Chapter 4: 🌸04🌸

හීලියොස් - Ἠέλιος (GL) ✓Words: 19003

"එල්නෝරා.......?"

ක්ලෝඩියා මෙනවියගේ එම සිහින් ආමන්ත්‍රණයත් සමඟම එතෙක් අතීතය තුළ සිර වී සිටි එල්නෝරා, හදිසියේම තිගැස්සී ගොස් පියවි සිහියට පැමිණියා ය.

"ඔහ්! සමාවෙන්න...! ඒවා හරිම ලස්සනයි....! එහෙම නේද ක්ලෝඩියා මෙනවිය....?"

අනතුරුව එල්නෝරා සිනාමුසුව විමසා සිටියා ය.

මීට සුමාන කිහිපයකට පමණ පෙර, ඔවුන් විසින් ගරාඳියේ පස් අතරෙහි සඟවන ලැබූ එම නැවුම් හීලියෝට්‍රොප් බීජය, ඒ වන විට හරි අපූරුවට දළු ලා වර්ධනය වී තිබුණා ය.

කෙසේ වුවත්, ඒ වන විටත් වැහි කෝඩයට මිලින වී පැවති එහි මෘදු පෙති දෙස නිහඬව බලාගෙන සිටි ක්ලෝඩියා මෙනවිය, අනතුරුව එල්නෝරාගේ දෑතින් සිමින් අල්ලා ගත්තා ය.

මොහොතක් තුළදී වුවත්, ඒ දෑත් මඟින් දැනුණු නුහුරු සීතලට මඳක් ව්‍යාකූල වූ එල්නෝරා, ඈ දෙස සැලකිල්ලෙන් යුතුව බැලුවා ය.

"ක්ලෝඩියා මෙනවිය.....? ඔබතුමිය.....හොඳින්ද....? අ..ම්..... මං අහන්නේ...... ඔබතුමිය බෙහෙවින්ම සුදුමැලි වී ගොහින්....."

"මට හරිම මහන්සියි එල්නෝරා......"

ඒත් සමඟම ක්ලෝඩියා මෙනවියගේ සීතල දෑතින් වඩාත් හොඳින් ග්‍රහණය කොට ගත් එල්නෝරා, එක්වරම හිඳ සිටි අසුනෙන් නැඟී සිටියා ය.

"එන්න මා සමඟ.....!"

මෙවර මඳක් විමතියට පත් වූ ක්ලෝඩියා මෙනවිය, සිහින් කර ගත් දෑසින් යුතුව අවට බැලුවා ය.

"කොහෙද.....?"

"කොහි හෝ..! අපට නිදහසේ කතාබහ කළ නොහැකි තරමටම අද මෙතැන ඝෝෂාකාරියි......"

ඒ හේතුවෙන් මොහොතක පමාවක් ගත් ක්ලෝඩියා මෙනවිය, අනතුරුව සිමින් නැඟී සිටියා ය.

ඒත් සමඟම එතෙක් ඇඟලාගෙන සිටි පිළිවැස්ම වහා ගලවා ඉවත් කර සිටි එල්නෝරා, එය පසෙක සිටි ලිඩියා මහත්මිය වෙතට විසිකොට දැමුවා ය.

"ලිඩියා මහත්මිය....! කරුණාකරලා මට මොහොතක විරාමයක් ලබා දෙන්න......!"

ඒ අනුව අවන්හලේ පසුපස පිවිසුම හරහා හදිසියේම පිටව යන රූමත් තරුණියන් දෙදෙනා දෙස,විසල් කර ගත් නෙතින් යුතුව බලාගෙන සිටි තලතුනා වයසැති ලිඩියා මහත්මිය,අනතුරුව කවුළුව හරහා පිටත බැලුවා ය.

"අනේ හැබෑවටම......!! මේ නොසණ්ඩාල කෙල්ල.........! මේ අවලන් වැස්සේ මොන උලව්වක් කොරන්න යනවද ඇල්ටන්...! ඊටත්....... අර වැදගත් ආචාර්‍යතුමියවත් ඇදගෙන....?"

"පුදුමයක් නොවේ ඉඳින්....!ආචාර්‍යතුමිය නැවත එනතුරු එල්නෝරා උන්නේ නොඉවසිල්ලෙන්...."

"ඔහෙප්පලයං බොල.....!! මේ කෙටි කාලෙට......? ඔවුන් දෙදෙනා බෙහෙවින්ම කුළුපගු වී ඇති හැඩයි නෙව ඇල්ටන්.....!"

