Back
/ 107
Chapter 92

91 කොටස🤍✨️

නිවාලන්න මා...

"ආශව,ඒලෙවල්ස් වලට මේ කාලෙදි හරි ෆෝකස් කරන්න පුතා....ක්‍රිකට් ගහනවා වගේම ඉගෙනීම පැත්තෙනුත් ඉස්සරහට යන්න ඕනි"

"ඕකේ මෑ'ම්"

"හරි.....තව මාසතුනයි තියෙන්නෙ විභාගෙට....කොහොමත් උපරිම තව සතියක් එයි ඔයාලා ඉස්කෝලෙ....ඊටපස්සෙ ඉතින් ටියුෂන් දුවනවනෙ....කොහොමහරි විභාගෙ ගොඩ දාගන්න එකයි මටනම් ඕනි ඕගොල්ලො....හරි....මේ ටාගට් පේපර්ස් ටික අනිවාර්යයෙන්ම කරන්න බලන්න....දෙනෙත්,ලකුණු හොදටම හොදයි...යාලුවන්ටත් උදව් කරන්න ඔයා....ආශව,ගියපාරට වඩා මේ පාර ලකුණු සෑහෙන්න බැහැලා.....මෙහෙම ගියොත් සී තුනකින් නවතින්න තමා වෙන්නෙ දරුවො"

"එක්ස්කියුස් මී මෑ'ම්"

"ආහ්....නේත්‍ර පුතා එන්න"

දොරකඩ ලඟ උන්නු නේත්‍රට ඇතුලට කතා කරපු ගුරුතුමී නේත්‍ර දිහා බලාගෙන ඉද්දි නේත්‍ර හෙමින් සීරුවෙ පන්තිය ඇතුලට ආවෙ ගුරුතුමීගෙ ඇස් වලට අමතරව තව ඇස් දෙකක තියුණු බැල්මක් තමන් ලඟ තියෙන බව දැන දැනමයි.උසස්පෙල පන්ති සඳහා කරපු විශේෂ දැනුම්දීම් වගයක මුද්‍රිත පිටපත ගුරුතුමීගෙ අතට භාර දුන්නු නේත්‍ර එතනම හිටියෙ ගුරුතුමී පන්ති වාර්ථා පොත සම්පූර්ණ කරලා දෙනකං ඉන්න කියලා හදිසියෙ කල ඉල්ලීම නිසා.

"මේ ලමය දිහා කන්න වගේ බලාගෙන මොකද අයියලා ටික? ඔය දුන්නු ප්‍රශ්න ටිකට උත්තර ලියනවා!!!!!"

පන්තියෙ කොල්ලන්ගෙන් කීප දෙනෙක්ම නේත්‍ර දිහා බලන් ඉන්න වග දැක්ක ගුරුතුමී කෑ ගහද්දි නේත්‍රට ඇහැක් ගැහුව ආශව එහෙම්මම පොත අස්සෙ මූණ ඔබාගත්තා.පන්තියෙ උන්නු අනික් කොල්ලො නේත්‍ර දිහා බැලුවෙ අනවශ්‍ය හැඟීමක් නිසා නෙවෙයි කොහොමත් නේත්‍ර දිහා බැලවෙන නිසා කියලා ආශවත් දැන් ටික ටික තේරුම් ගන්න ගමන් හිටියා.නේත්‍රට තියෙන රූපෙ,හැසිරීම එක්ක නේත්‍ර සමාජෙට වැටෙන්න වැටෙන්න නේත්‍ර දිහාට ඇස් හැරෙන එක සාමාන්‍ය බවත් තමන් කරන්න ඕනි ඒවට කේන්ති ගන්න එක නෙවෙයි,අනවශ්‍ය බලපෑම් වලින් නේත්‍රව රැකගන්න එක සහ නේත්‍රට රැකෙන්න කියලා දෙන එක කියලත් ආශව දැන් දැන් තේරුම් ගනිමින් හිටියා.

ගුරුතුමී පොත සම්පූර්ණ කරන ගමන් ඉද්දි නේත්‍ර හෙමින් සැරේ ඇස් දෙක උස්සලා බැලුවෙ ආශව දිහා.මේ දවස් වල තියෙන අධික රස්නෙ නිසාත්,ඉන්නෙ පන්තිය ඇතුලෙ වීම නිසත් ආශව තමන්ගෙ කමිසෙ උඩ බොත්තම ගලවලා දැම්ම එකෙන් වෙලා තිබ්බෙ ආශවගෙ උගුරු දණ්ඩ නිරාවරණය වුණු එක.කොහොමත් ආශවගෙ උගුරු දණ්ඩට හරියට ඇළුම් කෙරුව නේත්‍රගෙ පිට දිගේ හිරියක් ගියේ ඊයෙ සුදුබේබි නිදි අතරෙ තමන් සුදුබේබිගෙ උගුරුදණ්ඩ උඩින් ඇඟිල්ලක් ඇඳන් ගිය හැටි මතක් වෙලා.ඒත් එක්කම ආශව ඔලුව උස්සලා නේත්‍ර දිහා බලලා ඇහිබැමක් උඩ දාද්දි පුංචි එකාගෙ කම්මුල් දෙක රතු පාට වෙලා ගියා.ඒත් එක්කම ආශව කරපු තව දෙයක් නිසා නේත්‍රගෙ ඇස් ලොකු වෙලා කන් දෙක පවා රතු වෙන්න ගත්තා.

"පොඩි එකාව අවුස්සන්නෙ නැතුව ඉන්නවා ආශව!තව ටිකකින් නේත්‍ර බබා තක්කාලි ගෙඩියක් වෙලා පිපිරෙයි"

"මම මුකුත් කලේ නෑ ඕයි....බලපං! මෙතන ඉන්න මම මොකක් හරි කරන්නෙ කොහොමද?"

"ඔය උගුරුදණ්ඩ හොලවන්නෙ නැතුව ඉදපං! අතන පොඩි එකා දියවෙනව....උබ ලබ්බ නටෝනවා"

"කවුද බබා ලබ්බ නැටෙව්වෙ?"

"තමුසෙත් මගෙන් ඊයෙ කෑවා වගේ පස්ස රත් වෙන්න පාරක් නොකා ඕකට උත්තර ලියනවා!"

"ඒයියා දෙවින්...උඹ දෙනෙත්ගෙන් ගුටිත් කනවද?"

දෙනෙත්ගෙ තර්ජනේ එක්ක දෙවින් ආයෙමත් උත්තර ලියන්න ගනිද්දි ආශවත් නේත්‍ර දිහා බලලා හිනාවෙලා උගුරුදණ්ඩ නටෝන එක නැවැත්තුවා.අත් දෙකත් පිටිපස්සට බැඳගෙන ගුරුතුමී ලියන දිහාවට ඇස් දෙක යොමාගෙන උන්නු නේත්‍ර කොච්චර ලස්සනද කියලා කල්පනා කරන්න ගත්තු පිටිමපස්සෙ පේලියෙ උන්නු ආශව කම්මුලකටත් අතක් ගහගෙන නේත්‍ර දිහා බලාගෙන මනෝ ලෝකෙක සැරිසරන්න ගද්දි ඔය මුකුත් නොදන්න පුංචි එකා හිටිය විදියටම හිටියා.

