Chapter 6: Part 6

සීමාවෙන් එහාWords: 73316

මම ගේ ගාවින් ඇවිත් බහිද්දි රෑ 11ටත් කිට්ටුයි. සාමාන්‍යයෙන් නම් අම්මයි අප්පච්චියි මේ වෙලාවට නිදි. එක අතකට ඒකත් හොඳයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් එපැයි නැත්තම්. වෙලාවට මම ස්පෙයා කී එකක් තියාගෙන ඉන්නෙ.

මම සද්දයක් ඇහෙන්නැති වෙන්න ශේප් එකේ ගේට් එකත් වහලා ගේ දිහාට හැරුණා විතරයි...හෑ!! මෙන්න ටීවී එක දාලා. මට ජනේලෙන් පේනවා. මේ ඩබල නිදි නැද්ද?? දැන් මොකෝ කරන්නෙ??

මම මල් පොකුර හංගගන්න තැනක් තියනවද බැලුවා. ගිටාර් කවර් එක අස්සට ඔබන්නයැ. නෑ එක්කො හංගගන්න ඕන්නෑ...මොකෝ මම හොර වැඩක් කරේ නෑනෙ. පොඩ්ඩක් ගෙදර එන්න වෙලා ගියා එච්චරයි. මම වෙනදා නවය හමාර විතර වෙද්දි එනවනෙ...පොඩ්ඩයි වෙලා ගියේ හහ්.

මල් එක ඕඩියන්ස් එකෙන් හම්බුණා කියනවා. මීට කලින්නම් හම්බෙලා නෑ තමා ඒත් අද හම්බෙන්න පුලුවන්නෙ. ඒ වුණාට කෝකටත් කියලා මම මල් පොකුර පොඩ්ඩක් පිටිපස්සට කරගෙන පුලුවන් තරම් හිමින් දොර ඇරියා.

"අනේ ඇත්තට මෙහෙමත් බොරු කරන පිරිමි නේ මාලි? පවු අර අසේනි වගේ අය ඉතින්..."

ඈ...මේ වෙලාවට මොනවද යන නාට්‍ය?? ආ අමතක වුණා පියෝ ටීවිනෙ. ඒත් මේ මහ රෑ මෙච්චර උනන්දුවෙන් දෙන්නා මොකෝ ඒක බලන්නෙ? අම්මයි අප්පච්චියි එහෙම නාට්‍ය බලන දෙන්නෙක් නෙවෙයි සාමාන්‍යයෙන්.

"අනේද කියන්නෙ රවී...මේ වාසල වගේ බොරු කියන පිරිමිනම් ඊයා නේ?"

'"හ්ම්..."

මම දොර ළඟ හිටගෙන මොකාද එකා වගේ දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන් හිටියා.

"අප්පච්ච්...මොකෝ මේ?"

මම දෙන්නගෙ විපර්යාසෙ දරාගන්න බැරුව ඇහුවා. ඒ පාර දෙන්නම හෙන සිරා මූණු දෙකක් හදාගෙන මගෙ දිහා බැලුවා.

"ආ චූටි පුතා ආවද? නෑ...මං මේ කිය කිය හිටියෙ බලන්න අසේනි දුක් විඳින තරම් ගැන."

"ඉතින් අසේනි දුක් විඳින එකට ඇයි තාත්තා හිනාවෙන්නෙ?"

මම ඇහිබැමත් උස්සලා ඇහුවෙ දුක් විඳින ගෑනියෙක් ගැන කිව්වට මොකද අප්පච්චි ඉන්නෙ මනමාල හිනාවක් දාගෙන නිසා.

"ආ...හිනා ගිහින් වගේද පේන්නෙ? නෑ චූටි මං මේ අවංකවම දුකින් ඉන්නෙ."

අප්පච්චි සුපිරි ගරු රඟපෑමක් දෙන ගමන් කිව්වා. මම පොඩ්ඩක් දොර ගාවින් අයින් වෙලා කාමරේට යන්න යද්දි දෙන්නගෙම ඇස් දෙක මල් පොකුර පැත්තට යනවා මම දැක්කා. ශේප් එකේ මාරු වෙන්න ගියත්-

"චූටි...අද මල් පොකුරක් හම්බෙලානෙ මෙයාට. කෝ දෙන්න බලන්න."

හරිනෙ...මම පොඩි හිනාවක් දාලා අම්මා අතට මල් පොකුර දුන්නා.

"ලස්සනයි...කවුද දුන්නෙ?"

ඕඩියන්ස් එකෙන් කියන්න හිතුණත් දැන් අප්පච්චි බොරු කියන උන්ට ගහපු හින්ට් එකත් එක්ක එහෙම කියන්න බෑ හිතුණා. එක අතකට...මට හිතෙනවා හංගන්න තරම් දේකුත් නෑ කියලා. අපි දෙන්නා අතර තාමත් ඔෆීශියලි මුකුත් නෑ තමයි. ඒත් අපි කතා කරපු දේවල් එක්ක...අම්මා, අප්පච්චි මෙච්චර සපෝටිව් එකේ ඒ ගැන පොඩ්ඩක් හරි කියලා තියන එකේ වැරැද්දක් නෑනෙ.

"අම්මෙ මේ...මට වතුර එකක් ගෙනත් දෙන්න පුලුවන්ද?"

මම අම්මා ගාවින් ඉඳගෙන කිව්වා. වෙනදා ගමනක් ගිහින් ආපු ගමන් පොඩ්ඩක් කතා කරලා කාමරේට යන මම අද ඒ දෙන්නා එක්ක ඉඳගත්තම මං හිතන්නෙ එයාලටත් මොකක්හරි දෙයක් තේරුණා.

අම්මටයි අප්පච්චිටයි කොහොමත් අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ...අයියයි මමයි හැරෙද්දි තේරෙනවා ඔක්කොම. ඒක මේ අපි දෙන්නගෙ දෙමවුපියො නිසාම නෙවෙයි.

හිතන්නකො...අම්මා එක වසරෙ ඉඳන් දහතුන වසරට යනකම් විවිධාකාර ඉස්කෝලේ ළමයි දාස් ගාණක් එක්ක වැඩ කරලා එයාලා ගැන හොඳ අවබෝධයක් තියනවා. අප්පච්චිට ඒ අත්දැකීමම තියනවා අවුරුදු 20-28 වගේ වුණ කැම්පස් යන මට්ටමේ උගත් ළමයි එක්ක.

අනික දෙන්නම නිකන්ම ටීච් කරා විතරකුත් නෙවෙයිනෙ. අම්මා වයිස් ප්‍රින්සිපල්, අප්පච්චි ඩීන් විදිහට පරිපාලනෙත් ඉඳලා තියනවා. ඉතින් ඇත්තටම අයියයි මමයි මේ දෙන්නට බොරුවක් කරනවා තියා හිතන එකත් විහිලුවක්.

ඇත්තටම මෙච්චර කල් අයියයි මමයි එහෙම බොරු කියලා නෑ. ඔය පොඩි පොඩි ඒවා ඇරෙන්න. ඒවත් සමහරවිට නොතේරුණා වගේ හිටියට එයාලට තේරෙන්න ඇති, මේ දැන් වගේ.

ඒත් පළවෙනි වතාවට මෙහෙම දෙයක් හිතුනම...ඒක ඒ දෙන්නට කියන එක හිතන තරම් ලේසි නෑ.

"ඉන්නකො...මම අරන් එන්නම්."

අම්මා හිනාවෙලා මගෙ කකුලටත් තට්ටුවක් දාගෙන නැගිටලා ගියා. අම්මා ගෙනත් දීපු වතුර එකෙන් බාගයක් විතර බීපු මම ආයෙම වීදුරුව ස්ටූල් එක උඩින් තිබ්බා. ඇත්තටම ඉතින් මට තිබ්බෙ වතුර බොන්න වුවමනාවක් නෙවෙයිනෙ. ලොකු හුස්මක් ගත්ත මම ඒ දෙන්නා දිහා එක පාරක් බලලා ආයෙම බිම බලාගත්තා.

"මේ...මට ඔය දෙන්නට කියන්න දෙයක් තියනවා."

මම කියද්දි අප්පච්චි පුටුවෙන් පොඩ්ඩක් ඉස්සරහට වෙලා මගෙ පැත්තට බර වෙද්දි අම්මත් ගොඩක් ආසාවෙන් මම කියන දේ අහන්න බලාගෙන හිටියා.

