Chapter 32: Chapter 32

🥀 සස්වාමිකයි ඈ 🥀 ( සඳ අහිමි අහසක් 🌙❤) CompletedWords: 29214

❤️🌹 #සස්වාමිකයි_ඈ 🌹❤️

...........සඳ අහිමි අහසක්...........

🌃 තිස් දෙවැනි කොටස 🌙

................................................................

" ඒයි සිනුදි...... ! "

ඔහුට දුරකථනය පෙන්වමින් මා දිව යන විට ඔහුට මා පිටුපසින් එන්නම සිදු වුණා.

අතරමඟදී මඟහැරුණ අපේ පුංචි කාලෙට නැවතුමක් නොතියාම හති වැටෙන තුරු අපි ලැවැන්ඩර් මල් යාය දිගෙ දිව ගියා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ලැවැන්ඩර් මල් සුවඳ අතරින් සීතල සුළග කපාගෙන අපි ආයෙත් පුංචි කාලෙට ගියා වගේ.

කකුල් රිදෙන තුරුම මා මල් යාය මැදින් දිවුවෙ පුදුම තරම් නැවුම් බවකින්. මට දැනුනෙ ආයෙත් ඉපදුනා වගේ නැවුම්බවක්.

ඉක්මන් වුන ආගත් සර් කොහොම හරි මාව අල්ලගත්තා. ඔහු මගේ ඉණෙන් අල්ලලා මාව ඔහු වෙත ඇදගන්නවත් එක්කම සමබරතාවය ගිලිහුණු අපි දෙන්නම මල් පදුරු මතට ඇදගෙන වැටුනෙ හිතන්නවත් කාලයක් ඉතිරි නොකර. අපි දෙන්නගෙන් කාටවත් වැටුණ එක ගැන සිහියක්වත් තිබුනෙ නෑ.

පොඩි කාලෙ සෙල්ලම් කරද්දිත් මේ මල් යායෙ වැටිලා අපි ඕන තරම් තුවාල කරගෙන ඇති. මම ආගත් සර් දිහාත් ඔහු මා දිහාත් බලාගෙන සිනාසුනෙ පුදුම තරම් සතුටකින්.

අත් වල ගෑවුන දූවිලි පිසලමින්ම අපි පොළ මත වැටිලා ඉදගත්තා. අපි ඉදගෙන ඉද්දි ඇතැම් ලැවැන්ඩර් පදුරු අපේ හිසටත් උඩින් වැඩිලා තිබුණා. බලන බලන හැම තැනකම තිබුනෙ ලැවැන්ඩර් මල් වල දම් පාට.

ආගත් සර් තවත් මගේ දිහා බලාගෙන වුන්නා. ඔහු මොහොතකටවත් මගේ උවනින් ඇස් අහකට ගත්තෙ නෑ. ඉතිං එය දැක දැකම මා ඒ කිසිවක් නොහැගුණා සේ හැසිරෙන්න උත්සහ කලා.

ඒත් ඒ මායාවක් වන් ඇස් වල නොපැටලි ඉන්න එක ඒ තරම් ලේසි දෙයක් වුනෙ නෑ. ඒ ඇස් මගහරින්න මොන තරම් උත්සහ කලත් අවසානයෙ මම ඒ ඇස් වල පැටලුනා.

මුවින් කියන්න බැරි ගොඩක් දේවල් අපි කතා කලෙ ඇස් වලින්. ඔහුගෙත් මගෙත් ඇස් එකිනෙකා හා යා වෙලා විනාඩි කිහිපයක් ගත වෙන්න ඇති. ඒ විනාඩි කිහිපය තුළ මටම අවනත නැති හැගීම් මහ ගොඩකින් හිතම පිරිලා.

මගේ ඇස් දිහා බලාගෙනම ඔහු හෙමින් හෙමින් මට ලං වෙද්දි මගේ මුලු ඇඟම සීතල වුණා. මගේ තොල් මත නවතින්න ඔහුට තවත් තිබුනෙ එක හුස්මක දුර විතරයි.

මට මැවි මැවි පෙනුනෙ සිම්මිගෙ අහිංසක මූණ.

දෙවියනේ..... මම කරන්නෙ වැරැද්දක්....

අහම්බයෙන් වගේ හිත කිවුවේ එහෙම කතාවක්.

ඉතිං මම ඉක්මන් වුණා. එක හුස්මක දුර ඔහු පසු කරන්නට පෙරම මා ඔහුව නතර කර ගත්තා.

