Chapter 5: CHAPTER 5

අවසානයක් නැතිව ආදරය කළෙමි | BL SINHALA SHORT STORY | ✔Words: 51762

☘️

ඔයාට අනුව කර්මය කියලා කියන්නේ මොකක්ද?

මට අනුව නම් කර්මය කියලා කියන්නේ,  ආදරය නිසා මං දරුණු විදියට විඳවනකොටත්, මම ආදරේ කරන කෙනාව එපා නොවෙන එක.

ඇස් වලින් කඳුළු බිංදු එකින් එක ඈත් වෙන ගානේම ඒ පුද්ගලයාව තව තවත් ලං කරගන්න ඕනේ වෙන එක.

"පුතා.. අපි බෙහෙත් ටිකක් වෙනස් කරමූ. ඩෝස් එක ටිකක් වැඩි කරලා ගමූ හෙට ඉඳලා.."

"ම්ම්ම්.."

මම ඩොක්ටට හිනාවක් දීලා ඔලුව වැනුවා.

එළියට එනකොටත් හරියට වැස්ස.

නුවර මහ රෝහලේ ඉස්සරහම තිබුණු පෝටිකෝව යට හිටගෙන මං ගලන් යන වැහි වතුර දිහා බලාගෙන හිටියා.

අතේ තිබිච්ච සල්ලි එක්ක කලින් බෝඩිමේ කී මනීත් එනකොට ටිකක් ලොකු ගානක් අතට ගන්න පුලුවන් වුන නිසාම මම නුවර හොස්පිට්ල් එක ළඟින්ම බෝඩිමක් හොයා ගත්තා.

කොයි වෙලාවේ හොස්පිට්ල් දුවන්න වේවිද කියලා නොදන්න හින්දම, එහෙම හොඳෞඉ කියලා මට හිතුණා.

අනික යන එන වියදම් එක්ක බෙහෙත් වියදම් එක්ක පේරාදෙණි ඉඳලා නුවර එන එකත් මට ලොකු දෙයක් වෙලා තිබුණේ.

ඒ නිසාමයි ගෙවිච්ච සතියේ තාත්තගේ ඉතුරු ඉඩම් කෑල්ල විකුණන්න දැම්මෙත්. පොඩි ඔන්ලයින් ඉන්ස්ටිට්‍යුට් එකකට ජොයින් වෙලා උගන්නන්න පටන් ගත්තෙත්.

මොකද මට ෆිසිකලි ස්කූල් එකකට ගිහින් උගන්නන්න තරම් සනීපයක් තිබුණේ නෑ. ඒ නිසාම කොළඹින් ආපු ඔෆර් එක රිජෙක්ට් කරන්න සිද්ධ වෙලා තිබුණා. අපරාදේ මම ගොඩක් ආසාවෙන් කරන්න හිටපු දෙයක් ඒක.

දැන් උගන්නන ඉන්ස්ටිට්‍යූට් එක පොඩි වුනාට ඔන්ලයින් නිසා ළමයි ගොඩක් ජොයින් වෙනකොට, මාසේ ගෙවාගෙන ඉතුරු කරගන්නත් සැලකිය යුතු ගානක් හම්බ වේවි කියලා මට හිතුණා.

ඒ මොනවා උනත් මම තවමත් එයා ජීවත් වෙන මේ නුවර අහස යටම හුස්ම අරගන්න ගමන් හිටියා.

"දිසස් අයියා.."

මට මේ නුවර මෙහෙම කතා කරන්න කෙනෙක් හිටියේ නැතිකොට, මම පුදුමෙන් බැලුවේ කවුද කියලා.

අර ඉස්සර ආරද් කරනවා වගේ මගේ ඇසුත් හීනි වුනා.

"නිස්සාර.."

ඒත් ඉන්න කෙනා දැකලා මගේ මූනට හිනාවක් ආවා. හැබැයි මේ පොඩි උන්ගේ මූනු බලන්න නම් අක්කරයක් විතර ඔලුව උඩට උස්සන්න වෙනවා.

"කොහොමද මල්ලී.."

මම අහනකොට කොල්ලගේ මූන අමුතු වුණා. එයාගේ ඇස් මගේ මූනටත් අතේ තිබ්බ ෆයිල් කවරෙටත් ඒ උඩින් මම තියාගෙන හිටපු බෙහෙත් බෑග් එකටත් ගියා.

"අයියේ.."

"ඉතින් ඉතින් මොකද මෙහේ.. බෙහෙත් ගන්න ආවද?"