"මෙහෙමයි...මම කැමති කෙනෙක් ඉන්නවා."

අප්පච්චිගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුණා මම ඒක කියනවත් එක්කම. ඇයි දන්නෑ ඒත් මට මේ මොහොත ගැන ආදරේ හිතුනා. හැම ළමයෙක්ගෙම මේ අත්දැකීම මේ වගේ ලස්සන නෑ.

"ඉතින්...කියන්නකො අපිට විස්තර."

අම්මා මට තව ටිකක ළංවෙලා කිව්වා. සැක් ගැම්මෙන් පටන් ගත්තට දැන් නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේනෙ අප්පා.

"අපි දෙන්නගෙ ඔෆීශියලි මුකුත් සම්බන්ධයක් නෑ අම්මා...අපි හම්බුණෙත් ළඟදි. ඒත්- ඒත් මට එයා විශේෂයි කියලා හිතෙනවා. තාම අපි දෙන්නා කතා කරනවා විතරයි."

මම එහෙම කියලා අම්මයි අප්පච්චියි දිහා බලද්දි ඒ දෙන්නා බාධාවක් නැතුව කතාව අහන්න ආසාවෙන් ඉන්නවා කියලා තේරුණ නිසා මම කතා කරගෙන ගියා.

"මම දන්නවා එයාටත් එහෙම හිතෙනවා කියලා. ඒ කියන්නෙ...අපි ගොඩක් කතා කරා. විශේෂෙන් අද. ඒත් හම්බුණ ගමන්ම සම්බන්ධෙකට යන්න ඉක්මන් වෙන්න ඕනෙ නෑනෙ නේද?"

මම ඇහුවෙ ඒ දෙන්නත් ඒ ගැන මොකක්ද හිතන්නෙ කියලා දැනගන්න.

"ම්ම්...ඒක ඇත්ත."

අප්පච්චි මගෙ දිහා බලලා කිව්වෙ ලොකු විශ්වාසෙකින්.

"ඉතින්...අපි දෙන්නා තාම අපි දෙන්නට කම්ෆටබ්ල් වෙනකන් කතා කරගෙන යනවා විතරයි. කොහොමහරි මට විශ්වාසයක් තියනවා- අපි දෙන්නා ගැන."

මම ආයෙම ඒ දෙන්නගෙ රිඇක්ශන් එක දැනගන්න බලාගෙන හිටියා. පුතෙක් විදිහට අප්පච්චි මේ ගැන හිතන දේත්, මම මේ කියන්නෙ පිරිමි ළමයෙක් ගැන නිසා අම්මා ඒ ගැන හිතන දේත් දෙකම මට වැදගත්.

"ඔයාට විශ්වාසයක් තියනවනම්...ඔයාලා කතා කරගෙන යන්න. අපෙ කිසිම ප්‍රශ්නයක් නෑ ඒ ගැන. කාලයක් යද්දි ඔය දෙන්නටම තේරෙයිනෙ."

අප්පච්චි කියද්දි අම්මා ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා.

"හැබැයි චූටි...ඔයා දෙයක් මතක තියාගන්න. ඔයාට පුලුවන් ඕන දෙයක් අම්මයි අප්පච්චියි එක්ක කියන්න හරිද? ඒකට බය වෙන්න ඕනෙ නෑ."

"මම දන්නවා අම්මා...ඒත් එකපාරට- ඔයාලා දන්නවනෙ එහෙම දෙයක්-"

"අපි දන්නවා චූටි...අපිත් ගෙදරට කියන්න කොච්චර නැටුමක් නැටුවද නේ රවී?"

අම්මා අහද්දි අප්පච්චිට හයියෙන් හිනාගියා.

"හපොයි මතකයි...ඕවා ඔහොම තමා චූටි පුතා ඔය කාලෙට. ඔයා කතා කරන්න. කවදාහරි සම්බන්ධයක් පටන් ගත්තොත් අපිට එයා ගැන විස්තර කියන්න. ඒකටත් ඔයා මේ වගේම කල් ගන්න...කිසිම ප්‍රශ්නයක් නෑ ඒකෙ."

අප්පච්චි කියද්දි මම ඒ දෙන්නා දිහාම බලාගෙන හිටියෙ ආදරෙන්. කීයෙන් කීදෙනාටද මේ වගේ ඕපන් මයින්ඩඩ් දෙමවුපියො හම්බෙන්නෙ. අනික මම මේ පිරිමි ළමයෙක් ගැන කියද්දි. මම කොච්චර වාසනාවන්තද කියලා මට ආයෙ ආයෙත් හිතුණා.

"ඒ කියන්නෙ...ඔයාලට අවුලක් නැද්ද?"

මම අහිංසකයා වගේ අහද්දි අම්මා යන්තම් හිනාවුණා.

"මෙහෙමයි...අපි තාම 'එයාට' කැමතිද නැද්ද කියන එක අපිට කියන්න බෑ. මොකද අපි තාම එයා ගැන කිසි දෙයක් දන්නෑනෙ. ඒත් දැන් ඔයාම කිව්වනෙ ඔයාලා හම්බුණා විතරයි කියලා. ඔයා කතා කරලා අප්පච්චි කිව්වා වගේ දෙන්නම කම්ෆටබ්ල් වුණාම අපිට කියන්න."

"කොහොමත් චූටි පුතා...අපිට ඔයයි අයියයි ගැන විශ්වාසයි. ඔයාලා දෙන්නා මෙච්චර කල් හැදුණු විදිහත් එක්ක ඔයාලගෙ තේරීම් වැරදි නෑ කියලා අපි දන්නවා. දැන් මේ කියන එක වුණත්...ඔයාට පළවෙනි වතාවටනෙ මෙහෙම දෙයක් හිතුනෙ නේද?"

"ඔව්..."

"ඉතින් ඔයා වගේ හොඳ දරුවෙක් එහෙම ඉවසලා ගත්ත පළවෙනි තීරණේ වරදින්න තියන චාන්ස් එක අඩුයි."

අප්පච්චි එහෙම කියද්දි මගෙ හිතට දැනුණ ලොකු සතුටත් එක්ක මම අප්පච්චි හිටපු පුටුවෙ ඇන්ඳෙ ඉඳගෙන පැත්තකින් එයාව තද කරලා බදාගත්තා.

"I feel so lucky to have you both in my life..."

මම ලේසියකට ඔහොම දේවල් කියන්නෙ නෑ එයාලගෙ මූණට...ඒත් මං ගැන එයාලගෙ තියන විශ්වාසෙ ගැනත් මගෙ මූණටම කිව්වට පස්සෙ මෙහෙම දෙයක්වත් නොකියා පුලුවන්ද??

"ම්ම් දැන් එහාට වෙන්න නාකි කෝලම් නැතුව...අද වෙන සුවඳකුත් එනවද මන්දා ළඟින්."

අප්පච්චි කියද්දි මම ක්ෂණිකව එහාට වෙලා ආයෙ හිටපු තැනටම ගිහින් ඉඳගත්තා. මං කලින් කිව්වා වගේ මම සාමාන්‍යයෙන් සුවඳ ගහන එක වරද්දන්නැති නිසා මං ළඟින් එන සුවඳ හැටහුට හමාරම අම්මයි අප්පච්චියි දන්නවා. ඇයි වඳින්න ළඟට යනවනෙ හැමදාම. කවුද හිතුවෙ ඉතින් අප්පච්චිට සුවඳෙ වෙනස එක පාරට අඳුරගන්න පුලුවන් කියලා.

"මාත් මේ නොකියා හිටියෙ..."

මම අම්මා ගාවින් ඉඳගත්ත ගමන්ම එයත් ආයෙ කියද්දි මම අහක බලාගත්තා. ආයෙ පටන් ගත්තා ඉතින් බයිට් කරන්න...එක්කො ලවන්ට කියන්න ඕනෙ මගෙ පර්ෆියුම් ජාතියම ගන්න කියලා.

"හරි අනේ ඉතින්...ඇති දැන්."

මම බොරු කේන්තියක් අරන් කියද්දි දෙන්නම හයියෙන් හිනාවුණා.

"හරි හරි...කොහොමහරි අපිට ඔයාගෙ ලයිෆ් එකේ දේවල් A-Z දැනගන්න ඕන්නෑ. ඒත් ඔයාලා කතාකරගෙන යද්දි අපි දැනුවත් වෙන්න ඕන තැන් වලදි අපිට කියන්න. ඒ තැන් මොනවද කියලා අපි අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ...ඔයා පොඩි ළමයෙක් නෙවෙයිනෙ."