" ආගත් සර්...! "

පියවි සිහියට ආව ඔහු මා වෙතින් ඉවත් වෙද්දි මම මුහුණ බිමට හරවාගත්තෙ කලකිරිමකින්.

" සොරි.... "

ඔහු කිවුවේ වෙන කොහෙදෝ බලාගෙන. ඒ හඬේ තිබුණු පරාජිත හැගීම මගේ හිතත් හොදටෝම රිදවූවා.

" ආගත් සර්.....

ඔයා නෙමේ වැරදි කලෙ මම....

සමාව ඉල්ලන්න ඕනෙත් මම.... "

මට ඕන වුනෙ මාතෘකාව වෙනස් කරන්න. ඊටත් වඩා ආගත් සර්ගෙන් සමාව ගන්න. මම පාපොච්චාරණයකට සූදානම් වුණා.

" මට සමාවෙන්න.......

මගේ අතින් කම්පැනි එකට, සර් ට, ඔෆිස් එකේ මගේම යාලුවන්ට මම කලෙ ලොකු වැරැද්දක්.....

මට සමාවෙන්න..... "

අදින් පස්සෙ සතුටු කදුළු විතරක් හඬන්නට තීරණය කල මගේ ඇස් වලින් වේදනාව පිරුණු උණු කදුළු ගලාගෙන යන්න ලොකු වෙලාවක් ගත වුනෙ නෑ.

ආගත් සර් මගේ පැත්තට හැරුනෙ ක්ෂනිකවම. ඔහු මගේ මුහුණ දෝතින් ගෙන කදුළු පිස දැම්මා.

" සිනුදි ප්ලීස් අපි ඔය ගැන මීට පස්සෙ කතා නොකර ඉමු..... "

ඔහු හරි සැහැල්ලුවෙන් කියපු ඒ වචන වලට මම පුදුම වුණා.

" සර්ට මං ගැන තරහ නැද්ද....? "

මම ඇහුවෙ කුතුහලයෙන්. මම බලාගෙන ඉද්දිම ඒ මුහුණ මත හරි ලස්සන කෙටි සින්හවක් ඇදිලා මැකිලා ගියා.

" ඇයි නැත්තෙ....

මට තරහයි.... ඔයා මට එහෙම කලා කියලා මතක් වෙන හැමපාරම මට ඔයා ගැන තරහයි....

ඒත්....

ඔයා ඒ තත්වෙට අසරණ වුනෙ කොහොමද කියලත් මම දැනගත්තා....

ඒ සේරම දැනගෙනත් ඔයත් එක්ක මට තරහ වෙන්න බෑ සිනුදි..... "

ඒ අත් මිටි මෙලවෙනවා මම බලාගෙන.

බැරිවෙලාවත් ආගත් සර් දැනගෙනද වීපි සර් ගැන..

ඒ සිතිවිල්ලත් එක්ක මගේ හදගැස්ම උපරිමේටම වේගවත් වුනා.

" ඒ කියන්නෙ......

ඔයා.....

ඔයා මොනවද දැනගත්තේ.........

මට කියන්න....

මොනවද ඔයා දන්නෙ.... "

මම කලබල වුණා.

ඔහුගෙන් පිළිතුරක් නොලැබෙන තැන ඔහුගෙ ශර්ටයෙන් ඇදගෙන ප්‍රශ්න කරන්න තරම්ම මම තව තවත් නොසන්සුන් වුණා.

එක දිගටම කදුළු කැට කඩා හැලෙද්දි මට දැනගන්න ඕන වුනෙ ආගත් සර්ගෙ පිළිතුර.

" හැම දෙයක්ම සිනුදි.... හැම දෙයක්ම.... "

ඔහු ස්තීරවම එහෙම කියද්දි මට දැනුනෙ පුදුම තරම් ලැජ්ජාවක්. මම තවත් පිරිමියෙක්ගෙ සෙල්ලම් බඩුවක්ව වුන් අතීතය ගැන මට දැනුනෙ ලැජ්ජාවක්.

ආගත් සර් මං ගැන මොනව හිතනව ඇති ද....

ඔහු ඒ සියල්ල දන්නා බව දැනගත්තාට පසුව තව දුරටත් ඔහුට මුහුණ දෙන්න මම ලැජ්ජා වුණා. මුහුණ බිමට පහත් කරගෙන මම අඬන්න පටන්ගත්තෙ හිතේ තිබුණු බර නිදහස් කරගන්න.