"හම්මේ මේකගෙ ලස්සන"

සුදුපාට නිල ඇදුමට ගාණට ගැලපුණු කිරිපාට හම එක්ක නේත්‍රව ඇත්තටම පෙනුනෙ හරි පිංවන්ත සංවර පාටට.හුඟක් වෙලාවට ආශව නේත්‍රට ලා පාට ඇඳුම් අරං දෙන්න හේතුව උනෙත් ඒක.තදපාට ඇඳුම් වලින් නේත්‍රගෙ ලස්සන කැපිලා පෙනෙද්දි ලා පාට ඇඳුම් වලින් නේත්‍රගෙ පිංවන්ත සන්සුන් බව කැපිලා පෙනුනා.ඔය දෙවිදියටම ආදරේ කෙරුව ආශව හුගක්ම ආසා උනේ නේත්‍රගෙ සන්සුන් බවට වෙද්දි නේත්‍රත් ආසා උනේ ලා පාට ඇඳුම් වලටම උනා.

"මේ ආශව...."

පන්තියෙ උන්නු කොල්ලෙක් ආශව දිහාවට හැරිලා රහසෙන් කතා කරද්දි ආශව ඇහිබැමක් උස්සලා ඒ කොල්ලගෙන් ඇයි කියලා ඇහුවා.

"උඹලගෙ මල්ලිට කෙල්ලෙක් ඉන්නවද?"

"කොයි මල්ලිද?"

"නේත්‍ර බං....ඔය ඉන්නෙ"

"ආ...ඔව්....අපේ මල්ලිනෙ"

මල්ලි කෙනෙක් ගැන කියද්දි කරකෝලා අතෑරියා වගේ උනු ආශවට ඒත් එක්කම ඉස්කෝලෙ හුඟක් ලමයි හිතන් ඉන්න විදිය මතක් වෙනවත් එක්කම ඔලුව වනලා උත්තර දුන්නා.

"නැද්ද?"

"ඉන්නවා.....ඇයි?"

"ඒ සිරාවටම කෙල්ලෙක් ඉන්නවද?"

"ඔව් බං....එයාට අෆෙයා එකක් තියෙනවා ඇයි?"

"නෑ නෑ නිකං.....කොල්ලා ලස්සන නිසා නැති වෙන්න බෑනෙ ඉතින්....ඒකයි ඇහුවෙ"

"ආහ්"

කොල්ලා ඉස්සරහ බලාගනිද්දි හිනාව කාගෙන උන්නු දෙවින් ආශවගෙ පැත්තට හැරුණා.

"ඉන්නවද ඉතින්?"

"කවුද?"

"කෙල්ලෙක්?"

"අනේ මේ!"

දෙවින්ට ගැස්සුව ආශව පොත අස්සෙ මූණ ඔබාගනිද්දි ඊලගට ආශවගෙ කන ලගට පාත් උනේ ආශවව අවුස්සන්න හිතාගත්ත දෙනෙත්.

"කෙල්ලව පෙන්නන්න කිව්වොත් තමා වැඩේ"

"ඉතින් පෙන්නනවා"

"ආ ඔව්....උපාධ්‍යාව ශේප් කරගෙන ෆොටෝ එකක් පෙන්නන්න පුළුවන් වෙයිනේහ්"

"අනේ මේ දෙනෙත්!!!"

"මොකද?"

"මම පුංචි අම්මගෙ ඔසරියක් ඇඳන් ෆොටෝ එකක් ගහලා පෙන්නන්නම් එහෙම උනොත්!! උඹ පැහෙන්නෙ නැතුව ඉදපං"

දෙනෙත්ට මැඳගිල්ල දික් කෙරුව ආශව කුටු කුටු ගාලා කියවද්දි ආශවගෙ කරුමෙටම නේත්‍ර එවෙලෙම ආශව දිහා බැලුවා.මැද්දෙ ඇඟිල්ලත් දික් කරගෙන රවාගෙන දෙනෙත්ටයි දෙවින්ටයි මොනාද කියෝන සුදුබේබිව දැක්ක ගමන් නේත්‍රගෙ ඇස් දෙක ලොකු වෙලා ගියා.නේත්‍ර තමන් දිහා බලන වග තේරුනු ආශව ඒත් එක්කම එක දෙක තුන හතර පෙන්නන ගමන් ඇඟිලි නවලා රඟපාද්දි සුදුබේබිගෙ සිඟිති වැඩ වලට තනියම හිනා වුණු නේත්‍ර ආයෙමත් බිම බලාගත්තා.

"ආ පුතා....මේකත් ඔය ගමන්ම ඔෆිස් එකෙන් තියං යන්නකො"

"හරි මෑ'ම්...මම යන්නම්"

ගුරුතුමීගෙන් අවසරේ ගත්තු නේත්‍ර හොරෙන් ආශව දිහත් එකපාරක් බලලා එලියට යද්දි පපුවෙ පැත්තක් අල්ලගත්තු ආශව එහෙම්මම දෙනෙත්ට හේත්තුව දැම්මා.

"ම්ම්ම්ම් ආශව....ආසයිද?"

"ම්ම්ම්ම්"

"ම්ම්ම්වාහ්හ්හ්"

"ඊයා හු#තො! ගහනවා මැරිලා වැටෙන්න!"

නේත්‍රගෙ සිහියෙන් හිටිය ආශව මුමුණද්දි දෙනෙත් ආශවට විහිලුවට අරගෙන තිබ්බා.දෙනෙත්ටත් හොද රැවිල්ලක් රැව්ව ආශව ආයෙමත් පොත අස්සෙ මූණ ඔබාගත්තෙ නේත්‍ර තමන්ගෙ පන්තියෙ හිටියනම් කොච්චර හොඳද කියලා හිතන ගමන්.

.

.

.

.

.

"ආ සුදුබේබි!"

"මේ මො.....දෙයියනේ මේ පේපර්ස් ගොඩ මොකද්ද?"

"සුදුබේබිට කරන්න!"

"කරන්න මෙච්චර? අනේ ඔයා මගෙ හොඳ නේත්...."

"මම හොඳයි තමා සුදුබේබි.....මෙව්වා දෙන්නෙත් සුදුබේබිට ආදරේ නිසා....."

".................."

"මට අද ඇහුනා මිස් කිව්ව දේවල් ටික.....සුදුබේබි මේ බලන්න,සුදුබේබිම දන්නවා සුදුබේබි කැම්පස් එකකට නොගියොත් එහෙම මහ මුදියන්සෙ සුදුබේබි ඒ ලෙවල් ඉවර උනු ගමන්ම බිස්නස් වැඩ වලට සුදුබේබිව ගන්නවා කියලා? එතකොට සුදුබේබිගෙ හීනෙ?"

"න්.....නේත්‍ර මං....."