"ඔව් අම්මා...මට තේරෙනවා."

මම කියද්දි අම්මයි අප්පච්චියි දෙන්නම හිනාවුණා.

"එහෙනම්...මම එයා එක්ක කතා කරගෙන යනවට ඔයාලා කැමතිනෙ?"

"ඔව්...අපෙ ප්‍රශ්නයක් නෑ."

"ඔයාලා- මේ...ඔයාලට කේන්දර එහෙම ඕන්නැද්ද?"

මම ඒක ඇහුවෙ... සාමාන්‍යයෙන් ලංකාවෙ ගෙවල් වල එහෙමනෙ. කේන්දර ගැලපෙනවනම් නයයි මුගටියයි හරි කමක් නෑ බන්ඳනවා. ඊට පස්සෙ දෙන්නා කුලල් කා ගන්නවා මැරෙනකන්. එක්කො අවුරුදු ගණන් යාලු වෙලා හිටපු එක කඩනවා කේන්දර ගැලපෙන්නෑ කියලා. සමයං...

Astrology වල ඇත්තක් ඇති...මම නෑ කියන්නෙ නෑ. පරම්පරා ගාණක් එන දේ බොරුමයි කියලා බැහැර කරන්න බෑ. ඒත් අපෙ මුලු ජීවිතේම ඒ කොටු දොළහට බාරදෙන්න ඕනෙ නෑනෙ. නිකන් හිතන්න...අපි ඉපදුනේ 5.50ට, නර්ස්ට පොඩ්ඩක් වැරදිලා 5.51 කියලා දානවා. එතනින් එහාට කේන්දරේ ඉඳන් හැම දෙයක්ම වෙනස් වෙනවනෙ.

ඒ නිසා මම හිතන්නෙ...ඕවා බැලුවට කමක් නෑ, විශ්වාස කරාට කමකුත් නෑ. ඒත් ඒ දේවල් වලට ජීවිතේ තීරණය කරන්න දෙන්න ඕනෙ නෑ. මම කෝකටත් කියලා අම්මගෙනුයි අප්පච්චිගෙනුයි ඇහුවා ඉතින්.

එයාලා උගත් තමා ඒත් ඕනතරම් ඔය වගේ උගත් මිනිස්සු ඔහොම දේවල් විශ්වාස කරනවා මම දැකලා තියනවා.

"කේන්දරේ රෝල් කරලා-"

අප්පච්චි කියන්න ගිය එක නවත්තගත්තෙ අම්මා ඇස් කඩාගෙන යන විදිහෙ දරුණු බැල්මක් දුන්න නිසා.

"නෑ මම කිව්වෙ- කේන්දරේ කොහොමත් රෝල් කරලනෙ තියෙන්නෙ... නේ මාලි? ඒක ඒ විදිහටම රෝල් කරලා අල්මාරියෙන් පරිස්සමට අරන් තියන්න කියලා."

අප්පච්චි කියපු එකට මට හිනායන්න ඇවිත් මම අමාරුවෙන් ඒක නවත්තන් බිම බලාගත්තා.

"ඒ හඳහන නෙවෙයිද රෝල් කරලා තියෙන්නෙ...?"

මම අහපු ගොබ්බ ප්‍රශ්නෙට අම්මා මට ටොක්කක් ඇන්නා.

"ඒ දෙකම එකයි..."

"හප්පටසිරි...එකක්ද??"

ඕක ඇහුවෙ මමනම් කමක් නෑ...හැබැයි ඇහුවෙ අප්පච්චි. ඒකටනම් මට හයියෙන්ම හිනාගියා. මම කමක් නෑ කියමුකො, සයන්ස් ෆැකල්ටි එකේ හිටපු ඩීන් ඩොක්ටර් රවිශාන් විජේසේකර දන්නෙත් නෑ දෙකම එකක් කියලා.

ඒකට ආයෙම අම්මගෙන් රැවුමක් හම්බුණු නිසා අප්පච්චි ශේප් එකේ අහක බලාගත්තා.

"අපොයි අප්පච්චි...ඔයා දන්නෙත් නැද්ද?"

"අනේ මම ඕවා දන්නෑ චූටි පුතා...අපි බඳිද්දි කේන්දර බැලුවෙත් නෑ. මගෙ එක කොහෙද දන්නෙත් නෑ. මේ අපි දෙන්නා ඉන්නෙ යස අගේට."

"ඇත්ත...ඔය දෙන්නා කොච්චර අගේට ඉන්නවද නේද?"

මම අම්මව තද කරලා බදාගෙන කියද්දි අම්මා ආයෙම මට බොරුවට බැනලා මාව එහාට කරා. මම ඇත්තනෙ කිව්වෙ ඉතින්...අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ දෙන්නා එදා වගේම ආදරෙන් ඉන්නවා.

"හැබැයි මාලි...වෙන්ඩ බෑනා හරි තෝට්ෆුල් වගේ. බලන්නකො චූටිගෙ කම්මුල් වල පාටටම මල් බොකේ එක තියන හැටි."

ඒ මොකක්ද කිව්වෙ?? මට ශුවර් දැන්නම් ඒවා රෝස පාට වෙලා නෑ කියලා...ඒත් සාමාන්‍යයෙන් වෙනවනෙ. හයියෝ දෙයියනේ මට ලැජ්ජයි...

"ඔව් හැබැයි...කොහොමත් එයා එක්ක ඉද්දි ඒවා වැඩියෙනුත් රෝස පාට වෙනවා ඇතිනෙ."

අනේ මේ දෙන්නා දැන් මේක නවත්තගත්තෙ නැත්තම් ආයෙම ෆ්‍රී රෝස ශෝ එකක් එයාලට බලාගන්න පුලුවන් වෙයි. මගෙ කම්මුල් නොපෙනෙන්න මම පුලුවන් තරම් බිම බලාගෙන හිටියා.

"මේකා ඇමරිකාවෙ ඉපදුන එකේ එක හොඳක් තමා ඔය අමුතු සුදු පාටක් ආපු එක. රෝස පාට වෙනම පේන්නෙ ඒකයි..."

අප්පච්චි මනමාල හිනාවක් දාලා කිව්වා.

"අනේ ඇති අප්පා දැන්..."

මම ලැජ්ජාවෙන් වගේ කියද්දි අම්මා ආයෙම හිනාවෙලා මගෙ ඔලුව අතගෑවා.

"හරි හරි දැන් ඇති...චූටිට මහන්සි ඇතිනෙ. ගිහින් වොශ් එකක් දාලා නිදාගන්න. කාලා නේද ආවෙ?"

අම්මා අහද්දි මම ඔව් කියන්න ඔලුව වැනුවා. කොහොමත් සින්ග් කරන්න යන දවසට මට කැෆේ එකෙන් ෆ්‍රී ෆුඩ්, ඩ්‍රින්ක්ස් හම්බෙනවා.

"මම උඩට යනවා එහෙනම්...ගුඩ් නයිට් අම්මා, ගුඩ් නයිට් අප්පච්චි."

"ගුඩ් නයිට්..."

මම ආයෙම ගිටාර් එක කරේ දාගෙන මල් පොකුර අතර ගත්තා.

"චූටි..."

මම පඩිපෙළ ගාවට යන්න යද්දිම අම්මා කතාකරපු නිසා මම ආයෙම නැවතුනා.

"ඔයාගෙ කාමරේ වාස් එකක් නෑ නේද...?"

"න්-නෑ අම්මෙ..."

"ඉන්න මම ගෙනත් දෙනකම්. මල් ටික ඒකට දාලා තියාගන්න."

අම්මා කැබිනට් එක ගාවට ගිහින් විනාඩි පහකට විතර පස්සෙ ලස්සන වාස් එකක් හොයලා ඒක පිහදාලා මට ගෙනත් දුන්න හැටි මම බලන් හිටියෙ ගොඩක් ආදරෙන්. අම්මට තෑන්ක් කරලා වාස් එකත් අරන් කාමරේට ආපු මම ගිටාර් එක පැත්තකින් තියලා මුලින්ම කරේ මල් ටික වාස් එකට දාපු එක.