" සිනුදි..... "

අනවසරයෙන්ම ඔහු මාව ඒ පපුවට තුරුලු කරගත්තෙ සැනසුම් සුසුමක් හෙලමින්. ඒ උණුසුම් පපුවේ මුහුණ සඟවාගෙන මම ඇති තරම් ඇඬුවා.

ඔහු මට අඬන්න එපා කිවුවෙත් නෑ , මම අඬන එක නතර කලෙත් නෑ , මාව සැනසුවෙත් නෑ...

මට ඇති වෙනකම් අඬන්න ඉඩ දීලා ඔහු බලාගෙන වුන්නා. හරි ආදරේන් හිස අතගානව ඇරෙන්න ඒ මුවින් එක වචනයක්වත් පිට වුනෙ නෑ. ඉතිං ලද අවසරයෙන් මම ඇඬුවා. කියාගන්න නොතේරෙන වේදනාවකින් මම ඇඬුවා.

හිත නිදහස් වෙන තුරුම මම ඇඬුවා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ලැවැන්ඩර් මල් යායෙන් අපි එළියට එද්දි බංගලාවේ පොඩි කලබල ගතියක් තිබුණා. ආගත් සර් මාව වත්තම් කරගෙන වුන්නෙ මම ආයෙත් අඬන්න පටන් ගනි කියන බයට ද කොහෙද.

මගේ ඇස් නතර වුනෙ බංගලාව වත්තේ උන්න සිම්මි ලඟ. ඇය හඬමින් සිටි අතර රෙහාන් ඇයව සනසන්න උත්සහ කරමින් වුන්නා.

මම ඇය වෙත දිව ගියෙ කලබලයෙන්.

" සිම්මි......

මොකද වුනේ......

ඇයි මේ අඬන්නෙ...... "

මම එහෙම ඇහුවෙ ටිකක් බයෙන්. ඇයගෙ කදුළු වලට හේතුව මමම දැයි මගේ හිත කෑගැහුවා.

" සිනුදි...

ආන්ටි..!!!!! "

ඇය හඬාගෙනම මාව වැලදගත්තා. සිද්ද වෙලා තියෙන්නෙ මොනවද කියලා මට තේරුනෙ නෑ.

" අම්මට මොකද වුනේ සිම්මි.....

කතා කරන්නකෝ.... "

මම ඇහුවෙ කලබලයෙන්. මගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙසින් රෙහාන් මා වෙත දිගු කලෙ ඔහුගෙ දුරකථනය. මා එය අතට ගත්තෙ සැකෙන්.

එහි විඩියෝ පටයක් ධාවනය වෙමින් තිබුණා.

" පසු ගිය දහ තුන් වැනිදා සොයාගත් මෙම කාන්තා මළසිරුර සම්බන්ධව වැඩි දුර පරීක්ෂණ දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෙය සියදිවි නසාගැනීමක් ද නැතහොත් ඝාතනයක් දැයි තවමත් හෙලි වී නොමැත...... "

වීඩියෝ පටයෙ එක් කොනක මියගිය කාන්තාවගෙ රූපය ලෙසින් දිස් වූයෙ අම්මාගෙ ඡායාරූපයක්. විඩියෝ පටය අවසන් වන්නටත් පෙරම දුරකථනය මගේ අතින් ගිලිහුණා.

මොහොතකට පිටත ශබ්ද කිසිවක්ම මට ඇහුනෙ නෑ. මගේ මුලු පරිසරයම නිහඬ වුණා. මට දැනුනෙ දියෙ ගිලෙනවා වැනි පුදුම තරම් අපහසු හැගීමක්. තව දුරටත් කෙලින් සිටගෙන ඉන්න ශක්තියක් නොමැති වෙද්දි මම දෑස් පියාගත්තා.

" සිනුදි.....!!!!! "

මට මතක මම ආගත් සර්ට වත්තම් වෙන මොහොත විතරයි.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

ඔලුව පැලෙන්න තරම් වේදනා දෙද්දි මම දෑස් විවර කලා. ඒ මොන තරම් වෙලාවකට පස්සෙද කියන්න මම දන්නෙ නෑ. එත් ඒ වෙද්දි මම වුන්නෙ මෝටර් රථයක් තුළ. මම සිම්මිගෙ උරහිසට හිස තියාගෙන උන්න අතර ඇයට එහා පැත්තෙන් අත්තම්මා කදුළු සලමින් වුන්නා.

