Chapter 3: Chapter 03

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) CompletedWords: 27888

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃  තුන්වන කොටස 🌙

................................................................

" එයා අද ඉදන්ම වැඩ පටන්ගන්න ද යන්නෙ.... "

" අලුත් චෙයාර්මන් එක්ක නම් ලේසි වෙන්නෙ නෑ වගේ.... "

කට්ටිය සර් ගැන එකේක දේවල් කියද්දි මම රෙකෝඩ්ස් ටිකත් අරන් සර්ගෙ කැබින් එක පැත්තට අඩි තිබ්බා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

අවසර අරගෙන අලුත් සර්ගෙ කාර්යාල කාමරයට ඇතුලු වුන මා පළමුව අතේ තිබුණු ලිපිගොනු කිහිපය මේසය මතින් තැබුවෙ ඔහු කියන්නත් කලින්.

අලුත් සර්ගෙන් තව දුරටත් මූණ හංගගෙන ඉන්න තිබුණු උවමනාවට මා මුහුණ බිමට බර කරගෙන සිටියෙ උවමනාවෙන්මයි. නමුත් මා රැගෙන ආ ලිපිගොනු ගැන කිසිදු අවදානයක් නොදුන් ඔහු පෙර තිබු තර්ජනාත්මක බැල්මෙන්ම මගේ මුහුණ දෙස බලාගෙන ඉන්නට වුණා. තත්පර කිහිපයක් ගෙවෙන තුරුම අප අතර තිබුනෙ නිහඬබවක්.

" නම මොකක්ද.... ? "

අවසානයෙ මගේ මුහුණෙන් ඇස් ඉවතට ගත්ත ඔහු පළමු ප්‍රශ්නය නැගුවේ මා රැගෙන ආ ලිපිගොනු මත බැල්ම රදවගෙන.

" සිනුදි.....,

සිනුදි විහාරා මනෝරත්න... "

සිනුදි කියලා විතරක් නවතින්න තිබුණු කට ඔහේ කියවගෙන ගියෙ මටම අවනත නොවි. මම කෝච්චියක් වගේ මුලු නමම කියවන් ගිය නිසාද කොහෙද අලුත් සර්ගෙ බැල්ම ආයෙත් මගේ උවන මත නතර වුණා.

" මිස් සිනුදි....

අපි මීට කලින් කොහෙදි හරි මුණගැහිලා තියෙනව ද.....? "

මෙතෙක් වෙලා මම බයෙන් වුන්න ඒ ප්‍රශ්නෙ ආයතනික ප්‍රධානියා විසින් ඍජුවම ප්‍රශ්න කරද්දි එයට ස්තීර පිළිතුරක් දීගත නොහැකිව මා සිටියෙ ව්‍යාකූලව.

ඇත්තෙන්ම දිය යුතු පිළිතුර කුමක් ද.

අලුත් සර් ට මා ගැන නිවැරැදි මතකයක් නැති නම් මට බොරුවක් ගොතන්නට අවස්ථාව තිබුනත් කුමක් හෝ අවාසනාවකට ඔහුට හොද මතකයක් තිබුනහොත් මා කලෙ බොරුවක් බව ඔහු තේරුම්ගනිවි. එවිට එය මගේ වෘත්තීමය ජීවිතයට එක් කරන්නෙ කලු පැල්ලමක්..  එමෙන්ම මට මේ මොහොතෙ ඔහු පෙර දින පාර මැද නැටු නාටකය මතක් කරීමද කල නොහැක්කක්.  ඉතිං මං දිය යුතු පිළිතුර කුමක් ද..

මම පිළිතුරක් දීගත නොහැකිව තවත් කල් මරද්දි ඔහු අතින් සංඥා කලෙ මට වාඩි වන ලෙසට. මම හුස්ම අරගෙන වාඩි වුනෙ මොකක් වුනත් වෙන්න යන්නෙ හොදක් නෙමෙ කියන එක සර්ගෙ නපුරු මූණෙන්ම තේරුම් අරගෙන.