ඒ රෝස පාට මල් එහෙම තියෙද්දි තවත් ලස්සනයි...මම වාස් එක කණ්ණාඩි මේසෙ උඩින් තියලා ඒ ළඟින්ම ඉඳගත්තා. කණ්ණාඩියෙන් මට මගෙ දිහා බලාගෙන මල් වලට ටිකක් ළං වුණා.

එයාලා කියනවා වගේම ඒ රෝස මල් මගෙ කම්මුල් වල පාටමද? මම එක මලක් මගෙ කම්මුලකට හේත්තු කරගත්තා. ඒක සිනිඳුයි...ඒත් එක්ක මට ලවන්ගෙ සිනිඳු ටච් එක මතක් වුණ නිසා එහෙම්මම ඇස් දෙක පියාගත්තා.

ලවන් කිව්වෙ එයා මල් පොකුර ගත්තෙ මගෙ කම්මුල් මතක් කරන් කියලනෙ...ඒ කියපු එකේ වැරැද්දක් නෑ තමයි. ඒ වගේ පොඩි ඩීටේල්ස් මං ගැන මතක තියන් ඉන්න එකට මං ගොඩක් ආසයි.

මාව සතුටු කරන්න මහා ලොකු දේවල් ඕනෙ නෑ...මේ වගේ පොඩි දේවල් හොඳටම ඇති. මට මල් බොකේ එක ගොඩක් වටිනවා...ඊටත් වඩා මට වටින්නෙ ලවන් මම ඊයේ කියපු දේ මතක තියන් හිටපු එක, මං ගැන පොඩිම පොඩි ඩීටේල් එකත් හරියට මතක තියන් හිටපු එකට.

ඒ දේවල් මතක් වෙද්දි මට එයා ගැන තියන ආදරේ වැඩිවුණා. මම හිමින් මගෙ ඇඟිලි මල් දිගේ ඇදගෙන යන ගමන් ලවන්ව, අද රෑ අපි දෙන්නා එකට හිටපු කාලෙ ගැන මතක් වුණා.

එක පාරට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙන්න ගත්ත නිසා මම එහෙම්ම නැගිටලා ගිහින් ඇඳේ මුනින් අතට පෙරළිලා කොට්ටෙ අරන් ඔලුව උඩින් තියාගත්තා.

ආදරේ කරන හැමෝටම දැනෙන්නෙ මෙහෙමද? ඒක...කියන්න තේරෙන්නෑ. හරි අමුතුයි...ලවන් එක්ක ඉද්දි විතරක් නෙවෙයි එයාව මතක් වෙන පොඩි තප්පරේටත් හිතම පිරිලා ගිහින් පපුව දිගේ හිරියක් දැනෙන්න තරම් මගෙ හිතේ තියන හැඟීම දුර ගිහින් තිබුණා.

මම ඇඳේ අනිත් පැත්ත හැරිලා කොට්ටෙ අරන් බදාගත්තා. අප්පච්චි කිව්වා හරි තමා...දැන්නම් මටත් මං ගාවින් ලවන්ගෙ සුවඳ එනවා දැනෙනවා. මට ඒකට යන්තම් හිනා ගියා.

අද ලවන් එයත් එක්ක ටිකක් ඉන්න පුලුවන්ද ඇහුවට පස්සෙ මම කැමති වුණා ඒකට...කොහොමත් මට නිදහසේ ඇති තරම් වෙලා එහෙම එයත් එක්ක කතා කරන්න වුවමනා වෙලා තිබ්බෙ.

එයා මාවත් දාගෙන කැෆේ එක පාරෙම පොඩ්ඩක් ඉස්සරහට ගියා. අපෙ කැෆේ එක තියෙන්නෙ බහිරව කන්ද පාරෙ. ඒකෙ ගිහින් තියන ඕන කෙනෙක් දන්නවා ඒ පාර කොච්චර ලස්සනද කියලා. නුවර වැව, මාළිගාව, ග්‍රවුන්ඩ් එක, නුවර තියන හැම ඉස්කෝලයක්ම ලස්සනට පේනවා ඒ පාරට. අපෙ කැෆේ එක හදලා තියෙන්නෙත් ඔය වීව් එක හොඳට පේන්න.

ලවන් ටික දුරක් ඩ්‍රයිව් කරලා පාර අයිනෙන් පොඩි ඉඩක් තිබ්බ තැනක කාර් එක නතර කරා. එතෙන්ටත් මම අර කියපු වීව් එක ලස්සනට පේනවා. මම කොච්චර ආසාවෙන්ද හිටියෙ මේ වගේ තැනකට මම ආදරේ කරන කෙනත් එක්ක දවසක එන්න. වැව රවුමෙ දවසක රෑ වෙලා ඇවිදින්න තිබ්බ හීනෙ වගේම, මේ හීනෙත් එච්චර ඉක්මනට හැබෑ වෙයි කියලා මම හිතුවෙ නෑ.

ලවන් කාර් එක නතර කරේ ක්ලිෆ් එක පැත්තට හරවලා. ඒත් එයා ටිකක් වෙලා යනකන් මුකුත් කිව්වෙ නෑ. මමත් කිසි දෙයක් නොකියා සීට් එකට හේත්තු වෙලා එයා පැත්තට හැරිලා මූණ දිහා බලාගෙන හිටියා. හැබැයි ලවන්නම් මගෙ දිහා බැලුවෙ නෑ...ඒත් මම බලාගෙන ඉන්නෙ කියලා තේරුණ නිසාද කොහෙද එයත් පොඩ්ඩ පොඩ්ඩ රතු වෙනවා මට පේනවා.

"ඔයා එක්ක ඉන්න ඕන නිසා එමු කියලා කිව්වට...මට හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා විදුර්."

ලවන් අන්තිමට මගෙ දිහා හැරිලා කියද්දි මම හිනාවුණා.

"ඉතින් කතා කරන්නම ඕනෙද...?"

මම හිටපු විදිහටම ඉඳලා ලවන් දිහා බලලා අහද්දි එයා හිනාවෙලා මගෙ අතකින් අල්ලගත්තා. ඒ ටච් එක දැනෙනවත් එක්කම මම අනිත් අතින් අල්ලන් හිටපු මල් පොකුරෙ ග්‍රිප් එක වැඩි වෙනවා මට දැනුණා.

"ඔයා හරි...අපි මෙච්චර දවසක් දේවල් කතා කරේ වචන වලින්ම නෙවෙයිනෙ නේද?"

"අපි අතර වුණ ලස්සනම කතාබහ එකක්වත් වුණේ වචන වලින් නෙවෙයි..."

මම කියද්දි ලවන් මගෙ දිහා හැඟීම් ගොඩක් පිරුණු ඇස් දෙකකින් බලාගෙන හිටියා.

"God Vidur...මට හිතාගන්න බෑ මං ඔයාව කොහොම හොයාගත්තද කියලවත්. මම- මම කෙනෙක්ගෙන් දකින්න ආසා හැමදේම ඔයා ගාව තියනවා. මම අහන්න ආසා දේවල්ම ඔයා කියනවා. ඔයා එක්ක ඉන්න හැම තප්පරයකටම මං හරි ආසයි."

ලවන් මං ගැන මෙච්චර දේවල් එක දිගට කතා කරාමද කොහෙද. ඒ කියපු හැම වචනයක් ගානෙම මගෙ පපුව හිරිවැටෙනවා මට දැනුණා. එයා මං ගැන හිතන් ඉන්න විදිහ එහෙම කියද්දි...මට දරාගන්න බෑ.

"ලවන්..."

මට කියන්න දෙයක් හිතාගන්න බැරුව එයා දිහා බලලා කියද්දි එයා අල්ලන් හිටපු මගෙ අතේ එයාගෙ ඇඟිලි පටලගත්තා.

"ඔයා කැමතිද මෙතෙන්ට ආපු එක ගැන.."

"ඔව්...මම ගොඩක් ආසාවෙන් හිටියෙ මෙහෙම තැනකට එන්න."

"ඔයා කලින් ඇවිත් නැද්ද...?"

"ඇවිත් තියනවා...ඒත්- ඔයාට තේරෙනවනෙ."

"ම්ම්...ඔව්. මමත් මෙහෙම තැන් වලට ගිහින් ඇති ඒත්-"

ලවන් කියන්න ගිය එක සම්පූර්ණ කරන්න කලින් මහෙ ඇස් දෙක දිහා බැලුවා.

