුමා..! ආපසු ලියමනක් එවන්න ක්ලෝඩියා මෙනවිය මේ හැටි ප්‍රමාද වන්නේ නැහැ..!"

සත්‍යවශයෙන්ම, කඳුකරය බලා පිටව ගිය ක්ලෝඩියා මෙනවිය, අවසන් වතාවට එල්නෝරා හට ලියමනක් එවා තිබුණේ මීට දෙමසකට පමණ පෙරාතුව ය.

එදා සිට මේ මොහොත දක්වාම එල්නෝරා හට ඇය පිළිබඳව කිසිදු හෝ වඟතුවක් දැන ගත නොහැකි වූවා ය.

ඒ අනුව එල්නෝරාගේ කඳුළින් බර වූ දෙනෙත් දෙස මොහොතක් යනතුරුම නිහඬව බලාගෙන සිටි බර්නාඩ් මහාචාර්යතුමා, අවසානයේ දීර්ඝ සුසුමක් හෙලමින් සිය පොකැට්ටුව තුළ වූ ඔරලෝසුව ගෙන ඈ වෙත පෑවේ ය.

"හොදා එහෙනම්..!කෙස්වික් නුවර බලා පිටව යන අවසාන වැඩමුර දුම්රිය අද රාත්‍රීයේ පිටත් වෙනවා..! හැකිනම් ඔය දරුවා ඇවිත් එහිදී මාව මුණ ගැහෙන්න...!"

___________________________________________

ඒ අනුව, මැන්චෙස්ටර් මධ්‍යම දුම්රිය අංගනයෙන් ඇරඹුණු කෙස්වික් නුවර බලා පිටව යන අවසාන රාත්‍රී දුම්රිය, පසුදා උදෑසන පහන් වත්ම කම්බ්‍රියන් කඳු නිම්නය ඔස්සේ සිය ගමනාන්තය සනිටුහන් කළේ ය.

සීතල තුෂාරයෙන් වැසී ගිය කෙස්වික් නුවර විදී සල්පිල අතරින්, බර්නාඩ් මහාචාර්යතුමා සමඟින් කෙටි පියවර තබමින් ඉදිරියට ගිය එල්නෝරා, එහිදී නැවුම් හීලියෝට්‍රොප් මල් මිටක් මිල දී ගත්තා ය.

ඔව්.....!

ඒ.....

ක්ලෝඩියා මෙනවියගේ...

නිහඬ කඳුකරයේ...

ආදරණීය හීලීයෝට්‍රොප් මල් විය..!

"ක්ලෝඩියා මෙනවිය ලඟින් නිතරම දැනෙන මේ හීලියෝට්‍රොප් මල් සුවඳට මම හරිම ආදරෙයි බර්නාඩ් මහාචාර්යතුමා...."

අනතුරුව එල්නෝරා සිහින් හඬින් යුතුව මුමුණා සිටියා ය.

නමුත් ඇයට පිළිතුරු දීම මොහොතකට පමා කළ බර්නාඩ් මහාචාර්යතුමා, නිහඬවම එල්නෝරාගේ හිස පිරිමැද සිටියේ ය.

"හ්ම්...! ඇය එය අගය කර සිටිවී එල්නෝරා....! ඒ බැව් මට සහතිකයි..."

කෙසේ වෙතත් කඳුකරය හරහා ඇදෙන කඩතොළු සහිත පටු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීම, එල්නෝරාට සිතූ තරම් පහසු කටයුත්තක් නම් නොවූවා ය.

එහෙයින් මොහොතක් යෑමටත් මත්තෙන් සිය ගමන් මල්ල බිමට අතහැර සිටි එල්නෝරා, අනතුරුව දුහුල් අවකාශය වෙතට හැරී දෙස් දෙවොල් තැබීමට පටන් ගත්තා ය.

"අනේ හැබෑවටම.......!!!!මොන ඉලව්වේ ප්‍රතිසංස්කරණ යෝජනාවකටද මේ හැටි උස් තැනිතලාවක පාලිකා නිවාසයක් තනන්න ආණ්ඩුකාරතුමා අවසර දී තිබෙන්නේ....!!!"

නමුත් ඒ වන විටත් තැනිතලාව ඔස්සේ පහළට ගමන් කරමින් සිටි බර්නාඩ් මහාචාර්යතුමා, සිය බොල්ලෑ දත්කුට්ටම පාමින් උස් හඬින් යුතුව සිනාසුණේ ය.

"ගමනාන්තයට තව ඒ හැටි දුරක් නැහැ මයේ කෙල්ලේ...!"