ආගත් සර් ඊළගට මගේ පැත්තට හිස් කොලෙකුත් පෑනකුත් ලං කලෙ දෙයත් බැදගෙන කුෂන් පුටුවට හේත්තු වෙන ගමන්. ඒ මොහොතෙදි නම් මෙච්චර වෙලා බිමට බර වෙලා තිබුණු  ඇස් උස්සලා මම සර් දිහා බැලුවෙ පුදුමයෙන්.

" මිස් සිනුදි...

මම ලෑස්ති ඔයාගෙ රෙසිග්නේෂන් ලෙටර් එක බාරගන්න... "

ඉල්ලා අස්වීමක් ගැන හිතෙ කොනකවත් අදහසක් නොතිබුණු මං සර්ගෙ වචන ඉස්සරහ වැඩියෙනුත් එක්ක කලබල වුණා.

" සර් මට රිසයින් වෙන්න ඕනෙ නෑ.... "

එලියට පනින්න හදපු ඉකිබිදුමක් ආයාසයෙන් පාලනය කරගෙන මම වචන එකතු කරගත්තා.

" ඒත් මිස් සිනුදි මම කැමති නෑ මේ තරම් සරල ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්න බැරි කෙනෙක් එක්ක තව දුරටත් වැඩ කරන්න.....

සරලවම කිවුවොත් ඔයා වගේ කෙනෙක්ව මගේ කම්පැනි එකට ගැලපෙන්නෙ නෑ....

මට පුලුවන් ඔයාගෙ පොසිෂන් එකට ඔයාට වඩා දහ ගුණයක් ටැලන්ටඩ් කෙනෙක්ව හයර් කරන්න....

ඉතිං මිස් සිනුදි තවත් මගේ කාලය කන්නෙ නැතුව රෙසිග්නේෂන් බාර දීලා ඔයාට යන්න පුලුවන්.... "

සර් කිසිම අනුකම්පාවක් නැතුව කියවගෙන යන දිහා මම බලාගෙන වුන්නෙ ඇස් වල කදුළු පුරෝගෙන.

පැවරුන රාජකාරි අකුරටම ඉටු කරපු කෙනෙක් විදියට කාර්යාලයේ හොද නමක් දිනාගෙන වුන්න මට ආගත් සර් පළවෙනි දවසෙම කියන මේ කතාව කදුළු ඉස්සර නොකරගෙන අහගෙන ඉන්න  පුලුවන් වුනෙ නෑ.

නෑ.. මේ දේ සිද්ද වෙන්න දෙන්න බෑ..

" සටන් කරන්න සිනුදි ජීවිතෙ ලබන එකම සතුට වෙනුවෙන් සටන් කරන්න.."

හිත ඇතුලෙන් කව්දෝ එහෙම කියලා කෑගහද්දි මම සද්දෙන්ම පුටුවත් පිටි පස්සට කරගෙන නැගිට්ටෙ ආගත් සර් මගේ දිහා ගැස්සිලා බලද්දි. පිටි අත්ලෙන් කදුළු පිසලගත් මං අලුත් සර් දිහා බැලුවෙ රවාගෙන.

" සර්ට  හිතුන හිතුන වෙලාවට හිතෙන හිතෙන විදියට මෙතන ඉන්න සේවකයින්ව අයින් කරන්න බෑ....

සර්ට එහෙම කරන්න පුලුවන් නම් මේ කම්පැනි එකේ නීතියක් කියලා දෙයක් තියෙන්නෙ මොකටද....

අනිත් එක... සර් කොහොමද එහෙම කරන්නෙ....

සර්ට ඒකට අයිතියක් නෑ...

මට වඩා ටැලන්ටඩ් අය ඕනෙ තරම් ඉන්නවා.. ඒකෙ සැකයක් නෑ...