මෝටර් රථය ඉදිරියට ධාවනය කලෙ රෙහාන්. ආගත් සර් ඉදිරිපස අසුනට බර වී හදිස්සි ඇමතුමක.

" සිනුදි.....!! "

මා දෑස් විවර කර ඇති බව දුටු මොහොතේම සිම්මි කෑගැහුවා. ඇමතුම අමතක කර ආගත් සර් ද පිටුපස අසුනට එබුනෙ සිම්මිගෙ හඬට. ඒත් එක්කම මෝටර් රථය නතර වුණා.

" ඔයා හොදින් ද.... "

ආගත් සර් වතුර බෝතලයෙ මූඩිය ගලවලා මගේ අතට දෙද්දි මම හිස සැලුවෙ හොදින් කියන්න.

" එහෙනම් දැන් කෙලින්ම කොළඹ යමු..... "

මා වතුර උගුරු කිහිපයක් ගිල දැම්මාට පස්සෙ ආගත් සර් කතා කලෙ රෙහාන්ට. ඒත් එක්කම රෙහාන් නැවතත් මෝටර් රථය ක්‍රියාත්මක කලා.

මම බොහෝ වෙලාවක් සිහිසුන්ව සිටි බව මම තේරුම්ගත්තෙ ඒ මොහොතෙ. ඔවුන් මා ‍රෝහලක් වෙත රැගෙන යන අදහස අමතක කර දැමුවෙ මා අවදි වුනාට පසුව. ඉතිං දැන් අපේ ගමනාන්තය කොහෙවත් නතර නොවිම කොළඹ යන එක.

මම වචනයක් කතා කලෙ නෑ. අත්තම්මා තවමත් ඇස් වල කදුළු පුරෝගෙන. ඒ කදුළු මම වෙනුවෙන් වගේම අම්මා වෙනුවෙන් බව මම තේරුම්ගත්තා. අත්තම්මාත් අම්මාත් අතර ඒ තරම් හොද සම්බන්ධයක් නොතිබුනද අත්තම්මා කොහොමත් සංවේදී ගැහැණියක්. ඇය එක් දිනකට හෝ අම්මාව ඇයගෙ ලේලිය ලෙසින් ආදරෙන් පිළිගන්නට ඇති. ඉතිං ඒ නිසයි ඔය තරමට ඒ ඇස් වල කදුළු.

සිම්මි මගේ අතක් අරගෙන ඇයගෙ අත් දෙක මැද ගුලි කරගත්තා. මම කිසිමවක් නොපවසාම වීදුරුවෙන් පිටත බලාගත්තෙ හිස් හැගීමකින්.

දැනටමත් පරිසරය මීදුමෙන් වැහිලා. රෙහාන් ඉක්මන් වුනෙ හවස් වෙන්න කලින් හැට්න් පහු කරගන්න. මම වීදුරුවට හිස හොවාගත්තෙ කල්පනාවකට වැටෙමින්.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

මෝචරිය පෙනෙන මානයෙදි ආයෙත් මගේ කකුල් පණ නැති වුණා.

" සිනුදි ඔයා තනිවෙලා නෑ.....

Be strong.... "

ආගත් සර්ගෙ වචනත් එක්ක මම ලොකු හුස්මක් ගත්තා. ඔහුගෙ අතේ එල්ලිලා මම ඉස්සරහට පිය මැන්නෙ නොකඩවාම කදුළු වගුරවමින්.

කොරිඩෝව දිගේ ඇවිදගෙන ආව අපි එක පාරටම නතර වුනෙ මෝචරිය ඉදිරියෙ සිටි ඒ රුව දකිනවත් එක්කම. කළු පැහැති කෝට් කිට් එකකින් සැරසිලා බෙහෙවින් ශෝකාන්ත මුහුණක් මවාගෙන මෝචරිය ඉදිරිපිට සිටියෙ වෙන කවුරුත් නොවේ.

" වීපි සර්....!! "

මම තව තවත් තදින් ආගත් සර්ගෙ අතේ එල්ලුනා. ඔහු ලගදි මට දැනුනෙ ආරක්ෂාවක්.

වීපි සර් සමගින් ඔහුගෙ ආරක්ෂකයින් හැරුනාම තව පොලිස් නිලදාරින් දෙදෙනෙකුද සිටියා.

ආගත් සර් පෙරමුන ගද්දි මම ඔහුගෙ අතේ එල්ලිගෙන ඉස්සරහට අඩි තිබ්බෙ ආගත් සර්ට මුවා වෙලා.