___________________________________________

මහාචාර්යතුමා පැවසූ ලෙසටම, සැතපුම් තුන් කාලක් පමණ පැමිණි තැන, හීලීයෝට්‍රොප් මලින් ගැවසුණු කඳුකරය පහළ නිම්නයෙහි පිහිටි පැරණි ඕලන්ද පාලිකා නිවාසය ඇයට දැක ගත හැකි වූවා ය.

රදළ පැලැන්තියේ පල්දෝරු සහිත ශක්තිමත් හුණු ගලින් නිමවා තිබූ එහි කෙළවර, රෙපරමාදු ක්‍රමයේ කුඩා දේවස්ථානයක් පැවතියේ ය.

සැබවින්ම දෙවන ලෝක යුධ සංග්‍රාමයෙන් සිය දෙමව්පියන් අහිමිව යෑමත් සමඟම, කඳුකරය බලා පැමිණි ක්ලෝඩියා මෙනවිය, එහිදී තම නැන්දණියට අයත් මෙම පාලිකා නිවාසයෙහි ජීවත් වීම හුඳු සිරිතක් කර ගෙන තිබුණා ය.

එහි වෙසෙන කුඩා අනාත දරුවන් හට මහත් සේ ආදරය කළ ඇය, නැන්දණියගේ සියලු වැඩ කටයුතු කෙරෙහි සොයා බලමින් සැහැල්ලු දිවිපෙවෙතක් ගත කළා ය.

කෙසේ වුවත්, දැකුම්කළු නිම්නයේ නැවුම් මකරන්දය සිත් සේ විඳ ගනිමින්, ගරාඳි වැටිය ඔස්සේ සොල්දරය වෙතට පැමිණි එල්නෝරා, පහළ සිට මඳක් අදිමදි කරමින් සිටින මහාචාර්යතුමා දෙසට හැරී තම නෝක්කාඩු බැල්ම හෙලුවා ය.

"ඔබතුමා පැමිණෙන්නේ නැතිද......?"

එල්නෝරාගේ එම උස් හඬත් සමඟම පාලිකා නිවාසය තුළින් හදිසියේම මතු වූ තලතුනා වියැති කිසියම් කාන්තාවක්, ඇය දෙස සැලකිල්ලෙන් යුතුව බැලුවා ය.

කපු නූලෙන් ගෙත්තම් කරන ලද කුඩා අත් ලේන්සුවක් හිස වටා ඔතාගෙන සිටි ඇයගේ මලානික මුව මත, ලා දුඹුරු පැහැති සූර්ය ලප පැවතියා ය.

"ඔහ්...! ඔබ...... ක්ලෝඩියා මෙනවියගේ නැන්දණිය විය යුතුයි...?"

ඒත් සමඟම යුහුව විමසා සිටි එල්නෝරා, ඇය දෙස බලමින් ලඟන්නාසුළු අයුරින් සිනාසුණා ය.

"ඔබතුමිය......?"

"මම එල්නෝරා...! එල්නෝරා ග්‍රෙඩ්සන්..!"

"එල්නෝරා.....? එසේනම්.....ක්ලෝඩියා සමඟින් නිතරම ලිපි හුවමාරු කර ගත්තේ ඔබයි....?"

"එහෙමයි..! " මෙවර තවදුරටත් ප්‍රීතිමත්ව පවසා සිටි එල්නෝරා, අනතුරුව සෝල්දරයෙහි පහත දෑතින් සන් කරමින් සිනාසුණා ය.

"මං ආවේ මහාචාර්ය බර්නාඩ් සමඟ! ඔහු පහළ රැඳී සිටිනවා..."

නමුත් බර්නාඩ් මහාචාර්යතුමාගේ නාමය සිය සවනත වැකෙත්ම, සොල්දරය ඔස්සේ පහත බැලූ කාන්තාවගේ උවනත ඇසිල්ලක් තුළ දී අඳුරු වී ගියා ය.

"ඔහ්....." අවසානයේ යන්තමට මෙන් මුවඟින් තෙපලූ ඇය, බර්නාඩ් මහාචාර්යතුමා දෙස බැලුවා ය.

කෙසේ වුවත්, ඔවුන් දෙදෙනාගේ එම නිහඬ භාෂණයෙන් මඳක් ව්‍යාකූල වී ගිය එල්නෝරා, සලිත වූ හදවතින් යුතුව පියවරක් ඉදිරියට තැබුවා ය.

"ක්....කුමක්ද සිදු වූයේ....? කොහිද ක්ලෝඩියා මෙනවිය....?"

මෙවර එල්නෝරාගේ ගැහෙන දෑතින් මෘදුව අල්ලා ගත් කාන්තාව සිනාසීමට අසීරු උත්සහයක් දැරුවා ය.