ඒත් සර්ගෙ ඔය උද්දච්ච මූණ දිහා බලාගෙන කවුරු හරි මෙතෙන්ට වැඩට එයි ද කියන එකයි සැක....  "

මම කතා කලෙ ලොකු තරහකින්. මොහොතකට පෙර අහිංසකාවියක් වගේ කදුළු පිසලමින් වුන්න මා ක්ෂනිකවම සිංහ ධේනුවකගෙ වෙස් ගැනිම ගැන ආගත් සර්ගෙ මුහුණ මත ඇදිලා තිබුනෙත් පුදුමයක්. එක තත්පරෙකට මේ මම ද කියන සැකය මට පවා ඇති වුණා.

වීපි සර්ට තිබුණු බය නිසාම නිහඬබවට හුරු වුනු මට කාලෙකට පස්සේ මතක් වුනෙ මගේ අතීතය. අද ආගත් සර් ඉස්සරහ තම අයිතිය වෙනුවෙන් මුරන්ඩු වෙන්නෙ වීපි සර් මුණගැහෙන්න කලින් උන්න සිනුදි. ඔව් කටට එන ඕනම දෙයක් වැඩිය හිතන්නෙ නැතුවම ඔහේ කියවපු ඒ කටකාර සිනුදි.

මම කතා කරන්නෙ මගේ ආයතනික ප්‍රධානියාට නේද කියන එකත් අමතක කරලා කාලෙකට පස්සේ මට දැනුනෙ නිදහසක්. ඒ වීපි සර් නිසා මට අහිමි වුන කතාකිරීමේ නිදහස. මට ඕන වුනෙ හිත පුරා ඒක විදගන්න.

ඒත් ඒ ලස්සන හැගීම වැඩි වෙලාවක් මගේ වුනෙ නෑ. මං ගැස්සිලා ආයෙත් පියවි සිහියට ආවෙ ලිපිගොනු කිහිපයක් සද්දෙට මේසය මතට අතාරින හඩින්. ආගත් සර් ඒ වෙද්දිත්  සුපුරුදු තර්ජනාත්මක බැල්මෙන් මගේ දිහා බලාගෙන වුන්නා. ඒ බැල්ම හමුවේ ආරූඪ වුන සිංහ ධේනුව පස්ස දොරින් පැනලා යන්න උත්සහ කලත් හිත ශක්තිමත් කරගන්න මා උපරිම ප්‍රයන්තයක යෙදුනා.

" මේ තරම් නැහැදිච්චකමක්...!!

තමුන්ට අමතක ද කතා කරන්නෙ කාත් එක්කද කියන එක මිස් සිනුදි.... ?? "

ඒ ගාම්භීර හඬට පුලුවන් වුණා  මගේ වචන ආයෙත් ගොලු කරන්න. මොන වගේ තත්වෙකදි වුනත් ආයතනික ප්‍රධානියාට ඒ විදියට කතා කරන එක සුදුසු දෙයක් වුනෙ නෑ. ඉතිං මොහොතකට කලින් වැඩි දුර නොසිතා කල අඥාන ක්‍රියාව ගැන පසුතැවෙමින් මා මුහුණ නැවතත් බිමට හරවාගත්තා.

" අනිත් එක තමයි මම තමුන්ව අස් කරන්නෙ නෑ.... තමුනුයි අස් වෙලා යන්නෙ....  "

ආගත් සර් නැවතත් හිස් කොලයක් මගේ පැත්තට තල්ලු කලෙ අස්වීමේ ලිපිය මගේ අතින්ම ඔහුගෙ ඇස් ඉස්සරහම ලියන්න කියන දේ නොකියා කියමින්.

කොහෙදෝ තිබුණු හෙනයක් මගේ හිස මතට කඩාපාත් වුනා වගෙයි මට දැනුනෙ. ලොකු හුස්මක් අරගෙන කඩදාසියත් පෑනත් ලං කරගත්තත් අකුරක්වත් ලියන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ. ආයෙත් පාරක් පෑන පැත්තකට කල මා ඍජුවම ඔහුගෙ ඇස් දිහා බැලුවෙ රවාගෙන.

" මම රිසයින් වෙන්නෙ නෑ....

සර්ට මොකක්ද වෙන්න ඕනෙ..... "

මේ තරම් වෙලා මට රවාගෙන උන්නු ඇස් වල හීනියට හිනාවක් ඇදිලා මැකිලා ගියෙ ඉබේටම.