මං ඇහුවේ තවමත් කතා නොකර මගේ දිහා බලාගෙන ඉන්න කොල්ලගෙන්.

"මගේ තාත්ති මෙහේ වර්ක් කරන්නේ.."

"ආහ්හ්.."

එතනින් එහාට තත්ත්පර ගානක්ම කතාවක් නැති වෙනකොට තිබ්බ ටෙන්ශන් එක නැති කරගන්න මම හැදුවේ නිස්සාරටත් කියලා වැස්සෙම බෝඩිමට දුවන්න කියලා. ඒත්;

"කොළඹ ගියේ නැද්ද?

අයියගෙ කොළඹ හීනේ බොඳ වුනානේ කොල්ලෝ කියලා තමා කියන්න වෙන්නේ.

මම හිනාවක් මූනට අරගත්තා.

"ගියා ගියා.. මේ පොඩි වැඩකට ආයෙම නුවර ආවා.."

"ආ.. අයියා අසනීපෙන්ද?

නිස්සාර මගේ බේත් බෑග් එක ඇස් වලින් පෙන්නන ගමන් අහනකොට මම කලබල ගතිය අඩු කරගෙන උත්තර දෙන්න උත්සාහා කලා.

"ආහ්.. නෑ.. නෑ.. මම හොඳින්.."

මම ෆයිල් එකත් එක්කම බෙහෙත් ටික තුරුල් කරගත්තා.

බොරු කියනවා කියලත් කොච්චර කියන්නද?

වැස්ස තුරල් වෙච්ච හින්දා මං නිස්සාරටත් යනවා කියාගෙනම එළියට අඩිය තිබ්බා.

🌱

"චූටි බබා ඇත්තමයි ඔයා දැන්ම මේ නසරානියෝ ටිකත් අරගෙන ලිවින් එකට ගියේ නැත්තං මං මේ කේක් බැටර් එක කට්ටියගෙ ඔලුවෙ හලනවා.."

ඉරිදා හවස කාලෙකට පස්සේ කට්ටියම නිවාඩු වෙනකොට, අපේ වුන් ටිකත් උදේ ඉඳන්ම ඇවිත් ඉන්නකොට අයියත් අද චොක්ලට් කේක් හදන්න මුල් ගල තියලා තිබ්බා.

අයියගේ කෑ ගැහිල්ලට හිනාවෙන ගමන්ම රූම් එකට ආපු මම සෙක්‍රටිට කතා කරලා අද හවසට දාගෙන හිටපු මීටින් එකක් කැන්සල් කරගත්තා.

කට්ටියම එකට එකතු වෙන මේ වගේ වෙලාවල් හැමදාම එන්නෙ නෑ. අනික නිස්සා වුනත් දොලහ දොලහමාරෙන් පස්සේ තමයි එන්නේ.

එහෙමම අතේ තිබ්බ ෆෝන් එක ලොක් කරත්, ලොක් ස්ක්‍රීන් එක දිහා බලපු මට හයියෙන් හුස්මක් පහතට හෙලුනා.

"රතුරෝස, ජර්බරාස්, ලිලී වගේ නෙමෙයි.. බලන බලන හැමතැනකම තියෙනවා කැලෑ මල්..

ඔයාට ඒවා දකිනකොට මාව මතක් වේවි.."

සති දෙකක් තිස්සේ ඔලුව ඇතුලේ හිර වෙලා තිබිච්ච කටඬක් මට කෑ ගහලා කියනවා ඇහුනා.

ඉතින් බලෙන් අමතක කරන්න හදන හදන පාරට පපුව ඇවිලෙන හැඟීමක් හුස්ම හිරකරනකොට මම අතේ ඇඟිලි ස්ක්‍රීන් එකෙන් පේන මල් කිනිත්ත දිගට අරගෙන ගියා.

තමුසේ මට මේ මොනවද කලේ...

මට තමුසෙව පිස්සුවෙන් වගේ මතක් වෙනවා මේවර.

මම එහෙමම ෆෝන් එක ස්ක්‍රීන් ඕෆ් කරලා පහලට ආවේ පහලින් ඇහෙන කාලගෝට්ටියට කන් දෙන ගමන්.

"ඩිහේන් ඇත්තමයි කොල්ලෝ උඹ ආයේ මේ බැටර් එකේ ඇඟිල්ල එබුවොත් මං පිහියක් අරන් කපලා දානවා ඇඟිලි දෙක.."

"යකෝ ඔය කප් කේක් එක කන්න එපා පරයෝ.."