"අහන්නකො මගෙ සුදුබේබි.....සුදුබේබිමයි කිව්වෙ කැම්පස් යන අවුරුදු හතර පහ ඇතුලත සුදුබේබිට නැෂනල් ටීම් එකට කොහොමහරි පැනගෙන සෙට්ල් වෙන්න පුළුවන් කියලා...එතකොට? සුදුබේබි සී තුනක් වගේ ගත්තොත් කොහෙ කැම්පස් යන්නද සුදුබේබි? ප්‍රයිවට් යන්න පුළුවන්...ඒත් අනිවාර්යයෙන්ම සුදුබේබිට සුදුබේබි බලාපොරොත්තු වෙන නිදහස ලැබෙන්නෙ නෑනෙ නේද? මොකද මහ මුදියන්සෙ කියයි බිස්නස් වකට ජොයින් වෙලා මහ මුදියන්සෙ දෙන සැලරි එකකින් හෝ මොකකින් හරි ප්‍රයිවට් ඩිග්‍රි එක කරන්න කියලා? එතකොට ක්‍රිකට් ගහන්නෙ කොහොමද? මේ මාස තුන මහන්සි වෙමු මගෙ සුදුබේබි....මගෙ සුදුබේබිට බැරි දෙයක් නෑනෙ"

"ඔයා ලඟ ඉන්නකං....."

"නේත්‍ර ලඟ ඉන්නම් සුදුබේබි.....මම ඉන්නවනෙ ලඟ හැමදාම.....මම ගිහින් උණු වතුර බෝතලේකට කෝපි හදාන එන්නම් දැන්....එතකං මගෙ සුදුබේබි මම මේ හැදුව ශෝට් නෝට් එක බලාගන්න....මම ආවට පස්සෙ ටයිමින් තියාගෙන පේපර්ස් කරන්න ගමු"

"හා නේත්‍ර.....එහෙම කරමු"

"හරි....අකවුන්ටින් වලටනම් ලකුණු අසූ ගාණක් තියෙනවා....බීඑස්,ඉකෝන් තමා ලකුණු නැත්තෙ....අපි ඒ දෙකට වැඩිපුර ෆෝකස් කරලා,අකවුන්ටින් වලට ටිකක් අඩුවෙන් ෆෝකස් කරමු....ඒක සුදුබේබිට පුලුවන් එකනෙ නේද?"

"සමාගම් ගාණෙ සමහර ගැලපිලි පැටලෙනවනෙ නේත්‍ර....ඒකෙන් ලකුණු අඩුවෙලා තියෙන්නෙ"

"එහෙනම් මෙහෙම කරමු.....සුදුබේබි ඉස්සෙල්ලාම අකවුන්ටින් පේපර් එකක් කරමු....ඒක කරලා ඉවර වෙලා,විනාඩි දහයක් පහලවක් බ්‍රේක් එකේ ඉදලා ඊලගට බීඑස් ඉකෝන් වලට බහිමු.....සුදුබේබි ඒ පේපර් එකක් කරනකං නේත්‍ර හොයාගන්නම් සුදුබේබිට පැටලෙන ගැලපිලි ටික....සුදුබේබි මෙච්චර කල් කරපු පේපර්ස් කොහෙද තියෙන්නෙ?"

"ඔය කබඩ් එකේ පහල නේත්‍ර....ඔයා දවසක් හදලා දුන්නු ෆයිල්ස් වලටම දාලා තිබ්බා මම....ස්කූල් පේපර්ස් වෙනමයි,ක්ලාස් එකේ ටාගට් පේපර්ස් වෙනමයි,ෆොබයිෆෝ පේපර්ස් වෙනමයි තියෙනවා"

"මම ඒවගෙනුත් බලල හොයාගන්නම් සුදුබේබි.....සුදුබේබි ඔය රෝසපාට නෝට් එක අරං බලාගන්නකො...ඒක අකවුන්ටින් ශෝට් නෝට් එක"

"හා නේත්‍ර....මම බලාගන්නම්"

"මම කෝපි ටිකක් හදාන එන්නම් සුදුබේබි"

නේත්‍රට ඔලුව වනපු ආශව එහෙම්මම රෝසපාට සටහන් පොත අරගෙන බලන්න ගනිද්දි ආශවගෙ ඔලුව අතගෑව නේත්‍ර පඩිපෙල පැත්තට දුවං යනවා ආශවට ඇහුණා.කිසි මිනිහෙක්ගෙ වචනෙකට නැවෙන්නෙ නැති ආශව නේත්‍ර කියන එක වචනෙටත් කීකරු වෙලා ඉන්න හැටි කෙනෙක් දැක්කොත් මිසක් ලේසියකින් පිලිගන්න එකක්නම් නැහැ.ටික වෙලාවකට පස්සෙ ලොකු උණුවතුර බෝතලේකුත් උස්සගෙන ආව තමන්ගෙ පුංචි එකා ඇඳන් උන්නු ලොකු කමිසෙ උස්සලා යටට ඇඳන් උන්නු කොට කලිසම් සාක්කුව අස්සෙන් එලියට ගත්තු බිස්කට් පැකට්ටුවත් කෝපි බෝතලේ ලගින්ම තිබ්බා.

"අතේ අරං එන්න ඉඩ නැති නිසා සාක්කුවෙ දාං ආවා සුදුබේබි.....දැන් එහෙනම් පටන් ගමුද?"

"හා නේත්‍ර.....ඔයා ටයිමින් බලන්නකො"

ආශවට ඔලුව වැනුව නේත්‍ර පැය තුනක් වෙලාව තියලා ආශවගෙ අතට ගිණුම්කරන ප්‍රශ්න පත්‍රයක දෙවනි කොටසක් දෙද්දි පෑන හපන් උන්නු ආශව ඒක කරන්න පටන් ගත්තා.ආශවගෙ කබඩය අස්සෙ තිබ්බ ෆයිල් ටික ඇදලා ගත්තු නේත්‍ර එව්වගෙන් ප්‍රශ්න පත්‍ර වගයක් තෝරලා අරං ආශව වැඩියෙන්ම වරද්දගෙන තියෙන ප්‍රශ්න ටික හොයන්න ගනිද්දි නුවර පරිසරෙන් රැහැයියො කෑ ගහන හඬ විතරක්ම ඇහෙන්න සැලස්සුවෙ මේ දෙන්නගෙ වැඩ වලට බාධාවක් වෙන්න ඕනි නැති නිසා.

..............................................................................................

කිරි තේ කෝප්පයක් හදාගත්තු සනුක තමන්ගෙ ගෙදර විශාල මිදුල කොණකට වෙන්න හදලා තිබ්බ ගල් පුටුව උඩින් ඉදගෙන අතේ අරං ආව කිරි තේ කෝප්පෙයි අනික් අතේ තිබ්බ පොතකු‍යි දෙකම ඒ ලගම තිබ්බ ගල් මේසෙ උඩින් තිබ්බා.තේ කෝප්පෙන් උගුරක් බිව්ව සනුක අරං ආව පොත පෙරලලා බලද්දි සනුකගෙ ඇස් වලට කදුළු පිරුණෙ තමන්ගෙ පුංචි කාලෙ ඡායාරූප දැකලා.ලොකු හුස්මක් පහල දැම්ම සනුක ඒ පොත පෙරලං යද්දි සනුකගෙ ඇස් වලින් කදුළු ගලන්න ගත්තෙ පොතේ හරි මැද තියෙන පුංචි එකෙක්ගෙ රූපයක් නිසා.