"ඒත් තමන් කැමති කෙනා එක්ක එහෙම තැනක ඉද්දි ඒක වෙනම ෆීලින් එකක්..."

එයා එහෙම කියද්දි මගෙ පපුව ගැහෙන වේගෙ වැඩිවෙනවා මට දැනුණා. තාම ඩිරෙක්ට්ලි මුකුත් කියලා නැති අපි මෙච්චර දවසක් අපෙ හැඟීම් හුවමාරු කරගත්තෙ ඔය වගේ සබ්ට්ල් දේවල් වලින්, පොඩි ඇක්ශන් වලින්.

ඒ වගේ දේවල් මගෙ හිතට ගොඩක් තදින් දැනුණා. තවමත් මගෙ ඇස් දෙක දිහාම බලාගෙන ඉන්න ලවන් හිමින් එයාගෙ මහපට ඇඟිල්ලෙන් මගෙ අත පිරිමදිනවා.

"මටත් දැනෙන්නෙ එහෙමමයි..."

මමත් එයා දිහා බලලා හිමින් කියද්දි එයා මගෙ ඇස් දෙක මඟෑරලා බිම බලාගත්තා. ඒත් ඒ තප්පරේට මම හොඳටම දැක්කා එයාගෙ ඇස් ගොඩක් සතුටින් නලියපු හැටි.

"විදුර්...ඔයා කැමතිද අපි අතරෙ මේ දේවල් වෙන විදිහට?"

"ඔව්...හදිසි වෙන්න ඕනෙ නෑනෙ කිසි දේකට."

මම කියපු එකට ලවන් හිනාවෙලා ඉස්සරහ බලාගෙන සීට් එකට ඔලුව හේත්තු කරගත්තා.

"ම්ම්...ඔව්. ඒත් සමහර වෙලාවට හදිසි නොවිත් බෑ."

"ඒ කිව්වෙ...?"

මම පුදුමෙන් වගේ අහද්දි ලවන් සීට් එකට ඔලුව තියාගෙනම මගෙ පැත්ත හැරුණා.

"ඔයා හිතන්නකො විදුර්...අපි කැමති අපි ආසා දේවල් ළඟ තියාගන්න. එහෙම කැමති දේවල් ළඟ තියෙද්දි, කැමති කෙනෙක් ළඟ ඉද්දි, ආසම මොහොතක් ගෙවෙද්දි අපි වෙලාව යනවට කැමති නෑ. මේ මොහොත හැමදාටම ළඟ තියාගන්න පුලුවන්නම් කියලා හිතෙනවා.හරියට...මේ දැන් මම ඔයා එක්ක ඉන්නවා වගේ."

"ම්ම්..."

"ඒත්...ඒක එහෙම වෙන්නෑනෙ. අපිට හැමදාම ඒ දේවල්, ඒ මොහොතවල් ළඟ තියාගන්න බෑ. ඒ වෙලාවට අමුතු වේදනාවක් දැනෙනවා. පුලුවන් ඉක්මනට ඒ හැමදේම ළඟට අරන් තියාගන්න තිබ්බනම් කියලා හිතෙනවා."

ලවන් අන්තිම ටික කිව්වෙ මගෙ ඇස් මඟෑරලා ඈත අහස බලාගෙන. එයා කියන එක ඇත්ත...අපි හැමෝම හැඟීම් දැනීම් තියන මිනිස්සුනෙ. ආසා දේවල් පුලුවන් ඉක්මනට ළං කරගෙන ළඟම තියාගන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්.

"ඒ අපි කාලෙ ගැන වද වුණොත්නෙ ලවන්..."

මමත් ඈත බලාගෙනම කියද්දි මම ඇස් කොනෙන් දැක්කා ලවන් මගෙ දිහා බලනවා.

"මම කියන්නෙ ලවන්...දැන් හිතන්න මං ගාව පොතක් තියනවා යාලුවෙක්ගෙන් ඉල්ලගත්ත කියලා. එයා කියනවා මට ඒක සතියක් ඇතුළත කියවලා දෙන්න කියලා. ඉතින් මම පුලුවන් ඉක්මනින්, කලබලෙන් පොත කියවලා ඉවර කරනවා සතියක් ඇතුළත. සමහරවිට මට පොත එන්ජෝයි කරන්නත් බැරිවෙන්න පුලුවන්."

ලවන් මුකුත් නොකියා අහගෙන ඉද්දි මම මල් පොකුර පැත්තකින් තියලා යන්තම් සීට් එකේ එයාගෙ පැත්තට හැරුණා. එතකොට එයත් කකුලක් නමලා සීට් එක උඩින් තියාගෙන මගෙ පැත්ත බලාගත්තා.

"ඒත් මෙහෙම හිතන්කො...එයා කියනවා ඔයාට ඕන තරම් කාලයක් ඕක ළඟ තියාගෙන කියවලා දෙන්න කියලා. එතකොට මට කිසිම පීඩනයක් නෑ. මම හෙමින්, මට පුලුවන් වෙලාවට පොත කියවලා දෙනවා. ඒ විදිහට මට පුලුවන් ඒක හොඳට එන්ජෝයි කරන්නත්. ඔයාට තේරෙනවද මම කියන එක?"

"ම්ම් මට තේරෙනවා..."

ලවන් මගෙ දිහා බලාගෙන කිව්වෙ ගොඩක් ආදරේ හිතෙන විදිහට.

"මම කියෙව්වෙ එකම පොත...ඒත් ඒක හරියට රස විඳින එක තීරණය වුණේ මම මට ඒක කියවන්න තියන කාලෙ ගැන වද වුණාද නැද්ද කියන එක උඩ."

"ඔයා කියන්නෙ...අපි ජීවිතේ ගැනත් එහෙම හිතන්න ඕනේ කියලද?"

"ඔව්...සමහරවිට...සමහර දේවල් වලට අපිට තියෙන්නෙ පොඩි කාලයක් වෙන්න පුලුවන්. ඒත් ඒ ගැන හිත හිත ඉන්න ගියොත් අපිට මේ මොහොතෙ ඒ ලස්සන විඳින්න බැරිවෙනවා ලවන්."

"...."

"කොහොමත් අපි කවුරුත් ඉන්න ඇවිල්ලා නෑනෙ...දවසක යන්න වෙනවා. ඒත් එදාට අපෙ මතකෙට එන්නෙ අපි ඒ විඳපු මොහොතෙ ලස්සන මිසක් අපි ඒ මොහොතෙ කොච්චර වෙලා හිටියද කියන එකවත්, ඒ මොහොත වෙනුවෙන් කොච්චර කාලයක් බලන් හිටියද කියන එකවත් නෙවෙයි. ඒ නිසා...අපි මේ මොහොත ගැන විතරක් හිතලා ඒක උපරිමේන් විඳිමු.  ඉස්සරහට වෙන දේවල් ගැන හිතන්න තාම කල් වැඩි."

මම ලවන්ගෙ ඇස් දෙක දිහා බලාගෙනම කියද්දි මම දැක්කා ඒවා දිලිසෙනවා. ලවන්...එයාගෙ ඇස් වල කඳුලුද?? අනේ...

"ලවන් ඇයි...?"

මම ටිකක් ඉස්සරහට වෙලා කලබලෙන් අහද්දි එයා මුකුත් නෑ කියන්න ඔලුව වනලා යන්තම් උඩ බලලා එයාගෙ කඳුලු හංගගත්තා.

"මට හිතාගන්න බෑ විදුර්...මම ඔයා ගැන ගත්ත තීරණේ හරි කියන්න ඔයා නිතරම මට ඔප්පු කරලා පෙන්නනවා."

ලවන් කියද්දි මම හිනාවෙලා සයිඩ් එකෙන් සීට් එකට හේත්තු වුණා. ඇත්තටම...මටත් දැනෙන්නෙ ඒ විදිහටමයි.

"ඒකත් එක අතකට පුදුමයි නේද...?"

මෙච්චර වෙලා එයාගෙ අතේ පැටලිලා තිබ්බ මගෙ අත එයාගෙ අත් දෙකම මැදට අරන් ලවන් ඇහුවා.

"මොකද්ද...?"

"අපි දෙන්නා මුලින් හම්බෙද්දි...මම ඔයා ගැන කිසිම දෙයක් දැනන් හිටියෙ නෑනෙ. ඔයත් එහෙමයි. ඒත් දැන් අපි කතා කරන් යද්දි අපිට තේරෙනවනෙ අනිත් කෙනා කොයි තරම අපෙ වයිබ් එකට මැච් වෙනවද කියලා."