"අනේ මට දෙහි වලට සෝඩා දාලා සීනි දාලා හදා දෙනෝකො බොන්න දෙයක්.."

"අන්න අර බේසිකයා රෝස පාට අයිසින් එක උස්සන් දුවනවා.."

"ඩිහේන් උඹට මාව විහිලුවක්ද ආ කොල්ලෝ.. දීපන් මෙහෙට බැටර් එක.."

"තෝ මට මේ හිඹිච්චං කේක් කෑල්ලක් දික් කරන්නේ තෝ හිතුවද මං කූඹියෙක් කියලා.."

"අනේ ලොකු අයියේ තිබහයිනේ මේ දරුවට.."

"අයියේ මං රෝස පාට අයිසින් එකේ බාගයක් බේරගත්තා.."

"චූටි බබා අර ලෙමන් ගෙඩි ටික කපලා අරන් මිරිකන්න.. කෝ මේ කොල්ලා.."

ඉතින් තව පැයක විතර කාලගෝට්ටියකට පස්සේ ලොකූ කේක් ට්‍රේ දෙකකුයි ලෙමන් වීදුරු වාගයකුයි මේසෙට ඇවිත් තිබුණා.

"අම්මටසිරි මම හොඳම වෙලාවට ඇවිත් තියෙන්නේ.."

නිස්සාර ඩයිනින් රූම් එකට එබෙන ගමන් ඉන්නකොට අනිත් වුන් ටිකත් මේසේ වටේට ඉඳගත්තා.

"වරෙන් වරෙන්.. අපි මේ තොට කන්න දෙන්න තමා මහන්සි වෙලා කේක් හැදුවේ.."

"තෝ කොහෙද යකො කේක් හැදුවේ ලොකු අයියනේ හැදුවේ.."

"හරි හරි මට කියන්න දීපන් ඒ වුනාට.."

"වරෙන්.."

මම නිස්සටත් කතා කරගෙනම අයියා කපන ගමන් හිටපු කේක් කෑල්ලක් අතට ගත්තා.

"ඔහොම ඉන්නවා චූටි බබා මේක කපලා ෆොටෝ එකක් ගහගන්නකන්.."

"අනේ ලොක්කයියේ ඔයා ෆොටෝස් ගහලා  ඉවර වෙනකොට හවස් වෙයි අප්පා..

අපි මේක කාලා ඊළඟ එක ෆොටෝ ගහමු.."

"මට කියලා මරවගන්නැතුව චූටි පැටවු ටික වාඩි වෙන්න ගිහින්.."

අයියා පිහියත් වන වනා කියනකොට අපේ වුන් ටික බුම්මගෙන ගිහින් ආයෙත් වාඩිවුණා.

"මෙහෙන් ඇවිත් වාඩිවෙයන් නිස්සා.. අන්කල් අදත් හොස්පිට්ල් ද බන්.."

"තාත්ති කවද්ද ගෙදර හිටියේ.."

නිස්සා එහෙන්මම මගේ ඉස්සරහා වාඩිවෙනකොට අයියා කේක් එක කපලා ප්ලේට් එකක් උඩ තියලා තිබ්බා.

"හරි.. කෝ ෆෝන් එක..

ආ.. උඩනේ..

චූටි බබා ෆෝන් එක පොඩ්ඩක් දෙන්න.."

අයියා ෆෝන් එක අරන් ලොක් ස්ක්‍රීන් එක දිහා බලලා ආයෙත් මං දිහා බලලා අමුතු විදියට හිනා වුනා.

උකනවනේ දාලා.. ෆෝන් එකක් ඉස්සෙල්ලම අතට ගත්තු දවසේ ඉඳලා මේ වෙනකන් තිබ්බ කලු පාට වෝල් පේපර්ස් නැතුව මල් දාලා තියෙනකොට හිතන්න පුලුවන් ඔක්කොම දැන් හිතලා ඇති.

එහෙමම ලොක් ස්ක්‍රීන් එකෙන්ම කැමරා එක ඔන් කරගෙන ප්ලේට් එක හතර වටේට කරක කරකවා ෆොටෝස් ගත්තේ අපේ වුන් ටික අනිමිස ලෝචනයෙන් කේක් එක දිහා බලන් ඉන්නකොට.

"හ.. - රී..."

වචනේ ඉවර වෙන්න කලින් කේක් කෑලි ටික ප්ලේට් එකෙන් අතුරුදහන් වෙලා තියෙනකොට ඉතුරු වෙච්ච කේක් වාටි ටික දිහාත් අපි දිහාත් බලලා අයියා අත් බැඳගත්තා.