"ඔයා දන්නවද? ඔයා තමයි මගෙ ජීවිතේ මගෙ ඩැඩා මමා ඇරෙන්න මට ලස්සනයි කිව්ව පලවෙනි කෙනා"

ඔටුන්නකුත් දාන් ඉන්න පුංචි එකාගෙ රූපෙ දිගේ ඇඟිලිතුඩු යවන්න ගත්ත සනුක හෙමිහිට මුමුණද්දි සනුකගෙ ඇස් වලින් වැටෙන කදුළු වලින් පොතේ පිටු තෙමෙන්න ගත්තා.හැබැයි සනුක ඒ එක කදුලක්වත් ඡායාරූපයට වැටෙන්න දුන්නෙ නැහැ.වැස්සක් වැටෙන එකේ පෙරනිමිනිති කියාගෙන බීරිං කරගෙන එන දවාලෙ සනුකට මැවිලා පෙනුනෙ අවුරුදු ගාණකට පස්සෙ ඒ පුංචි රූපෙ ලොකු වෙලා තමන්ගෙ ඇස් ඉස්සරහ දැක්ක දවස.ඒ බෝල ඇස් දිලිසෙන හැටි,ඒ පුංචි මූණෙ තිබ්බ ලස්සන හිනාව....ඒ හැමදේම සනුකට මැවිලා පේන්න ගත්තා.ඒත් එක්කම ඒ ලස්සන මූණෙ හිනාව,ඒ ඇස් වල දිලිසීම අයිති කාටද කියලා මතක් වුණු සනුකගෙ කටින් ලොකු ඉකියක් එලියට පැන්නා.

"ඇ....ඇයි එහෙම උනේ? මම හුඟක් පරක්කු උනාද ඔයාව හොයාගන්න?"

සනුක තමන්ගෙ ඇස් වලින් ගලන කදුළු පිහගනිද්දිම සනුකට දුරකථන ඇමතුමක් ආවෙ තමන්ගෙ තාත්තගෙන්.හිනාවක් මූණෙ තියාගෙනම ඇමතුමට සම්බන්ධ වුණු සනුක හදිසියෙම තමන්ගෙ හිතට ආව තීරණයක් තාත්තට කියන්න ගත්තා.

"හෙලෝ පුතා.....ඔයා කෑවද?"

"ඔව් ඩැඩා කෑවා.....මේ ටී එකකුත් හදාගෙන බොන ගමන් ඉන්නෙ"

"එහෙනම් කමක් නෑ.....අද මොකෝ ලියෝන්ව මීට් වෙන්න බෑ කිව්වා කියන්නෙ? කොල්ලා මට කෝල් කරලා කේලම කිව්වා"

"එයා මේ ටිකේ පණ්ඩිත වැඩ කරනවා.....මම කියන දෙයක්වත් අහන්නෑ....එයාට දැනෙන්න ඕනි එයා වරදක් කරනවා කියලා....ඒ නිසා ඔය පොඩ්ඩක් මමත් තරහයි වගේ ඉන්නෙ ඩැඩා"

"හරි හරි....අනේ මංදා පොඩි ලමයි වගේනෙ.....අද මමාටයි ඩැඩාටයි ගෙදර එන්න වෙන්නෑ පුතා.....රියලි සොරි"

"ඒකට කමක් නෑ ඩැඩා....මාත් කැන්ඩි යන්න කියලා මේ"

"කැන්ඩි? මේ වෙලාවෙ?"

"ඔව්.....ආශවලගෙ ගෙදර....හුඟක් කල් දැක්කෙ නෑනෙ මිනිහව"

"ම්ම්ම්.....ඕකේ.....පුතාට මෙවෙලෙ යන්න පුලුවන්ද තනියම?"

"පුලුවන් ඩැඩා......මම පරිස්සමින් ගිහින් එන්නම්කො"

දුරකතන සංවාදෙ හරි ආදරණීය විදියට අවසන් කෙරුව සනුක ආයෙමත් පෙර කියපු ඡායාරූපය දිහාවට බැල්මක් පා කරලා හෙමින් සැරේ ඒ මතින් තමන්ගෙ තොල් තද කලා.

"සින්නක්කරේට ලියාගන්න ඕනි නෑ මගෙ ආදරේ දෙන්න....මම දුර ඉදන් ආදරේ කරන්නම් නේත්‍ර මල්ලි....සමහරවිට....."

පොත වහලා දැම්ම සනුක තේ එකේ අන්තිම උගුරත් බීලා කොළඹ ආකාහෙ දිහා බැලුවා.බීරිං ගතියකින් වැහිලා ගිහින් තිබ්බත් අද කොලඹ අහසෙ වෙනදා නැති අමුතුම ලස්සනක් සනුක දැක්කා.වැස්ස පටන් ගන්න කලින් ගමන පිටත් වෙන්න ඕනි නිසා ඉක්මනටම පුටුවෙන් නැගිට්ට සනුක තමන් අතට ගත්ත පොත දිහා බලලා කලින් හිතුව සිතිවිල්ල සම්පූර්ණ කලා.

"සමහරවිට......ලං වුනොත් මගෙ ආදරේ ඔයාට දරන්න බැරි වෙයි"

නේත්‍ර දැන් ලං වෙලා ඉන්න ආදරේ තරම නොදන්න සනුක මුමුණද්දි කොළඹ අහස තව ටිකක් බීරිං කරන්න ගත්තා.සමහරවිට සනුකගෙ පපුවෙ තියෙන ආදරෙත් ආශවගෙ ආදරේ පරයා යන්න බැරි උනත් ඒ හා සමාන ආදරයක් වෙන්න පුළුවන් කියන සැකේ කොළඹ ආකාහෙට උනත් දැනෙන්න ඇති.

ඇඳුම් කෑල්ලකුත් මෝටර් රථය ඇතුලට දාගත්තු සනුක නුවර යන්න පිටත් වෙද්දි,මීට කීප දිනකය කලින් මිලියනයේ නැරඹුම් වාර පහු කෙරුව දිවාෂගෙයි තෙවින්ගෙයි සිංදුව අහන්න පටන් ගත්තා.දෙන්නගෙ හඬවල් එක්ක සනුක සෑහෙන්න දුර මනෝ ලෝකෙක තනි වෙද්දි තමන් ගැන සුදුබේබි ඇරෙන්න වෙන කෙනෙඔ හිතන බව දැනන් උන්නෙ නැති නේත්‍ර ගම්මානෙ කඩේට දුවන ගමන් හිටියා.

"නේත්‍ර කොල්ලා! කොහෙද දුවන්නෙ?"

"ආ.....සේතං මාමෙ.....ලොකු මැණිකෙට සනීප නැති වෙලානෙ....මුරුක්කු කන්න ආසයි කිව්වා...මේ මුරුක්කු ගන්න යන ගමන්"

"ලොකු මැණිකෙ ඊයෙ පොල් වත්තට ආ වෙලේ හොඳටම තෙමුනා තමා කොල්ලො....අපි කිව්වට හිනා වෙලා නිකා හිටියා විනා වැඩේ ඉවර නොකර වලව්වට ගියේ නෑනෙ...ලොකු මැණිකෙ කන්න ආසා තව මොනාහරි තියේනම් අපිටත් කියපං.....පුළුවන් දෙයක්නම් අරං එන්නම්"

"හොදයි මාමෙ"

"ලොකු මැණිකෙ හරි හිත හොඳ මනුස්සයා.....ලොකු මැණිකෙට නොසලකා අපි කාට සලකන්නද?"