"ම්ම්..."

"ඒත් ඒ කිසි දෙයක් නොදැන වුණත් පළවෙනි වතාවෙම අපිට විශේෂ හැඟීමක් දැනුණෙ...ඒක නිකන් යුනිවර්ස් එකෙන් දීපු සයින් එකක් වගේ."

"ඔයාට පළවෙනි වතාවෙ මං ගැන එහෙම දෙයක් හිතුනද?? අනේ මටනම් හිතුන්නෑ..."

මම අහක බලාගෙන හිනාවෙලා කිව්වා.

"අනේ ඔව් මට මතකයි...ජම්බු ගෙඩියකට හපන් මූණ. විනාඩියක් විතර ඇහි පිල්ලන් ගහන්නෙත් නැතුව මගෙ දිහා බලන් ඉඳලා දැන් කියනවා මුකුත් හිතුන්නෑලු."

ලවන් මගෙ දිහාට ටිකක් ළං වෙලා කින්ඩියට වගේ කියද්දි මම කට ඇද කරගත්තා.

"මොන ජම්බුවක්ද?? අනේ මේ ඒ ඇවිල්ලා මගෙ සාමාන්‍ය පාට...හහ්?"

"ම්ම්...රෝස පාට සාමාන්‍ය පාට වුණ මිනිස්සුත් ඉන්නවද?"

"මොන රෝස පාටක්ද?? මම රෝස පාට වුණේ නෑ!!"

"මොකද නැත්තෙ?? මේ කම්මුල්-"

ලවන් එහෙම කියන ගමන් මගෙ කම්මුලින් අතක් තිබ්බ ගමන්ම මම ගැස්සිලා ඇස් දෙක පියාගත්තා. අපි දෙන්නා ඒ වෙද්දි හිටියෙ සම්පූර්ණෙන්ම වගේ අනිත් කෙනා දිහාට හැරිලා ගොඩක් ළං වෙලා. එයාගෙ ටච් එක මගෙ කම්මුලින් දැනෙනවත් එක්කම මට අමුතුම ෆීලින් එකක් දැනුණා.

මීට කලින් ලවන් යන්තම් මගෙ කම්මුල් අල්ලලා තියනවා තමා ඒත් මේ තරම් ළඟින්...මුලු අතින්ම එයා මගෙ කම්මුල කප් කරන් ඉද්දි මට නිකන් ඉලෙක්ටික් ශොක් එකක් මගෙ ඇඟ පුරාම යනවා වගේ දැනුණා. ඒ ෆීලින් එක මොකක් වුණත්...මම ඒකට ගොඩක් ආසා වුණා.

මට ඒ හැඟීම තවත් විඳින්න ඕනෙ කියලා හිතෙද්දි මම තවත් ලවන් පැත්තට ඇදිලා ගියා. එයා තාමත් හිටියෙ කලින් විදිහටම මගෙ කම්මුල අල්ලගෙන ඒක යන්තම් පිරිමදින ගමන්. මම හිටියෙ ඇස් දෙක පියාගෙන වුණත් මට දැනුණා එයා මුලු වෙලාවම හිටියෙ මගෙ දිහා බලාගෙන කියලා.

ලවන්ගෙ නළලෙ කෙස් මගෙ නළලෙ ගෑවෙන තරමටම එයා මට ළං වුණා. මට පොඩ්ඩක්වත් ඒ මොහොත නවත්තන්න ඕනෙ වුණේ නෑ. මට දැනුණා එයාගෙ හුස්ම මගෙ තොල් වල වදිනවා. ලවන් මගෙ පැත්තට තව ටිකක් බර වෙනවත් එක්කම-

Beep beep!!

එක පාරට ලවන්ගෙ ෆෝන් එක රින්ග් වුණ සද්දෙට මම ඉක්මනට එයාගෙන් ඈත් වෙලා සීට් එකේ හරියට ඉඳගත්තා. දෙයියනේ ඒ මොකක්ද වුණේ?? මට නිකන් පිස්සු වගේ...එක පාරට මුකුත් ප්‍රොසෙස් කරගන්න බැරුව තප්පරයක් විතර බලන් හිටපු ලවන් ආයෙම හරි සිහියට ඇවිත් ෆෝන් එක ආන්ස්වර් කරා. එහාපැත්තෙ කියන දේත් මට ඇහෙනවා.

"ඒ මං ගෙදර ආවා ඇහ්..."

කටහඬ ඇහෙද්දිම මට හිනායන්න ආවා. ලවන්ට පෙම් කෙලින්න ඕන වුණ නිසා එයාගෙ ආදරණීය මිත්‍රයා සිතුම්යට සිද්ධ වුණා පික්මී එකක යන්න. ගිහාම කෝල් එකක් දෙන්න යැයි යැයි ගෑවනේ දැන් ඉතින් උත්තර දෙන එකයි ඇත්තේ.

ලවන් ඒකට මුකුත් කිව්වෙ නෑ. එයා තාම වේගෙන් හුස්ම ගන්න ගමන් ෆෝන් එක කනේ තියන් ඉන්න විදිහ දැකලා මට ආයෙම හිනා යන්න ඇවිත් අහක බලාගත්තා.

"ඕයි...කතාකරපන්."

"ගෙදර ගියානම් පරිස්සමින් ඉඳපන්...මම ඇවිත් දෙකක් ඇනලා දිව්‍යලෝකෙ යවන්නම්."

හපොයි විදුර් උඹ කැමති එකා හිතනවට වඩා කලහකාරීනේ...ඒකටනම් මට හිනාව නවත්තගන්න බැරිවුණා. යන්තම් ඔලුව හරවපු ලවන් මගෙ ඇස් දිහා නොබලා ආයෙම ඉස්සරහ බලාගත්තා.

"ඔහ්...වැරදි වෙලාවකද ගත්තෙ? සොරි ඉතින් කවුද දන්නෙ?"

"දැන් ඉතින් උඹෙ සොරි තියන් නටපන්..."

"උඹමනෙ කිව්වෙ ගිහින් කියපන් කියලා. හරි හරි මේන් මං තිබ්බා ඈ..."

ලවන් කෝල් එක කට් කරලා ෆෝන් එක පැත්තකින් තියලා ඉස්සරහ බලාගෙනම හිටියා. ඒනම් තරහට නෙවේ ලැජ්ජාවට කියලා මට තේරෙනවා...මටත් පොඩි ලැජ්ජාවක් ආවා ඉතින්. හිමින් යන් කියලා ලොකුවට කියවලා දෙන්නම පොඩ්ඩක් ඉක්මන් වුණාද මන්දා.

බැක් ටු නෝර්මල් වෙනකන් අපි දෙන්නා විනාඩියක් විතර එහෙම හිටියා. මම ආයෙ ලවන් දිහා බැලුවෙ එයා ආයෙම පොඩි බයකින් වගේ මගෙ අත අල්ලගද්දි. මමත් එයාගෙ ඇඟිලි අතරින් ඇඟිලි යවද්දි ලවන් මගෙ දිහා බලලා හිනාවුණා.

"අපි ටිකක් එළියට යමුද...?"

"බොනට් එකට?"

"ම්ම්..."

ඇත්තටම ඒකත් මම ආසාවෙන්ම හිටපු දෙයක් තමා...පොඩි ප්‍රශ්නයක් තියනවා හැබැයි.

"ලවන්...පොඩ්ඩක් වැස්සා නේද? ඉඳගන්න පුලුවන් මට්ටමක ඇද්ද?"

මෙහෙමයි ලොකුවට වැස්සෙ නෑ පොඩි පින්නක් තිබ්බෙ. ඒත් ඒ විදිහට ගෙදර යන්න බෑනෙ. මම කියද්දි තමා ලවන්ටත් ඒක මීටර් වුණේ.

"ඕහ්...ඔව්නෙ. ඔහොම ඉන්න."

මට කියපු ලවන් ටිශූ බොක්ස් එකත් අරන් කාර් එකේ දොර ඇරියා.

"ඔහොම ඉන්න මාත් එන්නම්..."

"එපා එපා ඔයා ඉන්න..."