කෙසේ වුවත් ඇද හැලෙන සිහින් වැහි පොඳ අතරින්, එකිනෙකා හා දෑත් පටලවාගෙන ඈතින් ඈතට යන තරුණියන් දෙදෙනා දෙස එතෙක් නිහඬවම බලාගෙන සිටි ඇල්ටන්, ඝෝෂාකාරී අවන්හලේ කවුළුව වසා දමමින්, ග්‍රැමෆෝනයේ හඬ තවදුරටත් අඩු කළේ ය.

______________________________________

සැබවින්ම පොළොව සිප ගනිමින් පැවති එම ගිම්හාන වර්ෂාව, ක්ලෝඩියා මෙනවියගේ විඩාබර ගතට මහත් සැනසීමක් ගෙන දුන්නා ය.

කාර්‍යබහුල මැන්චෙස්ටර් නඟරයේ පැවති මහත් ඝෝෂාකාරී බව මොහොතකට හෝ බලහීන කිරීමට එම අකල් වැස්සට හැකි විය.

එතෙක් එල්නෝරා අසලින්ම පියමනිමින් සිටි ක්ලෝඩියා මෙනවිය හදිසියේම වික්ෂිප්ත කරමින්, ඇයගේ දසරුව හරහා එල්නෝරාගේ උණුහුම් ලොම් කබාය වෙලී ගියා ය.

ඒත් සමඟම එල්නෝරාගේ උණුසුම් දෑතින් අල්ලා වහාම ඇයව නතර කර ගත් ක්ලෝඩියා මෙනවිය, අනතුරුව තම හිස සිමින් දෙපසට සැලුවා ය.

"අවශ්‍ය වන්නේ නැහැ එල්නෝරා.....! කඳුකරයේ සීතල මං මීට වඩා හොඳින් විඳ දරාගෙන තිබෙනවා....."

"හැබෑවටම....? ඒ නිසා වෙන්න ඇති ඔය හැටි සීතලේ ගැහෙන්නේ....!"

ඒ හේතුවෙන් මඳක් කෝපයෙන් යුතුව පවසා සිටි එල්නෝරා,අනතුරුව පුළුටු කර ගත් වතින් යුතුව තම දෑත් ඉදිරියෙන් බැඳ ගත්තා ය.

එල්නෝරාගේ එම හුරුබුහුටි ක්‍රියාව හේතුවෙන් සිහින් හඬින් යුතුව සිනාසුණු ක්ලෝඩියා මෙනවිය, එක්වරම ඇය වෙතට පියවරක් තබමින් ඒ නීල දෑස් තුළට සිමින් නැඹුරු වූවා ය.

වචනයෙන් පැහැදිලි කළ නොහැකි වූ ඒ නුහුරු හැඟීමෙන් එක්වරම සලිත වී ගිය එල්නෝරා, ගැහෙන හදින් යුතුව වහා ඇය වෙතින් පියවරක් පසුපසට වූවා ය.

"හ්ම්... මගේ දෑත් ගැහෙනවා නම් තමයි එල්නෝරා...! ඒත් ඒ ඔබ නිසා බව මට හොද හැටි විශ්වාසයි..."

අනතුරුව සිමින් මුමුණා සිටි ක්ලෝඩියා මෙනවිය, එල්නෝරාගේ වැහි බිඳු තැවරුණු කොපුලත මෘදුව ස්පර්ශ කරමින්, සිනාමුසුව පාලම වෙත පියමැන්නා ය.

මැන්චෙස්ටර් නඟරයේ වීදි පහන් කණු මඟින් මඳ වශයෙන් ආලෝකමත් වූ එහි කෙළවර, වයඹදිග එංගලන්තයේ මර්සි ගංඟාවෙහි අතු ගංඟාවක් වූ සුන්දර ඉර්වෙල් නදිය ගලා බසිමින් තිබුණා ය.

"එල්නෝරා....... කරුණාකරලා මං මේ කියන කාරණාව ගැන අහලා මා එක්ක අමනාප වෙන්න එපා.... ඉකුත්දා..... මං මගේ අස්වීමේ ලිපිය විශ්වවිද්‍යාල පීඨාධිපතිතුමන් වෙත ලබා දුන්නා.... "

"ඒ කියන්නේ........... ඔබතුමිය නැවතත් කඳුකරය බලා පිටව යනවා....? එහෙම නේද.....?"