"මම යන්නම් මාමෙ"

"හරි කොල්ලො"

කඩේට දුවලා ගිය නේත්‍ර මුරුක්කු මල්ලකුත් අරං ආයෙම විදුලි වේගෙන් වලව්වට දුවගෙන යද්දි වේගෙන් ආව බයිකයක් නේත්‍ර ලගින් නැවැත්තුවා.කෙනා කවුද බලන්න වේගෙ අඩාල කල නේත්‍රගෙ මූණට හිනාවක් ආවෙ ඉන්න කෙනා අඳුනගෙන.

"රකිත අයියා මේ පැත්තෙ?"

"ඔව් මල්ලි.....අපේ ජුබිලි එකේ වැඩ වගයක් ගැන කතා කරගන්න ආවෙ තෙවින් එක්ක....කොන්සට් එකක් කරනවනෙ අපි ඒකට අල්ලලා....ඒක ගැන.....දෙවිනුයි ආශවයි අද ක්ලාස්ලුනෙ....ඒ නිසා අද ඒ දෙන්නා එක්ක කරන වැඩ ටික ගැන කතා කරගන්න උනේ නෑ"

"ආ ඔව් අයියෙ....ක්ලාස් අද....අයියා කෙලින්ම ගෙදර යනවද?"

"ඔව් මල්ලි.....මේ.....ඔයාට දෙයක් කියන්නත් තියෙනවා...."

"මොකද්ද අයියෙ? කියන්න"

"ම්ම්ම්.....මම මේ ගැන නොකිව්වෙ කලින් නිකං මම කේලම්කාරයෙක් වගේ හිතෙයිද කියලා හිතිලා....."

"මම එහෙම හිතන්නෑ අයියෙ...."

"නේත්‍ර මල්ලිගෙ අක්කට බෝයි කෙනෙක් ඉන්නවද?"

"අපේ අක්කට? නෑනෙ අයියෙ.....දැනුවත්වනම් නෑ"

"ම්ම්ම්...."

"හැබැයි අක්කා දවසක් පිරිමි ලමයෙක් එක්ක කතා කර කර ඉන්නවා මගෙ යාලුවෙකුත් දැකලා තිබ්බා....හරියටම දැක්කෙ නෑ කියලා එයා කිව්වා අක්කව....අක්කා වගේ දැක්කෙ කිව්වා....අයියත් දැක්කද එහෙම එකක්?"

"ඔව්.....මම ඕක අරුන්දතී යාලුවෙක් හරි අපි දන්න හරි කෙනෙක් එක්ක කතා කර කර හිටියනම් එච්චර හිතන්නෙ නෑ.....ඒත් අරුන්දතී එදා කතා කර කර හිටිය කෙනා මේ පැත්තෙ කෙනෙක් නම්....."

රකිතගෙ කතාවට බාධා කරන ගමන් දුරකථනෙ නාද වෙද්දි ඇමතුමට සම්බන්ධ වුණු රකිත ආයෙම බයිකය පණ ගන්නගත්තා.

"මල්ලි අපේ අම්මා අද ක්ලිනික් ගියා....දැන්ලු එලියට ආවෙ......මම යන්න ඕනි අම්මව ගන්න....මම ඔයා එක්ක පස්සේ ඒ ගැන කතා කරන්න එන්නම් හොඳද?"

"හ්....හරි රකිත අයියෙ....."

නේත්‍රගෙන් සමුගත්තු රකිත ගුරුපාර දිගේ ඇදෙන හැටි බලන් උන්නු නේත්‍ර වලව්වට දුවන්න ගත්තෙ රකිත කිව්ව දේ ගැන හිතන ගමන්මයි.මේ දෙවනි වතාව.පලවෙනි වතාවෙ ආර්ය අක්කගෙ මූණ හරියටම නොදැක්කා කිව්ව නිසා ඒ ගැන නේත්‍ර ලොකුවට නොහිතා හිටියත් මේ පාරත් රකිතගෙන් ඒ වගේම දෙයක් ගැන ඇහෙද්දි ඒක ගැන සුළුවෙන් හිතන්න නේත්‍රට පුලුවන්කමක් තිබ්බෙ නැහැ.එදා ආර්යත් ඒ හිටිය පිරිමි ලමයව දැකලා හුරු නැති බවක් කිව්ව වගේම අද රකිතත් කියද්දි නේත්‍රගෙ හිතට තමන්ගෙ අක්කා ගැන ආවෙ ලොකු බයක්.සුදුබේබි ආවම මේ ගැන එයා එක්ක කතා කරනවා කියලා හිතා ගත්තු නේත්‍ර වලව්වෙ පිලිකන්න පැත්තෙන් ගොඩ වෙලා ලොකු මැණිකෙගෙ කාමරේ ඇතුලට යද්දි මැණිකෙ හරි දුර්වලව ඇඳේ වැතිරිලා හිටියා.

"ලොකු මැණිකේ....."

"අ....ආහ්....නේත්‍ර.....එන්න පුතේ"

ඉදලා හිටලා දැන් දැන් ලොකු මැණිකෙගෙ කටින් තමන් වෙනුවෙන් පිට වෙන පුතේ කියන වචනෙ දැන් නේත්‍රට නුහුරු එකක් උනේ නැහැ.ලොකු මැණිකෙ ලඟට ගිය නේත්‍ර ලොකු මැණිකෙව වත්තං කරගෙන ඇඳ විට්ටමට හේත්තු කරලා මුරුක්කු මල්ල ලොකු මැණිකෙගෙ අතින් තිබ්බා.

"බත් කෑව නිසා ඕවා කන්න ලොකු මැණිකෙ....මම තේ එකක් හදාන එන්නම්"

"කෑවා නෙවෙයි....බලෙන් කැව්වා මේකා"

ලොකු මැණිකෙ අමාරුවෙන් උනත් හිනාවෙලා කියද්දි නේත්‍ර බිම බලාගත්තෙ තමන් ටිකකට කලින් බලෙන්ම ලොකු මැණිකෙට කෑම කන්න කියලා බල කල හැටි මතක් වෙලා.ලොකු මැණිකෙට කවන්න තරම් හයියක් නොතිබ්බ නේත්‍ර ලොකු මැණිකෙට බත් කන්න කියලා කටින් වද දීලම බත් කටක් දෙකක් කන්න දීලා තිබ්බා.තේ එකකුත් හදාන කාමරේට ආව නේත්‍ර මැණිකෙගෙ කාමරේ දොරකඩම ඉදගනිද්දි ලොකු මැණිකෙ හරි ආසාවෙන් නේත්‍රගෙ තේ එක බොන්න ගත්තා.ටික වෙලාවක් ඔහොම ගෙවිලා යද්දි ඇහුනු වාහන නලා සද්දෙ එක්ක ගැස්සුනු ලොකු මැණිකෙ නේත්‍ර දිහා බලද්දි නේත්‍ර ඉදන් උන්නු තැනින් නැගිට්ටා.

"කවුද ආවෙ බලන්න කොල්ලො.....සුදුපුතා ගියේ කාර් එකේ නෙවෙයිනෙ"

ලොකු මැණිකෙට ඔලුව වැනුව නේත්‍ර තමන්ගෙ ලොකු කමිසෙ ටිකක් පිලිවෙලට හදාගෙන විසිත්ත කාමරේට ගියේ වලව්වෙ සේවකයෙක් උනත් අපිලිවෙල නෑ කියලා පෙන්නන්න.තිර රෙදි අස්සෙන් බලද්දි වාහනෙන් බහින කෙනා දැක්ක නේත්‍ර විදුළි වේගෙන් ලොකු මැණිකෙගෙ කාමරේට දිව්වා.