"ඔයා ඔක්කොම අතෑරලා දාලා කේක් කඩයක් දාගන්න අයියා බබා. මම දවස ගානේ කේක් ගන්න එනවා මේ ඇත්තමයි.."

"තෝ හුකාන් අකිලයා.. අයියව අන්දලා ශේපේ ඉතුරුවටත් වැඩේ දෙන්න හදන්නේ.."

"අනේ මට ලෙමනේඩ් වීදුරුවක් දීපල්ලකෝ.."

"කේක් වාටියක් දීපන් ඩිහේනයා තෝ ඔක්කොම බදාගෙන කන්නෙ නැතුං"

"පොඩ්ඩක් කට වහගනිල්ලකෝ කන්දොස්කිරියාවේ බෑනේ තොපි එක්ක.."

"මේ කොනේ ඉඳන් අත දිග මදිනේ පකුනේ.. ඔය ලෙමනේඩ් වීදුරුවක් දීපන්කෝ.."

"අනිත් කේක් එක බේක් වෙන්න තව වෙලා යයිද ඕඉ.. බලපන්කෝ හිච්චං කේක් කෑලි තුනක්නේ අහු වුනේ.. සැහ්.."

"තොපි මෙතන කේක් කාලා දවල්ට උයපුවා කන්නෙ නැද්ද පකුනේ.."

"උඹ හිටපන්.. තව පැය බාගයක් යනකොට දවල් බතට බඩේ ඉඩ හැදෙනවා.."

"කෝ කෝ චූටි පැටව් ටික කැමරාව දිහා බලන්න. අපි සෙල්ෆියක් ගමු ෆේස්බුක් දාන්න.."

අයියා කෑ ගහලා කියනකොට මෙච්චර වෙලා මාලුකඩේ වගේ තිබ්බ ඩයිනින් එක සයිලන්ට් වෙලා ගියා.

අයියත් එක්ක ෆොටෝස් ගන්න එකේ දුක දැන දැනත් අපේ වුන් ටික ගහන ගහන අතට හිනාවෙවී ෆොටෝස් පනහක් විතර ගත්තා.

ඊළඟ යුද්ධෙ එන්නේ ෆේස්බුක් දාන්න ෆොටෝස් තෝරනකොට.

"චූටි බබා.. මං මේ ෆොටෝස් ටික මගේ ෆෝන් එකට වට්සැප් කරගන්නවා.."

අයියා මගේ ෆෝන් එකත් අරගෙන පුටුවකින් වාඩිවුණා.

"ටිං!!!"

අනිත් කේක් එක බේක් වෙලා ඉවර වෙච්ච සද්දෙ කිචන් එකෙන් ඇහෙනකොට මුන් ටික ගාල කඩාගෙන ගියේ මාත් පස්සෙන් යනකොට. නැත්තං ඕකෙන් කුඩක් වත් ඉතුරු වෙන්නේ නෑ.

අයියට ප්ලේට් එකකට කේක් කෑලි දෙකක් දාගෙන මම ආවෙ අනිත් වුන් කේක් කටේ පුරෝගන මගේ පස්සෙන් එනකොට.."

"කවුද මේ චූටි බබා..?

"ආ..හ්"

ස්ක්‍රීන් එකේ තිබුණේ මේවරත් එක්ක මාලිගාවෙදි ගහපු ෆොටෝ එකක් වෙනකොට මම උත්තරයක් හිතන ගමන් ඇවිත් කේක් ප්ලේට් එක අයියා ගාවින් තිබ්බා.

ඒත් ඔහොම ඉන්න.

අයියා ඇහුවේ ඒ කවුද කියලද?

මම ඇස් ලොකු කරගෙන පිටිපස්ස හැරෙනකොටත් පස් හය දෙනා ඒ විදියටම මගේ දිහා බලන් හිටියා.

"අයියා.. මේ.. මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව දන්නෙ නැද්ද?

"ඈ කොල්ලෝ.. මං කොහොමද දන්නේ මේ කොලු පැටියව. හැබැයි එයා උඹලා වගේ නෙමේ. හරී අහිංසක පාටයි.

ආ චූටි බබා.. ඔයා මේ කියුට් කොල්ලත් එක්ක යාලුවෙලාද ඉන්නේ.. ඒකයි එහෙනම් අපේ එක්කෙනා ගිය සති ටිකේ අමුතු වෙලා හිටියේ.