අපි එතනට ලං වෙනවත් එක්කම එහි වූ සේවකයෙකු ලිපිගොනුවක් ගෙනත් දුන්නෙ වීපි සර්ගෙ අතට. ඔහු ඒ ලිපිගොනුව දිග හරිමින් එහි සිටි පොලිස් නිලදාරින් හා සාකච්ඡාවක.

ඉන් අනතුරුව ඔහු ඒ ලිපිගොනුව දෙසත් මා දෙසත් බැලුවෙ පෙර තිබුණු ශෝකී මුහුණෙන්මයි.

මම ඒ ඇස් වලින් හැංගිලා ආගත් සර්ට මුවා වුණා.

ඊළගට ඔහු මා වෙත අඩි තිබ්බෙ පොලිස් නිලදාරින් හා සාකච්ඡාව අවසානයෙ.

ඔහුගෙ ගමනාන්තය මා බව තේරුම්ගත් ආගත් සර් මගෙත් ඔහුගෙත් මැදින් සිටගත්තෙ පවුරක් වගේ. මම හුස්මක් ගත්තෙ ඒ මොහොතෙ.

" හෙලෝ මිස්ටර් ආගත්.... "

වීපි සර් ඔහුට අතට අත දුන්නත් ආගත් සර් එය හිතාමතාම ප්‍රතික්ෂේප කලා.

" මිස්ටර් වීපි මොකද මෙතන කරන්නෙ.... "

ආගත් සර් කතා කලෙ සාමාන්‍ය ලෙසින්. වීපි සර්ගෙ සත්‍ය ඔහු දන්න බව ආගත් සර් හැගවූයෙ නෑ.

ආගත් සර්ගෙ පැනයට වීපි සර් පිළිතුරු දුන්නෙ උඩගුවෙන්.

" මේක නේ මිස්ටර් ආගත්....

දැන් කාලෙ ගොඩක් ළමයින්ට අමතක වෙනවා දෙමාපියන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න.....

ඉතිං මම මේ ආවේ කවුරුත් බාරගන්නෙ නැති බොඩීස් බාරගෙන පුලුවන් විදියට ඒ මිනිස්සුන්ගෙ අවසන් කටයුතු කරලා දාන්න.... "

වීපි සර්ගෙ කතාවට ආගත් සර්ගෙ මුවග ඇදුනෙ උපහසාත්මක සිනහවක්.

" මිස්ටර් වීපි කවදා ඉදන් ද චැරිටි සර්විස් එකක් පටන්ගත්තෙ..... "

ආගත් සර්ගෙ මුවින් උපහසාත්මක වචන පිට වෙද්දි වීපි සර් ඔහුව සන්සුන් කරගත්තේ අපහසුවෙන් බව මම ඒ ඇස් වල හැගීම් වලින් තේරුම්ගත්තා.

" චැරිටි සර්විස් !!

ඔව් කැමති කෙනෙකුට එහෙම හිතන්නත් පුලුවන්.......

අපි ඉතිං මෙහෙ මොන තරම් සල්ලි හම්බ කලත් වැඩක් නෑ.....

යන ලෝකෙටත් මොනව හරි ඉන්වෙස්ට් කරලා යන එක කාටත් හොදයි....

මිස්ටර් ආගත්ටත් පුලුවන් ට්‍රයි කරලා බලන්න.... "

" බලමු නේද....

අහ් ඒක නෙමේ මිස්ටර් වීපි....

සමහරවිට අපි බාරගන්න ආව බොඩි එකත් ඔයාගෙ ඔය ලිස්ට් එකේ තියනවද දන්නෙ නෑ.... "

" අහ් වෙන්න පුලුවන්....

මොකද මම බාරගත්තෙ මෙච්චර දවසකට කවුරුත් අයිතිවාසිකම් කියපු නැති බොඩීස්....

චෙක් කරලා බලන්න.... "

වීපි සර් කට කොනින් හිනා වෙලා ලිපිගොනු ආගත් සර්ට බාර දුන්නා. වීපි සර්ගෙන් ඇස් නොගෙනම ආගත් ලිපිගොනු මගේ අත උඩින් තියද්දි සිම්මි මට ලං වුනෙ ඉක්මනින්.

එහි නම් ලැයිස්තුවක් තිබුනෙ නෑ. තිබුනෙ මගේ අම්මගෙ නම විතරයි. වීපි සර්ගෙ ඒ උපහසාත්මක සිනහව දැක දැකම මම හැම දෙයක්ම ඉවසගත්තා.