"ඔය දරුවා........ කරුණාකරලා මඳක් අසුන් ගන්න.."

එසේ වුවත්, ඇයව වැරෙන් යුතුව පසෙකට තල්ලු කර දමා සිටි එල්නෝරා, උන්මන්තකයෙකු සේ හැසිරෙමින් පාලිකා නිවාසය පුරාම ක්ලෝඩියා මෙනවිය සොයා බැලුවා ය.

අවසන, භංග වූ අපේක්ෂාවෙන් යුතුව දේවදාර පොළව මත දණින් වැටුණු එල්නෝරා, සිය දෙකකුල් අතරෙහි මුහුණ හොවා ගනිමින් කුඩා දරුවෙකු සේ හැඬීමට පටන් ගත්තා ය.

මෙවර එල්නෝරා අසළින් වේදනාවෙන් යුතුව හිඳ ගත් කාන්තාව ඇයව උණුසුම් අයුරින් වැළඳ ගත්තා ය.

"ක්ලෝඩියා රුධිරගත පිළිකාවකින් පීඩා වින්දේ බොහෝ කාලයක සිට එල්නෝරා....! අවාසනාවකට ඇයට අවැසි වුනේ නැහැ ඒ වඟක් ඔබ දැන ගන්නවාට...! පසුගිය දිග්භාගය පුරාවටම ඇයට රසායනික චිකිත්සාව සිදු කළා! ඇයට අවැසි වුනා ඔබ වෙනුවෙන් හැකි විගස සුවය ලබන්න...! නමුත්....වෛද්‍යවරුන්ට හැකියාවක් ලැබුනේ නැහැ ඇයගේ ජීවිතය බේරා ගන්න..! මට සමාවෙන්න එල්නෝරා...."

කාන්තාවගේ එම වදන් අඬසිහියෙන් මෙන් අසාගෙන සිටි එල්නෝරා, එතෙක් තම දෑතෙහි රැඳි තිබුණු හීලීයෝට්‍රොප් මල් කිනිත්ත තදින්ම මිරිකා ගත්තා ය.

දරා ගත නොහැකි ඉකියක් සමඟින් සියුම් වේදනාවක් සිය හදවත දිගේ පුපුරු ගසමින් ඉදිරියට ඇදී යන අයුරු ඒ සමඟම ඇයට දැනී ගියා ය.

අවසානයේ කාන්තාවගේ උරමතට සිහිවිසඥව ඇදගෙන වැටුණු එල්නෝරාව වහාම පිටුපසින් වත්තම් කර ගත් බර්නාඩ් මහාචාර්යතුමා, ඇය අතින් ගිලිහී ගිය හීලියෝට්‍රොප් මල් කිනිත්ත දෙස වේදනාවෙන් යුතුව බලාගෙන සිටියේ ය.

___________________________________________

"මං දන්නවා... එල්නෝරා කියන්නේ ශක්තිමත් තරුණියක්...! වෙලන්ටිනා මහත්මිය, අප ඇයට අවස්තාවක් ලබා දී බලා හිඳිමු...."

නිම්නය කෙළවර වූ ධවල පැහැති සොහොන් කොත අභියස,හෝරාවකට අධික කාලයක් හිඳ ගෙන සිටින එල්නෝරා දෙස ඈත සිට බලාගෙන හුන් බර්නාඩ් මහාචාර්යතුමා, අවසානයේ ගැඹුරු හඬින් යුතුව පවසා සිටියේ ය.

සැබවින්ම ඒ වන විටත් බාහිර පරිසරය කෙරෙහි සංවේදී නොවුන එල්නෝරා, හැඟීමක් නොමැති දෑසින් යුතුව ක්ලෝඩියා මෙනවියගේ නිසල සොහොන් කොත දෙස නොසෙල්වී බලාගෙන සිටියා ය.

එහි පැවති ගොඬැලි මත පීදී තිබුණු නැවුම් හීලීයෝට්‍රොප් මල්, සැදෑවේ සෞම්‍ය කිරණින් නැහැවී පොළව දෙසට නැමී තිබුණේ ය.

"ඇයි...... නොකියාම යන්න ගියේ......?"

මෙවර විඩාපත් දෑසින් යුතුව සොහොන් කොත ස්පර්ශ කළ එල්නෝරා, බිඳුණු හඬින් යුතුව මුමුණා සිටියා ය.

ඒත් සමඟම ඇයගේ පසුපසින් මතු වූ කිසියම් නව යොවුන් වියැති අනාත දැරියක්, එල්නෝරාගේ දෑසින් ගිලිහී ගිය කඳුළු බිඳුව සිමින් පිසදා හැරියා ය.