අනික ඒ කොල්ලා මේ ෆොටෝ එකේ හරි අහිංසක විදියට මේ නසරානියා දිහානේ බලන් ඉන්නේ.."

"එයා මගේ යාලුවෙක්.."

මං අයියගේ අතින් ෆෝන් එක අරගෙන පඩිපෙළ නැග්ගා.

"අනේ මේ කොල්ලෝ ඔව්වා කියහන් කොන්ඩේ බැඳපු චීනෙක්ට.."

"අයියා මට මීටින් එකට යන්න ඕනේ දැන්. එන්න රෑ වෙයි. ඔයා බලන් ඉන්නැතුව කාලා නිදාගන්න හොඳේ.."

වෙව්ලන තොල් තද කරගත්තු මම ඇඳුමක් දාගෙන කාර් එකේ කී එක අතට ගත්තා.

🌱

දැන් විනාඩි පහකට වැඩියි මේ ගේට්ටුවට ගහන්න අරගෙන ඒත් ඇතුලෙන් කිසිම සද්දයක් නැතිකොට මම ආයෙ ආයෙමත් මේවරගේ නම්බර් එක ඩයල් කලා.

"අරා.."

"අනේ බන් මගේ කොල්ලා ෆෝන් එක ආන්ස්ව කරන්නෙත් නෑ.. මේ ගෙදර මනුස්සයෙක් කවුරුත් ඇත්තෙත් නෑ ඌ ගැන විස්තරයක් අහන්න.."

"අරා කාම්ඩවුන්.."

"කොහොමද යකෝ මං ඉන්නේ.. මං.. මං දන්නෙ නෑ ඌ කොහෙද කියලා.. ඌ කොළඹ යනවා කිව්වට කොළඹ කොහේද කියලවත් මං ඇහුවේ නෑ.. අඩුම මම උගේ අම්මා අප්පා කවුද කියලවත් දන්නෙ නෑ.."

"අරා ඌ මුල ඉඳලම දැනගෙන හිටියා ප්ලෑන් එක.. උඹට අමතකද ඒක?

"මං... මේවරට ආදරෙයි.."

මගේ ඉස්සරහා හිටපු වුන් ටික තත්ත්පරේකට ගල් වුනා.

"මං මේවරට ආදරෙයි.."

"දැන් පරක්කු වැඩි නැද්ද අරා.. උඹ ආදරේ වුනාට දිසස් අයියා ආදරේ නැත්තං.."

අකිලයා කියනකොට නිස්සා මගේ දිහා බලලා හිනා වුනා.

"මං උඹලට කිව්වා ඌ ගැන හොයලා හිටපන් කියලා ඔක්කොටම කලින්. උඹට එක කෝල් එකකින් ඔය ගැන හොයන්න බැරි කමක් නෑනේ ආරද්..

අන්තිමට කොහෙවත් හිටපු අහින්සකයෙක් වෙන එකෙක්ගෙ පලියකට අහු වුනා..

දැන්වත් ඌට උගේ පාඩුවේ ඉන්න දීපන් අරා.."

"බෑ.."

"ආ..හ්.."

"උඹලා මොනවා කිව්වත් මේවර මගේ.. මං කොහොමහරි මගේ කොල්ලව හොයාගන්නවා.."

"වෙනසක් නැද්ද ඒකේ..? උඹමනේ කිව්වේ ඌ හැමදෙයක්ම දැනගෙනත් මුල ඉඳලම උඹව රැවැට්ටුවා කියලා.."

"ඒත්.. මේවර.. මේවර මට ආදරෙයි.."

"එහෙම දැනගෙනද යකෝ උඹ ඌව අතෑරියේ.. ඊට පස්සේ මේ සති දෙකට උඹ හොයලා බැලුවද? අඩුම කෝල් එකක් වත් දුන්නද..?

හරි.. ඔක්කොම හරි.. අපි මේ දේ කලේ හේතුවක් ඇතුව කියමුකෝ.. ඒත් මං අහන්නේ උඹ සීරියස්ද දිසස් අයියා ගැන..?

නිස්සා ජීවිතේ කවදාවත් මට කතා කරලා නැති කේන්තිය ඉහවහා ගිය කටහඬකින් කියනකොට මගේත් අත් මිට මෙලවුනා.

"කවුද මේ පුතාලා..?

මගෙයි නිස්සගෙයි පිටිපස්සේ හිටපු අකිලලා ඩිහේන්ලා දිහාත් හොඳට බලන ගමන්ම ගෑනු කෙනෙක් ඇවිත් අහනකොට මම නිස්සාටත් බැල්මක් දීගෙනම එතනට ගියා.