" බොහොම පොඩි දෙයයි....

මම කලින් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න....

අපි මීට කලින් කොහෙදි හරි මුණගැහිලා තියෙනව ද.. නැද්ද.....? "

" නෑ.....

මම සර්ව දැකලත් නෑ... දන්නෙත් නෑ.... අඩුම තරමෙ සර් වගේ කෙනෙක්වවත් මීට කලින් මට මුණගැහිලා නෑ...... "

මම ස්තීරවම එහෙම කියද්දි මගේ ඉස්සරහ තිබුණු කඩදාසිය අරගත්ත ඔහු එය ගුලි කරලා මගේ ඇස් ඉස්සරහම ඩස්බින් එකට විසික් කලෙ කට කොනකට මවාගත්ත හිනාවකින්.

" ඔයා බුද්ධිමත් ළමයෙක්...

ඒක මම බලාපොරොත්තු වුනාටත් වඩා හොද උත්තරයක් සිනුදි....

ඔයා දන්නවද ඒකෙ මම කැමතිම කොටස තමයි '  සර් වගේ කෙනෙක්ව වත් මීට කලින්  මුණගැහිලා නෑ... ' කියන එක...

මේක මතක තියාගන්න සිනුදි...

මම කැමති නෑ මගේ පෞද්ගලික ජීවිතය ගැන ඔෆිස් එකේ අය කතා කරනවට...

ඉතිං  ඊයේ ඔයා දැක්කෙ මොකක් වුනත් ඔයා ඒ දේවල් අමතක කරන්න ඕනෙ..

මතකනේ.. අපි මීට කලින් මුණගැහිලා නෑ.....

හරි... ඒ ප්‍රශ්නෙ ඉවරයි...

මිස් සිනුදි ඔයාට යන්න පුලුවන්.... "

මේ තරම් පොඩි දේකට සර් නැටුවෙ මොන තරම් ලොකු නාඩගමක් ද. මම යන්න හැරිලත් ආයෙත් සර් දිහා බැලුවෙ ඇත්තටම එයා මොන වගේ කෙනෙක් ද කියලා තේරුම්ගන්න බැරුව. මෙච්චර ලොකු නාටකයක් පෙන්නලා අවසානයෙ මුකුත් නොවුන ගානට එයා ආයෙත් ලිපිගොනු අතර අතරමන් වෙලා.

වචන දෙක තුනකින් විසදුමක් කරගන්න තිබුණු ප්‍රශ්නය ඔහු මේ තරම් දුරදිග ගෙනිච්චේ ඇයි කියන්න උත්තරයක් තවමත් මට හොයාගන්න බෑ. ඔහුගෙ කාර්යාල කාමරයෙන් මා පිටතට පැමිණියෙ මා එනතුරු නොයිවසිල්ලෙන් මඟ බලාගෙන ඉන්න මගේ කාර්යාල මිතුරන්ට දෙන්න උත්තරත් ලෑස්ති කරගෙන.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

විසිත්ත කාමරය මැද තිබුණු වටිනා රන් ආභරණ පළදමින් හැඩ බලමින් වුන්න අම්මා ගැන මට දැනුනෙ අනුකම්පාවක්. ඇය මේ දේවල් වලට මොන තරම් වහවැටිලා ද.

අපි සම්බන්ධකම් ඇති කරගන්නෙ ජීවයක් ඇති දේ එක්ක වුනත් මගේ අම්මා සම්බන්ධකම් ඇති කරගන්නෙ මුදල් , රන් ආභරණ වගේ වටිනාකමින් ඉහළ අජීවි දේවල් එක්ක.

" සිනුදි එන්නකො....

මේ මාලෙ නම් ඔයාට ලස්සනට තියෙයි... "

මගේ අතින් ඇදගෙන ගිහින් බලෙන්ම ඉන්දවගෙන රන් ආභරණ එකින් එක පළදවමින් අම්මා මගේ හැඩ බැලුවෙ හරි ආසාවෙන්.