ඇසිල්ලක් තුළ දී වුවත් තමා අසළට පැමිණි එම යොවුන් වියැති දැරියව තඳින්ම වැළඳ ගත් එල්නෝරා, අනතුරුව සිමින් දෑස් පියා ගත්තා ය.

"එසේනම්.....ක්ලෝඩියා මෙනවියගේ නවකතා තුළ සිටි ඒ ලස්සන හීලියෝට්‍රොප් මල වන්නේ ඔබයි..! නොවේද.....?"

අනතුරුව එම දැරිය මෘදු හඬින් යුතුව විමසා සිටියා ය.

එනයින් සිය හිස ඔසවා බැලූ එල්නෝරා,දැරිය දෙස දෙනෙත් අයා බැලුවා ය.

ඒ හේතුවෙන් තම දෑතෙහි පැවති කිසියම් ලියවිල්ලක් එල්නෝරා හට දිගු කල සිටි එම දැරිය, සිය දෙතොල් තර කර ගත්තා ය.

"ක්ලෝඩියා මෙනවිය මිය යන්නට පෙරාතුව ඇය ලියමින් සිටි අවසාන කෙටි සටහන...!"

අනතුරුව ඕ සිමින් මුමුණා සිටියා ය.

ඒ අනුව දැරිය අතෙහි පැවති ලියවිල්ල, වෙව්ලන අතැඟිලි වලින් සියතට ගත් එල්නෝරා, බොඳව ගිය තෙළිතුඩින් ලිය වුණු එහි පළමු පර්වය දෙස හොඳින් බැලුවා ය.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මගේ ආදරණීය හීලියෝට්‍රොප් මල,

අවසාන වතාවට මා නුඹෙන් යමක් අසන්නම්...!

අත හැරෙන බව දැන දැනම,

නුඹ හා ආලයෙන් බැඳීම

මා සිදු කළ වරදක් ද...?

ඉඳින් එසේනම්.....

සහස‍්‍රකර මත ගිණි ගත්,

මේ නිහඬ සාක්ෂියට

සමාව දෙන්න මා සොඳුර...

මීට ආදරණීය හීලියොස්,

(ක්ලෝඩියා.)

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

සමාප්‍තයි.

___________________________________________

|කතෘ සටහන|

හායි ළමයි....❤️🌸

ඉතින් කතෘ සටහනට තව පරිච්ඡේදයක් වෙන් කරනවාට වඩා, අවශ්‍යම දේ මෙතනම කියලා යන්න ඕන කියලා මට හිතුණා.

ඉතින් මුලින්ම කියන්න ඕන, මුල ඉඳන්ම කතාව එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝමටම මේ වෙලාවේ මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.❤️🙏

ඒ වගේම ඔයාලාගේ Votes, comments ඒ හැමදේම මට ගොඩක් වටිනවා.ඇත්තමයි.❤️

ඉතින් මේක පරිච්ඡේද 5 ක කෙටි කතාවක්....!

ඒක එහෙම වෙන්න හේතුවත් මේ වෙද්දී ඔයාලා ගොඩක් අය දන්නවා ඇති.

නොදන්න අය වෙනුවෙන් කියනවා නම්, ඒකට හේතුව හීලියෝට්‍රොප් මලකට තියෙන්නේ පෙති පහක් නිසා.🌸

ඉතින් මටත් ඕන වුනා පරිච්ඡේද පහකින් මේ කතාව ඉක්මනින්ම අවසන් කරන්න.

තව දුරටත් කතාවේ වස්තු විෂය ගැන කතා කරනවා නම්, කතාවේ නිර්මාණයට හේතු වුනේ, එක්තරා අහඹු සිදුවීමක්.

ඒ, සදාකාලික ආදරයක් නොපෙනෙන සීමාවක වුනත් සදහටම රැඳිලා තියන බව ඔයාලාට පෙන්වන්න ඕන නිසා.

ඉතින්.....මං හිතනවා Sad Ending දුන්නාට ඔයාලා මාත් එක්ක තරහ වෙන්නේ නැති වෙයි කියලා.❤️

මතක තියා ගන්න,

ආදරයට වඩා ප්‍රේමය උතුම් කියලා කියන්නේ අන්න ඒ නිසා.

එහෙනම් ඉක්මනටම අලුත් කතාවකින් නැවත මුණ ගැහෙමු.❤️🌸

ආදරෙයි හිලියෝට්‍රොප් මලක් තරම්.❤️🌸

PreviousContents
Last Chapter
PreviousContents
Next