"අපි ආවේ දිසස් ව හම්බවෙන්න ආන්ටි.. මේ දිසස්ගේ අම්මද?

"අනේ නෑ දරුවෝ.. දිසස් පුතා අපේ ගෙදර බෝඩ් වෙලා හිටියේ කැම්පස් යන්න..

ඔය දරුවෝ කවුද?

"අපි එයාගේ කැම්පස් එකේ යාලුවෝ ආන්ටී.. අපිට එයාව කන්ටෑක් කරගන්න විදියක් නැතුව මේ හොයාගෙන ආවේ. එයාගේ ගෙදර නම්බර් එකක් වත් නැද්ද ආන්ටි ළඟ..?"

"ආ ළමයිනේ.. දිසස් ළමයා කියලා නැද්ද එයාගේ අම්මා තාත්තා නැති විච්චියක්.. එයාගේ නැන්දා කෙනෙක් නං ඉන්නවා කොළඹ පැත්තේ. ඒත් කොහොමටවත් එහේ නං යන්න විදියක් නෑ.."

මං හිතන්නේ මගේ කකුල් අඩිය පස්සට පස්සට තියවුනේ අන්තිම පාරට එයා මගේ දිහා බලලා හිනාවුන විදිය මතක් වෙලා.

උඹ කොහෙද මේවර ඉන්නේ...

"දිසස් දරුවා කොළඹ යනවා කිය කියා හිටියේ. ඒත් හදිසියේ මොකක් හරි වුනාද මන්දා. දැන් සති දෙකකට කලින් ඒ ළමයා බෝඩිමෙන් ගියාට පස්සේ මං කාමරේ තිබිච්ච බින් එක අස් කරනකොට දැක්කා කොළඹ ඉස්කෝලෙකින් ඇවිත් තිබිච්ච ගුරු පත්වීමේ ලියුමක් දෙකට ඉරලා දාලා තියෙනවා.."

ඒ ගෑනු කෙනාට තෑන්ක් කරලා මම වාහනේට නැග්ගේ මගේ එහා පැත්තෙන් නිස්සාත් පිටිපස්සට අකිලයි ඩිහේනයත් නගිනකොට, සස්කයාගේ වාහනේට රනුකයා මනුලත් එක්ක නගිනවා මං දැක්කා.

එහෙමම වෙනදට යන සන් කැෆේ එකටම ආපු මං අනිත් අයත් පස්සෙන් එනකොට ගිහින් සුපුරුදු ටේබ්ල් එකේ වාඩිවුණා.

මං එහෙමම කෝල් එකක් ගත්තේ රෙනෝල්ඩ් ට. ඔය පොඩි පොඩි වැඩ වලට මට හෙල්ප් කරන කෙනා.

"හෙලෝ බොස්.."

"මට කෙනෙක්ව හොයාගන්න ඕනි පුලුවන් ඉක්මනට.. ඩීටේල්ස් ටික එවන්නම්.. ම්ම්.."

ෆෝන් එක ඉක්මනින් කට් කරපු මං, රෙනොල්ඩ් ට මෙසේජ් එකක් යැව්වා.

"උඹ මං අහපු දේට උත්තරයක් දුන්නේ නෑ අරා.."

"උඹට ඒකට උත්තරයක් ඕනිමද නිස්සා.."

මං නිස්සාගේ ඇස් දෙක දිහා බලාගෙන උත්තර දෙනකොට ඌ ලොකු හුස්මක් පාතට දාලා පුටුවේ කෙලින් වෙලා ඉඳගත්තා.

"මට අද උදේ නුවර හොස්පිට්ල් එකේදි දිසස් අයියව හම්බවුණා.."

☘️

"හොඳයි පුතේ... අපි අදට ක්ලාස් එක ඉවර කරමූ.. මේ ස්ක්‍රීන් එකේ පෙන්නන ඇක්ටිවිටී එක ගෲප් එකට දාලා තියෙන්නේ. මේ සතිය ඇතුලත අනිවාර්යයෙන්ම කරලා එවන්න ඕනි.."

මෙච්චර වෙලා මූනේ තිබුණු හිනාව, සූම් මීටින් එකේ එන්ඩ් බට්න් එක ඔබපු ගමන් නැති වෙලා ගියා.

මම පපුව අල්ලගෙන බිමට නැමුණේ ටිකෙන් ටික වැඩිවෙන වේදනාව දරාගන්නම බැරිතැන.