"හ්ම්.... සමහරවිට.... සදහටම....!"

එතෙක්, වියළි බඩ ඉරිගු විලඳ එහි සිටි මත්ස්‍යයන් වෙතට විසි කර හරිමින් සිටි එල්නෝරා, හදිසියේම ක්ලෝඩියා මෙනවිය වෙතට හැරී සිටගත්තා ය.

"මොකක්.....!! "

"මට සමාවෙන්න.....! තවදුරටත්....... මට මාව දරාගෙන ඉන්න හැකියාවක් නැහැ එල්නෝරා....! "

ඒත් සමඟම විලඳ මල්ල ගලා යන නඳිය මතට අත හැර සිටි එල්නෝරා, ක්ලෝඩියා මෙනවියගේ දෙවුරෙන් අල්ලා ගත්තා ය.

"ඔබතුමිය ඉන්නේ කුමක් හෝ සිත් තැවුලකින්...! නොවේද....? මට ඒක දැනෙනවා ක්ලෝඩියා මෙනවිය....! ඉඳින්..... ඇයි තවදුරටත් ඒ දේ කුමක් වුවත් මගෙන් සඟවන්නේ....? කරුණාකරලා මට කියන්න....!!"

මෙවර එල්නෝරාගේ දෙපා අභියසදී දණින් වැටුනු ක්ලෝඩියා මෙනවිය,අනතුරුව කඳුළින් බොඳ වූ නෙතින් යුතුව බිම බලා ගත්තා ය.

"කරුණාකරලා........ මට මේක මේ හැටි අසීරු කරන්න එපා එල්නෝරා......"

"එසේනම්........ මාත් එනවා ඔබ සමඟින්ම කඳුකරයට යන්න...!"

ඒ හේතුවෙන් හිතුවක්කාරව පවසා සිටි එල්නෝරා, එක්වරම ක්ලෝඩියා මෙනවිය අභියසදී හිඳ ගත්තා ය.

මෙවර කඳුළු අතරින් නිහඬව සිනාසුණු ක්ලෝඩියා මෙනවිය, සිය කබායෙහි තිබී ගත් සුවඳැති හීලියෝට්‍රොප් මලක් ගෙන, එය එල්නෝරාගේ සවනත පිටුපසින් ප්‍රවේශමෙන් යුතුව රැදෙව්වා ය.

"ඒ ඇයි කියලා මට දැන ගන්න පුලුවන් ද......? එල්නෝරා.......?"

"මං......... මං දන්නේ නැහැ.....!! ඒත්....... ඔබ මගෙන් ඈතට යන එක මට තවදුරටත් දරා ගෙන ඉන්න බැහැ ක්ලෝඩියා මෙනවිය......."

ඒත් සමඟම එල්නෝරාව තදින්ම වැළඳ ගත් ක්ලෝඩියා මෙනවිය, අනතුරුව මොහොතක් යනතුරුම නිසලව සිටියා ය.

මඳ වශයෙන් පැවති වැහිකෝඩයෙන් ඒ වන විටත් හෙම්බත්ව සිටි එල්නෝරාට ඇයගේ ඒ උණුහුමෙන් ඉවත් වීමට මහත් ලෝභකමක් දැනුණා ය.

"එදා අප මුණ නොගැසුණා නම්...... කෙතරම් නම් හොදද ක්ලෝඩියා මෙනවිය........"

අනතුරුව ඇය වේදනාවෙන් යුතුව මිමිණුවා ය.

ඒත් සමඟම එල්නෝරාගේ දෙතොල් මතින් දෑඟිලි තැබූ ක්ලෝඩියා මෙනවිය, ඇයව වහාම නිහඬ කර සිටියා ය.

"එහෙනම් මේ සුන්දර හීලියෝට්‍රොප් මල මට සදාකාලෙටම මඟ හැරෙන්නට තිබුණා......"

මෙවර මුවඟින් සිනාසුණු එල්නෝරා, ක්ලෝඩියාගේ මෙනවියගේ සරාග දෙතොල් වෙතට මඳක් සමීප වූවා ය.

"ඒ වගේම....... මේ තරම් කළු කෝපි වලට ප්‍රිය කෙනෙකු මට කිසිදාක හමු නොවෙන්නට තිබුණා...."

"ඔහ්! ඇත්තටම...........?"