" අම්මා මේවා කොහෙන් ද....? "

මගේ තක්සේරු වටිනාකමට අමතරව වීපි සර්  මේ වගේ තෑගි එවන්නත් අමතක කලෙ නෑ කියලා මම දන්නවා.

ඒත් මේ හැමදේම වීපි සර්ගෙන් ලැබුන බවට සැකයක් නැති වුනත් මට අද දැනුනෙ අමුත්තක්. මේ රන් ආභරණ වල තිබුනෙ ඔහුගෙ තෝරාගැනිමේ ශෛලීය නොවේ. ඒ නිසාමයි මට සැක හිතුනෙ.

" ගුඩ් නිව්ස්....

අපිට තවත් වීපි සර් වගේ කෙනෙක් හම්බවුනා... "

" මොකක්ද ඒ කතාවෙ තේරුම අම්මා.. "

මම ඇහුවෙ කුතුහලයෙන්. මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අම්මා කට හදනවත් එක්කම සිම්මි කාමරයෙ ඉදන් එළියට ආවේ රතු පැහැති කෙටි ගවුමකින් සැරසිලා. කොන්ඩෙ උඩට කරලා හදපු විලාසිතාවත් අඩි උස සපත්තුත් රතු තොල් සායමුත් සිම්මිට ගෙනත් තිබුනෙ සංකරබවක්.

මම ඇය වෙත හෙලුවේ හිස් හැගීමක්. ඒත් එක්කම ඇහුන මෝටර් රථයක නලා හඩින් ඉක්මන් වුන සිම්මි රතු පැහැති හෑන්ඩ් බෑගයත් අරගෙන ගෙදරින් එලියට දිවුවේ කොට ගවුම ඇගිලි තුඩුවලින් පහලට ඇද ඇද.

මෝටර් රථයෙ දොර විවර කර වසන හඬත්, ඉන් මොහොතකින් මෝටර් රථය මහාමාර්ගය දෙසට ඉගිලෙන හඩත් මම අහගෙන උන්නෙ රත්තරං පාටින් දිස්නෙ දෙන අම්මගෙ ඇස් දිහා බලාගෙන.

"  ඉරිසියා කරන්න එපා සිනුදි....

ඔයා කැමති නැද්ද සිම්මිටත් ඔයාට වගේ හොද කස්ටමර් කෙනෙක් ලැබෙනවට... ඒ කෙල්ලත් හැමදාම ක්ලබ් ගානෙ ගිහින් දුක් විදින්න ඕනේ නෑ නේ....

බලන්න ඒයා තමයි මේ හැමදේම එව්වෙ... "

මගේ රැවිල්ල සතේකටවත් ගනන් නොගෙන ඇය නැවතත් මේසය ලගින් ඉද ගත්තෙ අලුත් පාරිභෝගිකයා සිම්මි වෙනුවෙන් එවා තිබු ආභරණ මත ඇගිලි තුඩු ගෙනයමින්. සිම්මිට මේ දේවල් අලුත් දෙයක් නොවන බව දැනගෙන උන්නත් මට ඕනේ වුනේ ඇයව නතර කරගන්න.

" ක්ලබ් ගානෙ ගිහින් දුක් විදින්න ඕනේ නෑ නේ...."

අම්මා එහෙම කියද්දි මට අහන්න ඕනේ වුනේ වීපි සර් ලග මම සැප විදිනවා වගේ ඔයාට පේනවද අම්මෙ කියලා වුනත් ඒ වචන ටික මම ගිල ගත්තේ ඇයගෙන් ලැබෙන පිළිතුර හොද හැටි දන්නා නිසාමයි.

" ඒ මනුස්සයා මොනාවලින්ද උඹට අඩුපාඩු කරන්නේ..... උඹට තියෙන්නෙ ඒ මනුස්සයව පොඩ්ඩක් සතුටු කරලා ඒ සාගරේ වගේ සල්ලි වලින් රැජිනක් වගේ ජීවත් වෙන්න..... උඹට ඒ ජීවිතේ අපායක් වගේ පේනවද සිනුදි....?"