"ඇයි කොල්ලො?"

"සුදුබේබිගෙ යාලුවෙක් ඇවිල්ලා ලොකු මැණිකෙ....අර ක්‍රිකට් ටීම් කැප්ටන්....සනුක කියලා කියන්නෙ"

"ආහ්.....මේ කෝප්පෙ ගනින්....මම යන්නම් ඉස්සරහට"

ලොකු මැණිකෙගෙ කෝප්පෙත් අරං වලව් මුළුතැන්ගෙට දිව්ව නේත්‍ර විසිත්ත කාමරේ පැත්තෙන් ඇහෙන හඬවල් වලට ඇහුම්කන් දීගෙනම තව තේ එකක් ලෑස්ති කලේ සනුකව හොදට පිලිගන්න හිතාගෙන.මොකද සුදුබේබිගෙ ගෙදෙට්ට ආව කෙනෙක්‍ට ඕනිවට එපාවට සලකලා සුදුබේබිගෙ තත්වෙ පහලට දාන්න නේත්‍ර කැමති උනේ නෑ.සුදුබේබිට හදන පුරුද්දට කිරිකෝපි එකක් හැදුව නේත්‍ර කේක් කෑලි කීපෙකුයි බිස්කට් කීපෙකුයි එක්ක කෙහෙල් ඇවරියකුත් තසිමක තියාගෙන ලොකු මැණිකෙගෙන් ඇමතුමක් එනකං බලන් හිටියා.

"සුපිපි....මොනාහරි බොන්න හදන් ආවනම්"

ලොකු මැණිකෙගෙ හඬ ඇහෙනවත් එක්කම නේත්‍ර තසිමත් උස්සගෙනම විසිත්තකාමරේ ඇතුලට ගියේ සුපිපි මුළුතැන්ගෙයි පලාතකවත් නොහිටි නිසා.නේත්‍ර විසිත්ත කාමරේට පය ගහනවත්,සනුකගෙ ඇස් දෙක ලොකු වෙනවත්,ලොකු මැණිකෙ හිස් විදියට බලාගෙන ඉන්නවත් දැක්ක නේත්‍ර බිම බලාගෙනම තසිම සෝෆාව ඉදිරියේ තියෙන වීදුරු ස්ටූලය මතින් තිබ්බා.ඒත් එක්කම ලොකු මැණිකෙගෙ හඬ එක්ක නේත්‍ර ඇස් දෙක උස්සලා ලොකු මැණිකෙ දිහා බැලුවා.

"මේ දරුවා ගම පොඩ්ඩක් බලල යන්නලු ආවෙ....කලින්දාකත් රෑ ආව නිසා හරියකට ලස්සන දැකල නෑනෙ....නේත්‍රට පුතාට පුලුවන්නම් මේ දරුවව එක්කන් වැව ගාවට වගේ එලිමහනකට යනවද? හවස් වීගෙන එන නිසා ඇතුල් වල යන්න එපා....හෙට සුදුපුතා එක්කම යන්න් පුලුවන්නෙ ඔය දරුවට?"

"ඔව් ආන්ටි.....අවුලක් නෑ"

"ම්....මම එක්ක යන්නම් ලොකු මැණිකෙ"

ලොකු මැණිකෙ තමන්ට පුතා කියලා මෙවෙලෙත් කතා කල එකෙන් නේත්‍ර තේරුම් ගත්තා ලොකු මැණිකෙ තමන්ව පහත් නොකර ඉන්න හදන වග.කලිනුත් තමන්‍ට එන්න නොකියා සුපිපිට එන්න කිව්වෙත් තමන් මෙහෙ වැඩ කරන වග වහං කරන්න වෙන්න ඇති කියලා නේත්‍රට එවෙලෙ හිතුනා.ඒ දේවලුත් එක්ක ලොකු මැණිකෙ ගැන මහා දයාබරත්වයක් පහල වෙද්දි තේ බීපු සනුක සෝෆාවෙන් නැගිටිද්දි නේත්‍ර සනුකට එලියට එන්න කියලා පිලිකන්න පැත්තට දිව්වා.

"වාව්! හරි ලස්සනයිනෙ"

"ගමේ තියෙන ලස්සනම තැනක් තමා මෙතන සනුක අයියෙ....මේ වැව හිඳෙන්නෙත් නෑලු කවදාවත්ම..."

"ඔයා මෙතනට නිතරම එනවද මල්ලි?"

"නිතරම නෙවෙයි අයියෙ....ඒත් එනවා....සුදුබේබි එක්කම....ඒත් සුදුබේබි එක්ක ගමේ මට එහෙම එකට ඉන්න පුළුවන් ඉඩකඩ අඩු නිසා....."

"ම්ම්ම්....මම ඇත්තටම හිතන් හිටියෙ ඔයයි ආශවයි නෑදෑයො කියලා මල්ලි"

සනුකගෙ වචන එක්ක නේත්‍රගෙ මූණට ආවෙ ලා හිනාවක්.

"නෑ අයියෙ....මම එයාගෙ වලව්වෙ වැඩ කරන කෙනෙක්ගෙ පුතෙක්....සුදුබේබි නොහිටියනම් මමත් අද ඒ වගේම වලව්වෙ වැඩ කරන කෙනෙක්"

'සුදුබේබි නොහිටියනම්' කියන වචන සනුකගෙ හිතට එකතු කලේ වෙනම හැඟීමක්.ආශව නොහිටියනම් සමහරවිට නේත්‍ර වලව්වෙ වැඩකාරකම් කරයි....නැත්තං නේත්‍ර මේ වෙද්දිත් කොළඹ ඉදිවි.

"මම එහෙම හිතලා කිව්වා නෙවෙයි මල්ලි....අනික මට ඔයා කාගෙ කවුද කියන එක වැඩක් නැහැ...."

කුඹුක් ගහ යට හිටගෙන උන්නු සනුක තමන්ට වඩා උසින් අඩු නේත්‍රගෙ මූණ ලගටම පාත් උනා.

"මට වැඩක් තියෙන්නෙ ඔයා 'නේත්‍ර' කියන එක විතරයි"

සනුකගෙ වචන ඒ හැටි දුර නොහිතුව නේත්‍ර වැව් ඉවුරෙ කොණටම යද්දි සනුකත් නේත්‍රගෙ පස්සෙන්ම ආවා.

"අර පේනවද අයියෙ පොහොට්ටු....ඔව්වා හෙට උදේ වෙද්දි පීදිලා.....කට්ටිය මල් කඩාගෙන යනවා....සමහර අය පූජා කරන්න,සමහර අය බිස්නස් එකට.....තව සමහරු ආසවට"

"ඔයත් කඩලා තියේද?"