🌙......❤️......🌙.......❤️......🌙......❤️.....🌙

එතනින් එහාට සිද්ද වුන හැම දෙයක්ම හීනයක් වගේ. අම්මාගෙ නිසල සිරුර බාරගන්න මම මගේ අතින්ම අත්සන් කලා.

සිරුර සොයාගන්න විටත් දින කිහිපයක්ම ගත වී තිබුණු නිසා අන්තිම වතාවට අම්මව බලන්නවත් මට අවසරයක් ලැබුනෙ නෑ. සීල් කරපු පෙට්ටියකින් එයා අවසන් ගමන් යන්න ගියා.

අම්මා හැමදාමත් ආසාවෙන් වුන්නා ලස්සන සුදු සාරියකට. ඇයි ද කියන්න නම් දන්නෙ නෑ ඒත් කිසිම දවසක එයා සුදු සාරියක් ඇන්දෙ නෑ. ඉතිං අම්මගෙ ඒ ආසාව මට ඉෂ්ඨ කරන්න පුලුවන් වුනෙ එයා මාව දාලා ගොඩක් දුර ගියාටත් පස්සේ.

මට අඬන්න ඕන වුනත් මම ඇඬුවේ නෑ. හිත ගලක් කරගෙන මම ඕහේ බලාගෙන වුන්නා.

මට මතක් වුනෙ අන්තිමට මම අම්මට කතා කරපු හැටි. මම මොන තරම් තරහකින් ද එයාට කතා කලෙ..

මට මං ගැනම වෛරයක් දැනුනා.

මරණ පරීක්ෂණ වාර්තාවට අනුව එයා සියදිවි නසාගෙන. තමන්ගෙම ශරීරයට දරුණු විදියට හානි කරගෙන සියදිවි නසාගන්න තරම් අම්මට මොකද වුනේ.

මම මොන තරම් අමතක කරන්න හැදුවත් සැරින් සැරෙට මට මතක් කරනවා අම්මගෙ මරණයට වගකියන්න ඔනෙ මම කියන එක.

කලින් වතාවක මම ගෙදරින් පැනලා ගිය දවසෙ අම්මා සියදිවි නසාගන්න උත්සහ කරපු හැටි මට තාමත් මතකයි. එදත් එයාගෙ ජීවිතෙ බේරුනෙ වාසනාවකට. ඒ ගැන දැන දැනම මම දෙවෙනි පාරටත් එකම වැරැද්ද කලා. ඉතිං අම්මාගෙ මරණයට වගකියන්න ඕනෙ මම නෙමේ ද.

මොන තරම් උත්සහ කලත් මට මගේ හෘදසාක්ෂියෙන් ගැලවෙන්න බෑ.

අම්මා මට කරපු වැරදි එකක්වත් මට මතක් වුනෙ නෑ. තත්පරේකටවත් එයා ගැන තරහක් හිතුනෙත් නෑ.

මට දැනුනෙ හිස් බවක්. මං ගැනම ලොකු කලකිරිමක්.

සිම්මිත් රෙහානුත් එකතුව අම්මාව මිහිදන් කල තැන පහන් පත්තු කරමින් මල් වලින් සරසමින් වුන්නා. අත්තම්මා පැත්තකට වෙලා යාච්ඤා කරනවද කොහෙද.

මේ හැම දෙයක් දිහාම ආගත් සර්ගෙ උරහිසට හිස තියාගෙන මම බලාගෙන වුන්නා. ආගත් සර් ලගදි ආරක්ෂාවක් වගේම මට ලොකු ශක්තියකුත් දැනෙනවා. ඒ නිසා වෙන්න ඇති මට මේ හැමදේම දරාගන්න පහසු වුනේ.

...............................................................

🌙 නැවත හමුවෙමු 🌙

................................................................

🌹 කතාව දිගටම ලියන්න ඔයාලගෙ ආදරණීය කමෙන්ට් එක තමයි මාව ශක්තිමත් කරන්නෙ..

අමතක නොකර ලස්සන හෝ කැත ඔනේ අදහසක් කියලා යන්න මං ඒ හැම එකක්ම ආදරෙන් පිළිගන්නවා.. 🌹

💣 පෙර කොටස් කියවීමට මගේ අකවුන්ට් එකේ ඇති සස්වාමිකයි ඈ ඇල්බම් එකට යන්න

✒️ ශාන්‍යා ප්‍රනාන්දු