""නෑ එන්නම්-"

මමත් දොර ඇරගෙන බහින්න ගියා විතරයි...මේන් ඒ ටිකට ලොක් කරලා. මම රවද්දි ලවන් කාර් එක ඉස්සරහට ඇවිත් මට ඇහැක් ගහලා බොනට් එකට වැටිලා තිබ්බ වතුර විනාඩි දෙකක් විතර අරන් පිහදැම්මා.

ඊට පස්සෙ ආයෙම ඩ්‍රයිවින් සීට් එක ගාවට ඇවිත් දොර ඇරලා ටිශූ බොක්ස් එකත් තියලා අත් දෙක ක්ලීන් කරගත්තා. මම ඒ වෙලේ බහින්න හැදූවත් ආයෙම මේ මනුස්සයා කෑගැහුවා.

"හෝව්...! ඉන්න ඔහොම."

මොන පිස්සුවක් හැදිලද මේ?? අත් දෙක ක්ලීන් කරගත්ත ලවන් පැසෙන්ජර් සීට් එක පැත්තට ඇවිත් එයාම දොර ඇරලා මට බහින්න අත දුන්නා. ඕහ්...මට දැන් තේරුණේ. ප්‍රින්සස් ට්‍රීට්මන්ට්ද මට දැන්ම ඉඳන්ම.

කොහොම වුණත් එයා ඒ අත මගෙ දිහාට දුන්නු විදිහට මගෙ පපුව වේගෙන් ගැහෙනවා මට දැනුණා.

"ලවන්...මොකෝ මේ?"

මම ඇහුවෙ පුලුවන් තරම් සාමාන්‍ය විදිහට.

"ඇයි ඔයා කිව්වෙ ෆික්ෂනල් අයට කැමති කියලනෙ...එයාලා මෙහෙම නෙවෙයිද පාර්ට්නර්ට සලකන්නෙ?"

ලවන් මගෙ ඇස් දෙක දිහා බලාගෙන සන්සුන්ව අහද්දි මට දැනුණා ආයෙමත් මගෙ බඩේ සමනල්ලු තටු ගහනවා. අනේ මට මෙච්චර ආදරේ කරන්න හේතු දෙන්න එපා ලවන්... මම ඒ වගේ පොඩි දේවල් වලට හරි ආසයි.

මම ලවන් දිහා බලාගෙනම අත අල්ලන් කාර් එකෙන් බහිද්දි එයා කාර් එකේ දොර වහලා මාව බොනට් එක ගාවට එක්කන් ගියා. මාව උස්සලා බොනට් එක උඩින් තිබ්බ ලවන් මගෙ කම්මුලට පොඩි තට්ටුවක් දාලා ආයෙම කාර් එක පැත්තට ගියා.

"කොහෙද යන්නෙ...?"

"ඉන්න පොඩ්ඩක්..."

ලවන් කාර් එකේ දොර අරිනවා මට ඇහුනත් මම ඒ පැත්ත බැලුවෙ නෑ. මොකද මට දැන් පේන දේ ඇස් අහකට ගන්න බැරි තරම්ම ලස්සන නිසා. ලවන් කිව්වා වගේම...මේ වීව් එක අනන්ත දැකලා තිබ්බත් අද මට ඒක විශේෂ හැඟීමක් විදිහට දැනුණා. ආදරේ කරද්දි එහෙම වෙන්න ඇති.

මම අත් දෙක පිටිපස්සෙන් තියලා ඇඟත් ඒ පැත්තට බර කරගෙන ඈතින් එන හුළඟට මූණ අල්ලන් ඉද්දි ලවනුත් ඇවිත් බොනට් එක උඩින් ඉඳගන්නවා මට දැනුණා.

"විදුර්..."

"ම්ම්..."

මම එයා කතා කරන්නෙ ඇයි බලන්න ඇස් අරිද්දි...එයා ඇවිත් හිටියෙ මගෙ ගිටාර් එකත් එක්ක. මම පුදුමෙන් වගේ බැලුවම ලවන් ගිටාර් එක මගෙ අතට දුන්නා.

"තව සින්දුවක් කියන්නකො විදුර්...ඔයා කලින් කිව්වෙ හැමෝම ඉස්සරහනෙ. දැන් මට විතරක් ඇහෙන්න..."

ලවන් මගෙ ඇස් දෙක දිහා බලාගෙන හිමින් කියද්දි මම එයා දිහා බලාගෙනම ගිටාර් එක අතට ගත්තා. මේ හැම පොඩි මොහොතකටම මං ගොඩක් ආසයි...කවදාහරි ආදරේ කරනවනම් මට විඳින්න ඕනෙ කියලා හිතේ තිබ්බ ලිස්ට් ඒකේ උඩින්ම තිබ්බ එකක් මේක. මං හිතන්නෙ ලවන්ටත් එහෙම වෙන්න ඇති...එච්චර ආසාවෙන් ගිටාර් එක අරන් ආවෙ ඒකයි.

රෑ වෙලා මේ වගේ ලස්සන තැනකට ඇවිත්, ගිටාර් එක ගහන ගමන් එයත් එක්ක සින්ග් කරන්න...එයත් එක්ක ආදරෙන් ඉන්න මම කොච්චර ආසා වුණාද? මම ඒ කිසිම දෙයක් නොකියා වුණත් ලවන් මගෙ හිතේ තියන දේවල් ඒ විදිහටම කරද්දි මගෙ හිත මටත් නොදැනිම තව තව එයාට බැඳුනා.

මම හැමදාම හිතුවෙ ලස්සන ආදර කතා තියෙන්නෙ පොත් වල පිටු අස්සෙ විතරයි කියලා. කවමදාවත් ඒ ෆික්ෂනල් කැරැක්ටර්ස් වලට වගේ ලස්සන ආදරයක් විඳින්න බැරිවෙයි කියලා හිතුවෙ.

ඒත් මේ හිටපු දවස් ගාණට...මම හීන මවපු විදිහෙම ආදරයක් ලවන් නිසා මට දැනුණා. සමහරවිට එයා හරි ඇති...ඒක අපි දෙන්නටම යුනිවර්ස් එකෙන් ලැබුණු සයින් එකක් වෙන්න ඇති. මම හොයන විදිහෙ ආදරයක් දෙන්න පුලුවන් එයාටම විතරයි කියලා තේරුම් ගන්න මට මේ වෙද්දි ඕනවටත් වඩා හේතු තිබුණා.

"මොකද්ද කියන්නෙ..."

පපුව හිරිවැටෙන හැඟීමත් එක්ක ඇස් අග නලියපු කඳුලු හංගන් මම ඇහුවා.

"ඔයා කැමති එකක්..."

ලවන් මගෙ අත අල්ලලා කිව්වෙ ගොඩක් ආදරේ හිතෙන විදිහට.

"ම්ම්...ඉන්නකො එහෙනම්. ඔයා පටන් ගන්නවද? අපි දෙන්නම කියමු."

"ම්ම්..."

ලවන් කිව්වෙ එයාගෙ ඇස් දෙක සතුටින් දිලිසෙද්දි. මම ප්ලේ කරන්න පටන් ගද්දිත් මගෙ දිහාම බලාගෙන හිටපු ලවන් සින්ග් කරද්දි ඇස් දෙක පියාගත්තා.

හුස්මේ සැමදා රැදුණා

සඳනාරී උපමා මැවුණා

වැස්සේ සිතුසේ තෙමුණා

කිඳුරාවී මනසේ ඇඳුණා

ලවන්ගෙ වොයිස් එකේ ඇත්තටම තියෙන්නෙ හරි සන්සුන් ගතියක්. අපි සෝන්ග් එකත් එක්ක මොන ෆීලින් එකේ හිටියත් ඒ හැඟීම උපරිමේට ගේන්න පුලුවන් විදිහෙ හටහඬක්.

ඉතිරි ටික කියන්න එයා ඇස් දෙක් අරිද්දි මමත් එයාට හවුල් වුණා.

නෙතු යාවී බැඳීලා සදා

හීන ගානේ රැයේහී පවා

සඳ සේයා වතේහී මවා

පිණි සීතේ දැනේවී කතා

ඒ ටික කියනවත් එක්කම ඒ වචනයක් ගානෙ මගෙ පපුවට දැනුණ නිසා මම බිම බලාගත්තා. සමහර වෙලාවට ලවන්ගෙ ඇස් දෙකේ තියන් හැඟීම් දරාගන්න බැරි තරම් බරයි.