"ඔව්....සුදුබේබිට දෙන්න"

නේත්‍රගෙ මූණෙ මැවෙන අව්‍යාජ හිනාව එක්ක සනුකගෙ හිත හරියට බර වෙන්න ගත්තා.නේත්‍ර ජීවිතේ ගන්න හුස්මක් පවා ගන්නෙ ආශව වෙනුවෙන් කියන හැඟීම සනුකට වද දෙන්න ගත්තා.ආශවගෙයි නේත්‍රගෙ‍යි අතරමැදට කඩා පයින්න උවමනාවක් නොතිබ්බත් නේත්‍රගෙ වගේ ආදරයක් ලබන්න සනුකත් ආසා කලා.ප්‍රශ්නෙ උනේ නේත්‍රගෙ වගේ ආදරයක් තිබ්බෙ නේත්‍ර ලග විතරක්න උනු එක!

"සුදුබේබි එන ගමන්ලු සනුක අයියෙ....අපි දැන් යංද? හෙට සුදුබේබි එක්කම එමු මෙතන බලන්න"

"හා යං"

සන්සුන්ව අඩි තියන ගමන් ගුරුපාර දිගේ ඇවිදන් යන නේත්‍රගෙ පස්සෙන් එන්න ගත්තු සනුකත් නේත්‍ර වගේම සන්සුන් පාද තියන්න උත්සාහ කරන ගමන් හිටියා.

.

.

.

.

.

"බුදු....සුදුබේබි!"

"ශ් ශ්.....කෑ ගහන්නෙපා....පුංචි අම්මා නැගිට්ටොත් හෙන ඇණයක් වෙන්නෙ"

ගොඩ වෙලාවකට පස්සෙ නින්දට වැටුණු ලොකු මැණිකෙගෙ නලලින් ඕඩික්ලෝන් පොඟවපු රෙදි කෑල්ලක් තියමින් උන්නු නේත්‍ර ගැස්සුනේ තමන්ව එකපාරටම පොලව මට්ටමේ ඉදලා අඩියක් විතර උඩට ගිය නිසා.ඒත් එක්කම තමන්ගෙ සුදුබේබිගෙ හඬ ඇහෙද්දි සන්සුන් වුණු නේත්‍ර කාමරේ විදුලි බුබුලත් නිවලා දාලම සුදුබේබිගෙ පස්සෙන් වැටුණා.

මුළු වලව්වෙම උදවිය නින්දට ගිහින් උන්නු නිසා වගේම දැන් වෙලාව රාත්‍රී දොලහත් පහු වෙලා තිබ්බ නිසා බංගලාවෙ පිලිකන්න පැත්තෙ විදුළි බුබුළ විතරක් දැල්වෙමින් තිබ්බා.නේත්‍ර ලොකු මැණිකෙගෙ වැඩ ටික බලලා ලොකු මැණිකෙව නිදි කරවනකං ආශව කරලා තිබ්බෙ පුළුවන් විදියට තේ දෙකක් හදාගත්තු එක.තේ දෙක තමන්ගෙ අතට ගත්තු ආශව අද පන්ති ඉවර වෙලා එද්දි ගෙනාව කේක් කෑලි දෙකත් නේත්‍රට ඇහෙන් පෙන්නුවා.විනිවිද පේන ප්ලාස්ටික් පෙට්ටියක් ඇතුලෙ තිබ්බ ත්‍රිකෝණාකාර චොක්ලට් කේක් කෑලි දෙකත් අතට ගත්තු නේත්‍ර ආශවගෙ පස්සෙන් වැටෙද්දි දෙන්නා එක්කම ගිහින් ඉදගත්තෙ හුරුපුරුදු ගල්බැම්ම උඩ.

"සනුක අයියා?"

"ඌ නිදි මැණිකෙ....මම ඌ නිදාගත්තට පස්සෙ මේ ආවෙ"

"ආ...හරි සුදුබේබි....ලොකු මැණිකෙට බේත් වලටත් අඩුවක් නැද්ද මංදා සුදුබේබි....අද හවසත් කැම්පස් එක ගැන කියෙව්වා....කදුළු බේරුණා එවෙලෙ ලොකු මැණිකෙගෙ ඇස් වලින්"

"උණ විකාරෙ වෙන්න ඇති නේත්‍ර....හරි එව්වා පැත්තකින් තියන්නකො....මෙන්න මේ ලගට එන්නකො අනේ ටිකක් අල්ලන්නවත් ඔයාව....දැන් හරි ගණන්නෙ මෙයා....අල්ලගන්නවත් ටයිම් නෑ"

"අනේ එහෙම් නෑනෙ සුදුබේබි....මම පුළුවන් හැමවෙලේම සුදුබේබි ලග ඉන්නවනෙ"

"විහිලුවක් කලේ කොල්ලො....ආ....මේක කන්නකො.ඔයා ආසා නිසා ගෙනාවෙ"

නේත්‍රට හිනා ගියේ කොච්චර සල්ලි තිබ්බත් සුදුබේබි මොන කෑමක් ගේන්නෙත් කෑලි දෙකක් වීම නිසා.වලව්ව ඇතුලෙ කී දෙනෙක් හිටියත් සුදුබේබිට පේන්නෙ තමන්ව විතරක්ම උනු නිසා නේත්‍ර ඒ ගැන පුදුම උනෙත් නැහැ.ආශවට හේත්තුවක් දාගත්ත නේත්‍ර අද දවස ගෙවුණු විදිය කියද්දි ආශවත් තමන්ගෙ දවස ඇතුලෙ උනු දේවල් නේත්‍රට කිව්වා.

"ඒක නෙවේ නේත්‍ර....දැන් මොකෝ තෙවින් දිවාෂ දෙන්නගෙ සීන් එක?"

"අනේ මංදා සුදුබේබි.....ඒ ගැටුමෙ ඉවරයක්ම නැහැ....ජානකී නැන්දා දෙයක් කිව්වා කියමුකො....ඒත් ඇයි තෙවින් අයියා ඔච්චරටම ඕකට දඟලන්නෙ? ජානකී නැන්දා එක හේතුවක් වෙන්න ඇති....ඒත් තව මොකක් හරි අවුලක් මෙතන තියෙනවා"

"මටත් ඕක හිතුනා නේත්‍ර....තෙවින් කියන්නෙ උගෙම අප්පච්චිට සද්දෙ දාන එකා...එහෙව් මිනිහා පිට කෙනෙක්ගෙ වචනෙකට ඔච්චරටම නැවෙයිද? මම හෙට මේ ගැන තෙවින් එක්ක කතා කරලා බලන්න ඕනි...පවු අර කොටා....ඌ මොනා උනත් ඔහොම අඩ අඩ ඉන්න ඕනි එකෙක් නෙවෙයිනෙ"

"ඊයෙත් ඇඬුවා සුදුබේබි දිවාෂ"

"ඒ මොකෝ ඒ?"

"ඊයෙ දිවාෂ වත්ත සුද්ධ කරලා රේක්කෙන් කුණු ඇද ඇද ඉඳලා...ගෙවල් ඉස්සරහින් තෙවින් අයියා ගිහින්....දිවාෂ දැන් තෙවින් අයියව ගණන් ගන්නෙ නෑනෙ.....ඒ නිසා දිවාෂ නොදැක්කා වගෙ ඉදලා..."

"ඊටපස්සෙ?"

"තෙවින් අයියා බිබී ගිය අයිස් පැකට් එක දාලා දිවාෂලාගෙ මිදුලට!"

"මුගෙ ආච්චිට!"