බෙහෙත්.. බෙහෙත් ටික බිව්වොත් හරියාවිද?

මම මේසේ කකුලක එල්ලිලා මේසෙට වාරුවෙලාම හිටගෙන බෙහෙත් බෑග් එක අතට ගත්තා.

ඩෝස් එක වැඩි කරලා බෙහෙත් ගන්න කිව්වේ හෙට උදේ ඉඳලා. ඒත් හෙට වෙනකන් ඉන්න පුළුවන්ද?

හදිසිය වැඩිකමට බෙහෙත් බෑග් එකේ තිබ්බ බෙහෙත් පැකට් ටික විසිරිලා යනකොට මම ඒකෙන් ඉක්මනට බෙහෙත් පෙති ටික තෝරලා කටේ දාගත්තා.

මගේ පපුව රිදෙනවා හොඳටම. හුස්ම ගන්න අමාරු වෙනවා එතකොට. ඒ වේදනාවටම ඇඟ පන නැතිවෙලා යනවා.

මේසේ ලඟම තිබිච්ච පුටුව උඩින් වාඩිවුනු මම බෙහෙත් පෙති ටික වෙව්ලන අතෙන්ම කටට දාගෙන මේසෙ උඩ තිබිච්ච වතුර බෝතලේ කටේ ගහගත්තා.

ටිකෙන් ටික දේවල් අවසානෙට ලං වෙනවා මට තේරෙනවා.

මේ වගේ වෙලාවට තදින් දැනෙනවා අඩුම ගානේ මං කියන දේ අහන් ඉන්නවත් කෙනෙක් මේ ලෝකේ හිටියා නං කියන එක.

ආරද්.. අඩුමගානේ ඔයාවත් ළඟින් හිටියා නං මට හිතෙනවා. එහෙනං මේ තනිකම හැම තත්ත්පරයකම මගේ බෙල්ල හිර කරන්නෙ නැතිව ඉඳීවි.

මම මේසේ දිගට අතක් දිගා කරලා ඒ උඩ ඔලුව තියාගත්තා. එයාට දෙන්න කියලා පුරුද්දට හදපු මල් කිනිති මේසේ පුරාම විසිරිලා තිබුනා. ඒ කියපු පුරුද්ද නිසාම මේසෙ උඩ මල් කිනිති පහලවකට ලං වෙන්න තියෙනවා. දවසක්වත් මග නොඇර මම එයාට මල් කිනිති හදලා තිබුණා.

ඒත් ඒ මල් කිනිති අරගන්න එයා තවදුරටත් මගේ ළඟ නෑ. ආයෙ එන්නෙත් නෑ.

මම පාලුවට ගිහිල්ලා තියෙන කාමරේ පුරාම ඇස් අරගෙන ආවා.

කවදමහරි දැනිලා තියෙනවද මේ ලෝකේ කවුරුත්ම තමන්ට නෑ කියලා දැනෙනකොට ඇතිවෙන හැඟීම.

මම දන්නවා ඒ හැඟීම.. සමහරවිට මේ ලෝකෙ ඉන්න කාටත් වඩා ඒක දන්නවා ඇති.

ඉස්සෙල්ලම අම්මා තාත්තා.. ඊළඟට ආරද් - මම ආදරේ කරපු එකම කෙනා.

හැමොම මාව දාලා ගිහින්.

ඇස් වලින් වැහි වහිනවා.

කටපුරා හිනා මැවෙනවා

හිත පහුරු ගගා කියනවා

උඹ තනිවෙලා යකෝ තනිවෙලා

☘️

මේසේ උඩම නින්ද ගිහින් තියෙනකොට මට ආයෙමත් ඇහැරුනේ ඊළඟ දවසේ උදේ.

ඇස් අරිනවත් එක්කම මට පෙනුනේ අතට ගුලි කරගෙන හිටපු, ඊයේ හදපු මල් කිනිත්ත.

"ගුඩ් මෝනින් ආරද්.."

මං මල් කිනිත්ත දිහාම බලාගෙන කිව්වා.

එයා අද කැම්පස් යන්න ඇති. නිස්සාර ගිහින් කිව්වද දන්නෑ මාව හම්බුනා කියලා.

ඒත් එයා.. හ්ම්ම්..

"ඔයාව දකින්න ආසයි ආරද්..

සදහටම යන්න කලින් එකම එක පාරක්.. ඔයාව බලාගන්න පුලුවන් වේවිද මට.."