සුසුම් අංශු පාසා

සුපෙම්වන්ත ආශා

රෑක මඳනල ගවසා

හැඟුම් රංචු වීලා

රැයේ පින්න පීරා

මීන ඇසිපිය සලලා

මම සින්ග් කරද්දි ලස්සනට හිනාවෙලා බලාගෙන හිටපු ලවන් ඉතිරි ටික සින්ග් කරනකනුත් මගෙ ඇස් වලින් ඇස් අහකට ගත්තෙ නෑ.

සිතේ හැඟුම කොඳුරා

සදා මටම ලැබෙනා නාරී

සදා මාගේ වීලා

නෙතු යාවී බැඳීලා සදා

හීන ගානේ රැයේහී පවා

සඳ සේයා වතේහී මවා

පිණි සීතේ දැනේවී කතා

මොකක්හරි හේතුවකට මගෙ ඇස් වල කඳුලු පිරෙනවා මට දැනුණ නිසා මම යන්තම් ඔලුව ඉස්සුවෙ කඳුලු වේලෙන්න. මම දන්නෑ ඇයි කියලා...මේ මොහොත ගැන සතුටට, එයාගෙ ආදරේ ඒ වචනයක් ගානෙ දැනෙන එකට. ඒත් මට හරි උත්තයක් හිතන්න කලින්ම මට දැනුණා ලවන් එයාගෙ ඇඟිලි තුඩු දැනෙන්න නොදැනෙන්න මගෙ කම්මුලින් තියනවා.

රැදී ඉන්න මා හා

සුපෙම් බැල්ම පාලා

සේද රතඳර මුමුණා

රැයේ නින්දෙ පායා

මවා දුන්නු සේයා

දෑත සසරෙම අමුණා

සිතේ හැඟුම කොඳුරා

සදා මටම ලැබෙනා නාරී

සදා මාගේ වීලා

ලවන් ඉතිරි ටික කිව්වෙ ඇහිපිල්ලම් එක්ක පොර බඳින මගෙ කඳුලු එයාගෙ ඇඟිලි තුඩු වලින් පිහදාන ගමන්. පුලුවන් තරම් සාමාන්‍ය වුණු මම සින්දුව කියාගෙන යද්දි ලවන් අනිත් හැම වෙලාවකම වගේ ආදරේ හිතෙන විදිහට මගෙ දිහා බලන් හිටියා.

නෙතු යාවී බැඳීලා සදා

හීන ගානේ රැයේහී පවා

සඳ සේයා වතේහී මවා

පිණි සීතේ දැනේවී කතා

හුස්මේ සැමදා රැදුණා

සඳනාරී උපමා මැවුණා

වැස්සේ සිතුසේ තෙමුණා

කිඳුරාවී මනසේ ඇඳුණා

නෙතු යාවී බැඳීලා සදා

හීන ගානේ රැයේහී පවා

සඳ සේයා වතේහී මවා

පිණි සීතේ දැනේවී කතා

සින්දුව ඉවර කරේ අපි දෙන්නම. ඒ වෙලාවෙ ඉඳන්...ලවන් මගෙ එක අතක් එයාගෙ අතකට මැදි කරගන්නකන්ම, මම ගිටාර් එක අයිනෙන් තියලා එයා ගාවට ළං වෙනකන්ම අපෙ ඇස් අතර වුණ කතාව නැවතිලා තිබ්බෙ නෑ. වෙනදා වගේම වචන වලින් නැතත් අපි දෙන්නට අපි දෙන්නගෙ හැඟීම් දැනුණා.

"විදුර්...මම- මම ටිකක් ඔයාව මගෙ ළඟට ගත්තට කමක් නැද්ද?"

ලවන් අවසර ඉල්ලන කටහඬකින් අහද්දි මම දෙපාරක් නොහිතා එයා ගාවට ගිහින් එයාගෙ ඉන වටේ අත දාලා එයාට ළංවුණා.

එයත් මගෙ උරහිස වටේ අත් යවලා මාව ළං කරගෙන මාව තදින්ම පපුවට තුරුල් කරගත්තා. මට ඒ මොහොතෙම උණුහුමක්, සතුටක්, ආදරයක් කියන මේ හැමදේම දැනුණා. මම වගේම ලවනුත් ලොකු හුස්මක් පහළ දැම්මෙ අපි ඒ හග් එකේ තිබ්බ සැනසීම අපි දෙන්නටම දැනුණ නිසා.

මම ඒ විදිහටම යන්තම් ඔලුව උස්සලා ලවන් දිහා බලද්දි එයා බර බැල්මකින් මගෙ දිහා බලන් හිටියා. පළවෙනි දවසෙ වගේම...ඒ අලු පාට ඇස් දෙක තාමත් මාව පිස්සු වට්ටනවා.

මත්වෙලා වගේ එයාගෙ ඇස් දෙක දිහා බලන් හිටපු මම මගෙ ඇස් පියාගත්තෙ එයා මගෙ නිකටින් අත තියලා මගෙ දිහාට ළං වුණ නිසා.

මම හිතන්නත් කලින් එයාගෙ තොල් මගෙ නළල උඩ නතර වුණා. ලවන් මට දීපු පළවෙනි හාදුව...මට ඒ මොහොතත් එයා එක්ක අනිත් හැම මතකයක් වගේම ලස්සනට හිතේ කොනක තැන්පත් වුණා. මගෙ ඇඟ විතරක් නෙවෙයි සෝල් එකම මගෙ නළලෙ රැඳුණු ලවන්ගෙ තොල් වලට අවනත වෙනවා කියලා මට දැනුණා.

එක අතකින් මගෙ උරහිස පිරිමදින ගමන් අනිත් අතින් මාව තද කරලා බදාගෙන ඉන්න ලවන් දිහාවට මම තව ටිකක් කිට්ටු වුණා. එයා මගෙ දිහා බලලා එයාගෙ නළල මගෙ නළලින් තියාගන්නවත් එක්කම වගේ මම එයාගෙ කම්මුලින් හාද්දක් තිබ්බා.

මගෙ දිහා ආයෙමත් ආදරේ හිතෙන විදිහට බලපු ලවන් යන්තම් හිනාවෙලා මාව එයාගෙ අත් දෙක අස්සට ගත්තා.

එයා ගාව සනීපයි...මම බලාපොරොත්තු වුණේම එහෙම නිවෙන්න පුලුවන් ආදරයක්, එක හග් එක්කින් වුණත් හැමදේම අමතක කරලා එයාවම විතරක් දැනෙන ආදරයක්. හිතට දැනෙන දේ බර වැඩි වෙද්දි මම තවත් ලවන්ට ළං වෙලා එයාට තුරුල් වුණා.

මට ලෝබ හිතුණා...ලවන් කිව්වා හරි. සමහර තැන් වලදි වෙලාව නවත්තලා ඒ මොහොතෙ හැමවෙලේම ජීවිත් වෙන්න හිතෙනවා. හරියට මේ දැන් වගේ...

මගෙ වටේ එතුන ලවන්ගෙ අත් දෙක, සැරින් සැරේ මගෙ කෙස් අතරින් දැනෙන පොඩි පොඩි හාදුත් එක්ක මම තවත් තදින් එයාව බදාගෙන ඇස් දෙක පියාගත්තා.

-----------

නාරී කියන්නෙ කෙල්ලන්ට තමා ඒත් ඒක හිතන්න එපා සින්දුවේ මීනින් එක හිතන්නකො 😮‍💨

අනිත් එක මම මේ කැෆේ හෙවන්වුඩ් කියලා කටට ආපු නමක් කිව්වට මවාගෙන ඉන්නෙ ඇත්තටම බහිරව කන්ද පාරෙ තියන කැෆේ එකක්. ඒකෙ වීව් එක මම විස්තර කරා වගේමයි. M අකුරෙන් පටන් ගන්න එක්තරා කැෆේ එකක්.. සර්ච් කරලා බලන්නකො ඕන්නම් 😁 sakuraDS දන්නවනෙ කැෆේ එක අන්නේක තමා. 😮‍💨

පුලුවන්නම් මේ වෙනකන් කතාව ගැන අදහසක් කොටාන යන්න 🥲 මොකද හිතෙන්නෙ කියලා.

මොකද ඊළඟ චැප්ටරෙන් මෙගා මෙව්වා එකක් එළියට දාන්න යන්නෙ. 😁 ඒ නිසා මේ වෙනකන් හිතන දේ දැනගන්න ඕනෙ.