ඒත් සමඟම ප්‍රධාන ඔරලෝසු කණුව දෙසින් ඇසුණු රාත්‍රී අටේ කණිසම, මැන්චෙස්ටර් නඟරය නිම්නාද කරමින් පැතිරී ගියේ ය.

ඒ හේතුවෙන් එල්නෝරා වෙතින් වහාම පසෙකට වූ ක්ලෝඩියා මෙනවිය, අනතුරුව දීර්ඝ සුසුමක් හෙලමින් සිය සම් ඔරලෝසුව දෙසට දෙනෙත් යොමු කළා ය.

"ඉඳින්........ ඔබ එනවද මට සමුදෙන්න.....? ම්.....? "

______________________________________

•

•

•

•

•

•

කම්බ්‍රියන් කඳු නිම්නයෙන් වටවූ කෙස්වික් නුවර බලා පිටව යන අවසාන රාත්‍රී දුම්රිය, ඒ වන විටත් මැන්චෙස්ටර් මධ්‍යම දුම්රිය අංගනයේ නතර කර තිබුණේ ය.

"කරුණාකරලා තම තමන්ලාගේ ගමන්මලු ගැන සැළකිලිමත් වුනා නම්......!! හා!! හා! ඉක්මන් කරපියව්....!!!"

එතෙක් දුම්රිය මැඳිරිය ඔස්සේ බර අඩි තබමින් යමින් සිටි නියාමක මහතා, හදිසියේම රැල් බුරුල් හරිමින් බෙරිහන් දුන්නේ ය.

ඒ වන විටත් පෙඳ පාසි වලින් ගහණ වූ එහි තෙත් වේදිකාව මත ප්‍රවේශමෙන් යුතුව පියමනිමින් සිටි ජේත්තුකාර මිනිසුන්, එම නිවේදනයත් සමඟම ලහිලහියේ විසිරී ගිය හ.

"මාව අමතක කරන්නේ නැහැ නේද......!!!!?"

ලැබුනු කෙටි අස්වැසිල්ලේ, දුම්රිය කවුළුව තුළින් හදිසියේම හිස පෙවූ ක්ලෝඩියා මෙනවිය, හඬ නඟමින් විමසා සිටියා ය.

ඒ හේතුවෙන් ඇය හිඳගෙන සිටි කවුළුව සමීපයට සිනාමුසුව පැමිණි එල්නෝරා, ඇගේ අත්ල ගෙන ඒ මතින් යම් කඩදහි කැබැල්ලක් තැබුවා ය.

"කිසිදාක නැහැ....! ඔබේ අලුත්ම නවකතාව මං නොවරදවාම කියවනවා...! හැකි නම් මට ලියමනක් එවන්න...! මං මග බලාගෙන ඉන්නවා...!"

"මං පොරොන්දු වෙන්නම්..! එතෙක්.....පරිස්සමින් ඉන්න එල්නෝරා....! ඔබේ කළු කෝපි එකේ රස විඳින්න මං ආයේ නොවරදවාම එනවා....."

"පොරොන්දු වෙනවාද.......?"

"පොරොන්දු වෙන්නම්....."

මෙවර මහත් ආයාසයෙන් යුතුව සිනාසුණු එල්නෝරා, ගිණිගත් හදවතින් යුතුව දුම්රිය කවුළුව වෙතින් පියවර කිහිපයක් පසුපසට වූවා ය.

කියා ගත නොහැකි හැඟීමකින් ගැහෙන ඇගේ නිල් පැහැති ඉංගිරියාවන්, දුම්රිය තුළ සිටි ක්ලෝඩියා මෙනවියගේ අළු පැහැති දෙනෙත් සමඟ එකෙලිව යොමු වී මොහොතකට නතර වූවා ය.

ඔව්...!

ඒ අප්‍රකාශිත හැඟීම....

අතිශයින්ම ප්‍රථම වතාවට....

ඔවුනොවුන්ගේ හදවත් ගිණිගනිමින්....

දැවී යමින් තිබුණා ය.!

•

•

•

•

•

•

මතු සම්බන්ධයි.!

______________________________________

එහෙනම් අවසාන කොටසින් ලඟදීම හම්බවෙමු ළමයිනේ....❤️🌸

පටලවා ගන්න එපා... අද කොටස සම්බන්ධ වෙන්නේ 01 වෙනි පරිච්ඡේදයට...😊

එහෙනම් පරිස්සමින්, ආදරයෙන් ඉන්න.❤️