කිසිදු ලිංගික සම්බන්ධයක් නොපැවැත්වුවද වීපි සර්ගෙන් ලැබෙන කායික හා මානසික පීඩනය දරාගෙන ඉන්නම බැරි තැන ඒ ගැන අම්මාට කියූ පසු ඇයගෙන් මට ලැබුනු පිළිතුර එයයි. ඉතිං අද ද ඊට වඩා පිළිතුරක් මං බලාපොරොත්තු වෙන්නෙ කොහොමද.

සිම්මි ගැන හිතමින්ම ඇදට වැටුන මම ප්‍රාර්ථනා කලෙ සිම්මිගෙ අලුත් ගැණුම්කරුවා වීපි සර් වගේ උන්මන්තකයෙකු නොවේවා කියලයි. අවුරුදු ගානකට කලින් අම්මා විසින් පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයේ රැකියාවට පැමිණි සිම්මිත් මමත් සහෝදරියන් සේ ලං වෙන්නෙ අම්මාගේ සම්භාහන මධ්‍යස්ථානය  වැහිලා ගියාට පස්සෙයි. එහි රැකියාවේ නියුතු කෙල්ලො එකා දෙන්නා අම්මාට වඩා වැඩි කොමිස් එකක් දෙන තැන්වලට පැදුරටත් නොකියාම මාරු වෙද්දි අම්මට සිද්ද වුනේ සම්භාහන මධ්‍යස්ථානය වහලා දාන්න. ඒ වෙද්දි ඉතුරු වෙලා හිටපු කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් සිම්මි. අනුරාධපුරේ පැත්තෙ නමවත් අහලා නැති අති දුෂ්කර ගමක ඉදන් රස්සාවක් හොයාගෙන කොළඹ ආපු සිම්මිට ඒ වෙද්දි අවුරුදු දහඅට සම්පූර්ණ වුනා විතරයි.

සම්භාහන මධ්‍යස්ථානය වැහිලා ගියාට පස්සෙ ආදායම් මාර්ගයක් හොය හොය හිටපු අම්මට වීපි සර්ව මුණගැහුන විදිය මම තාමත් දන්නෙ නෑ. ඒත් අම්මා වීපි සර්ට අදුන්වලා දෙන්න උන්නෙ සිම්මිව කියන දේ නම් මම දැනගෙන උන්නා. ඒත් මොකක්දෝ හේතුවකට මගේ ඡායාරූපයක්  ඇහැ ගැටෙන  වීපි සර් ඔහු පොරොන්දු වුන මුදල වගේ හතර ගුණයක් වියදම් කර මගේ සින්නක්කර අයිතිය ඉල්ලා තිබුනෙ හැබැහින් මාව දකින්නෙවත් නැතුව.

" ඒ මනුස්සයට ඕනේ ඔලුව නිදහස් කරගන්න කෙනෙක්.....

උඹ හිතන දෙයක් ඒ මනුස්සයට උඹෙන් ඕනේ නෑ....

ඒ නිසා ඔය ඈඩියාව නවත්තලා මේක ඇදගන්නවා......

සිනුදි උඹ අමතක කරන්න එපා මම මගේ මුලු තරුණකාලෙම නාස්ති කරගත්තෙ උඹට උගන්නන්නයි කන්න හොයන්නයි කියලා.......

උඹට බැරිද මං වෙනුවෙන් මේ පොඩි දේ කරන්න.......? "

වීපි සර් දුන්න සල්ලි මිටියක් පෙන්න පෙන්න අම්මා ඒ කියපු වචන ටික මට අද වගේ මතකයි. එදා අම්මගෙ වචන වලට මම අවනත නොවුනා නම්, වීපි සර්ගෙ නිල නොලත් පෙම්වතිය නොවුන නම් මගේ ජීවිතේ මොනවගේ වෙනසක් වෙයිද කියලා හිතන්න උත්සාහ කලත් ඒ වගේ දෙයක් හිතන්න පවා මගේ හිත මොනතරම් බයද කියලා මට තේරුනෙ එතකොට.

................................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි  මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට සස්වාමිකයි ඈ  ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු ✒️