"ඔව් සුදුබේබි.....දිවාෂ කෑ ගහලා.....මෙතන මොකක් කියලද හිතන් ඉන්නෙ කුණු දාන්න කියලා? තෙවින් අයියා කියල මෙව්වා පාරෙ දාලා ජරා කරන්න ඕනි නෑනෙ බොරුවට,ඔය යන ගමන්ම ඕකත් කුණු ගොඩට දාලා ගිනි තියපං මොකෝ ඕක මහ වැඩක්යෑ කියලා"

"දිවාෂ ඒකටද ඇඬුවෙ?"

"නෑ සුදුබේබි....දිවාෂ අතට අහු උනු එකෙන් තෙවින් අයියට ගහලා....බලද්දි ගහලා තියෙන්නෙ රේක්කෙන්ලු....තෙවින් අයියට පොඩි තුවාලයක් වෙලා...ඒකට දුක හිතිලා පස්සෙ ඇඬුවා"

"ඉතින් බලන්නකො නේත්‍ර....තෙවින් දිවාෂව සම්පූර්ණයෙන්ම අතෑරලා නෑනෙ.....ඔතන වෙන මොකක් හරි දෙයක් තියෙනවා....මම හොයාගන්නම්කො...."

"සුදුබේබි...."

"ම්ම්ම්ම්?"

"අද රකිත අයියා කිව්ව එක...."

"මම ඒ ගැනත් හොයන්නම් නේත්‍ර....රකිත අරුන්දතී එක්ක හිටියෙ කොල්ලව දැක්කද දන්නෑ....අපි බලමුකො....මොකෝ වෙන්නෙ කියලා...හැමදේම හරි අමුතුයි වගේ නේද?"

"අනේ ඔව් සුදුබේබි...හැමදේම හරි අමුතුයි....ඒ අස්සෙ දිවාෂයි තෙවින් අයියයි කල සෝන්ග් කවර් එක වන් මිලියන් පැන්නනෙ.....ඒකට විශ් කරලත් ගිෆ්ට් එකක් ඇවිල්ලා දිවාෂට...පුරුදු විදියටම නමක් ගමක් නැතුව"

"සීරියල් කිලර් කෙනෙක්වත්ද දන්නෑ...."

"බය කරන්නෙපා සුදුබේබි"

"අනික මේ ටිකේම දිව්දේත්‍රාගෙන් සද්දයක් නෑ....ලබන මාසෙ අපියි ඉන්දියාවයි යනවා ටූනමන්ට් එකක්....මෙහෙ ගහන්නෙ....එච්චර දෙයක් ලග තිබිලත් ඒ කෙල්ල සද්ද නෑ"

"එන දේකට හිත හයියෙන් මූණ දෙමු සුදුබේබි....අපි දෙන්නට බැරි දෙයක් නෑනෙ"

"ඔව්.....නේත්‍ර ලඟ ඉන්නකං මට ඕනි දෙකට මූණ දෙන්න හයිය තියෙනවා"

"මම ඒක දන්නවා සුදුබේබි"

"නේත්‍ර!"

"ඕහ්"

"ඔහොම්මම ඉන්න....ඔය ඔතන චොකලට් ගෑවිලා"

"කොතනද සුදුබේබි?"

"මෙතන!"

"ම්හ්හ්හ්....."

නේත්‍රගෙ ඉණ වටේ අත දැම්ම ආශව එහෙම්ම ඒ දෙතොල් වලට බර වෙද්දි පුංචි එකා පුරුදු විදියටම ඒ හයිය පපුවට බර උනා.නේත්‍රගෙ අතේ තිබ්බ තේ කෝප්පෙත් හාදුව අස්සෙන්ම පැත්තකින් තිබ්බ ආශව ඒ පුංචි අත තමන්ගෙ  නිදහස් අතින් ග්‍රහණය කරගන්න ගමන් ඒ තොල් ඇති වෙන්න රස බලමින් හිටියා.ලාවට හද එලිය වැටිලා තියෙන වලව්වත්තෙ ගල් බැම්ම දිහා ඉතා විමසිල්ලෙන්ම බලන කෙනෙක්ට විතරක් ඒ හාදුව නැරඹීමේ වාසනාව තිබ්බත් වලව්වෙ ජීවත් වෙන හැමෝම ඒ වෙද්දිත් නින්දට ගිහින් තිබ්බා.හැබැයි වලව්ව ඇතුලෙ උන්නු ආගන්තුක හදවත තවත් බලන් ඉන්න බැරි තැන ඇහැට උනපු කදුළුත් පිහගෙන ආයෙමත් ආශවගෙ ඇඳ උඩට වැටුණා.

සමහරවිට තමන්ගෙ කාමරේ කවුළුවට ගල් බැම්ම හොදට පේන බව ආශවට මතක් උනානම් හෝ හාද්ද පටන් ගන්න තත්පරේකට හරි කලින් තමන්ගෙ කාමරේ ජනෙල් කවුළුව දිහා බැලුවනම් හෝ ආශව කවදාවත් මේ හාද්ද මේ වගේ ආරම්භ නොකර ඉන්න තිබ්බා වගේම ගෙන්දගම් පොලවෙ හැල හැප්පීම් වලට මූණ දිදී හැදුනු හයිය හිතක් මේ වගේ දුර්වල නොවී ඉන්න තිබ්බා.ගැටපිච්ච සුවද පිරුණු තමන්ගෙ පුංචි ආදරවන්තයගෙ උණුහුම අස්සෙ ආශව සැනසෙද්දි කවදාවත් ගැටපිච්ච සුවඳ අයිතිකරගන්න බැරි බව දැන දැනම ඒ සුවඳ එක්ක බැඳුනු සනුක ආශවගෙ කාමරේ ඇඳ උඩ රිදුම් දෙන පපුවෙ හීතල බැඳෙන එක නවත්තන්න උත්සාහ ගනිමින් හිටියා.

...................................................................................................

ඊලග එක දිගට දෙන්නම්❤️

ඉතින් මේ චැපිය විශේෂයෙන්ම තෑග්ගක් විදියට ලිව්වෙ....අද මගෙ හොදම රීඩර් බබෙක්ගෙ උපන්දිනයක්නෙ.....නිවාලන්න මා එකට මීම්ස් ඒම වැඩියෙන්ම හදලා දෙන බබා මෙයා❤️ මට ඇත්තටමත් හුගක් ලග කෙනෙක්.කතාබහ කරලා මම එක්ක හරි කිට්ටුවෙන් ඉන්න කෙනෙක්....ඉතින් infantacy සුභම සුභ උපන්දිනයක් වේවා මගෙ මැනිකට❤️ හිතන පතන විදියට හැමදේම ඉෂ්ට වෙලා හැමදාම සතුටින් ඉන්නෝනි❤️ අක්කා හුඟාක් ආදරෙයි❤️ ඉතින් ඔන්න මට පුංචි විදියට පුංචි තෑග්ගක් දුන්නා....දවස ඉවර වෙන්න විනාඩි දෙකක් තියලා දුන්නා....පරක්කු උනාට සමාවෙන්න🥺ඉතින් පරක්කු වෙලා හරි ඔන්න ඔයාට සුහ පැතුවා අක්කා❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමිලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා 🏵️❤️

Share This Chapter