මම ඉක්මනින් වොෂ් එකක් දාගෙන නිල් ඩෙනිමට සුදු ටී ෂර්ට් එකත් ඒ උඩින් ලා නිල්පාට ෂර්ට් එකකුත් දාගත්තා.

ෆෝන් එකත් අතට අරගත්තු මම බෝඩිමේ දොර ලොක් කරලා යතුර බෑග් එකට දාගත්තා.

මට යන්න ඕනි කැම්පස් එක ළඟට.

නුවර ඉඳලා මම කැම්පස් එක ළඟින් බහින්න පුලුවන් බස් එකකට නැගගත්තා.

කැම්පස් එක ළඟින් බහින්න කලින්ම මම කලු පාට මාස්ක් එකක් දාගත්තේ කාටවත් අඳුනගන්න බැරිවෙන්න.

එහෙමම මම කැම්පස් එක ඇතුලට ආවේ පුරුදු විදියට අතේ මලෙන් මල ගොඩ ගැහෙනකොට.

වෙනදට එයයි මායි හම්බවෙන මල් පාර හරියට එනකොට මගේ අතේ පුංචි මල් කිනිත්තක් හැදිලා තිබුණා.

ඒත් වෙනදා වගේ ඒක දෙන්න එයා හිටියේ නෑ.

මම ඉස්සර දවස්වල වල එයා ලෙක්චර්ස් ගිහින් එනකන් මුවාවෙලා ඉන්න ගස් පේළිය ළඟට ආවා.

මෙතෙන්ට එයාගේ ලෙක්චර් හෝල් එකේ එක්සිට් එක හොඳට පේනවා.

පැයක් දෙකක්, හරියටම පැය දෙකකුත් විනාඩි හතලිහක් විතර ගෙවෙන්න එනවා.

ඒත් අන්තිම ළමයත් එලියට ආවත් එයා පේන්න හිටියේ නෑ. අඩුම ගානේ එයාගේ යාලුවෙක්වත් පේන්න හිටියේ නෑ.

"ඔයා කෝ අද..?

මල් මල් කිනිත්තට මිමිනුවා.

සමහරවිට අද එන්න නැතුව ඇති.

මම එහෙමම කැම්පස් එකෙන් එළියට ආවා.

"ආහ්.."

මාව යන්තම් විසිවෙලා වගේ ගියේ පපුව හිරවෙන්න වගේ ගන්නකොට.

මම එක අතක් මිටි කරලා පපුවට ගහගත්තා.

එයාව බලන්න ඕනි මට. ඉක්මනින්..

මගේ වෙලාව ඉවර වෙලා යන්න කලින්..

මම නුවර බස් එකක එල්ලුනා.

මට දැනුනා ටිකෙන් ටික වැඩිවෙන පපුවේ ගැස්ම.

බෙහෙත්..? බෙහෙත් ටික ගෙදර..

නුවරින් බැහැගත්තු මම හොස්පිට්ල් එක පැත්තට අඩිය තිබ්බා.

ඒත් හොස්පිට්ල් එක පෙනි පෙනීම කකුල් දෙක වාරු නැතිව මග නැවතුනේ මාව ඇදගෙන බිම වට්ටන අතරේ.

මට දැනුනා ටිකෙන් ටික හුස්ම හිරවෙනවා වගේ. ඇස් වලට කඳුලු පිරිලා මුන දිගේ ගලන අතරේ මම එක අතකින් පපුව තද කරලා අල්ලගත්තා. ඒත් එක්කම ඇඟ පුරා පැතිරිච්ච වේදනාව හින්දම මාව බිමටම කඩන් වැටුනා.

මම දන්නවා මම දකින්නේ හිතලුවක් කියලා ඒත් මට පෙනුණා ආරද් මගේ ළඟට දුවන් එනවා.

ඔව්.. මට දැන් මේ විදියට හරි ආරද්ව දකින්න ඕනි.

මේ අන්තිම වතාව නම් මට ඒ අතේ උනුහුම විඳගන්න ඕනි. ඒ පපුවට තුරුලු වෙන්න ඕනි.

"නැගිටින්න.. බබා.. මේ..මේවර්..ර.... නැගි..ට්..ටි..න්..න..."

මගේ ඇඟ වටේටම දැනුණු උණුහුමක් එක්කම මට කැඩි කැඩී ඇහුනා එයාගේ හඬ. මං දවස් ගානක් තිස්සේ අහන්න බලාගෙන හිටපු කටහඬ.

ඒ කටහඬ තව තවත් අහන්න වුවමනාවට මම එහෙ මෙහේ යන්න හදන සිහිය එක තැනක රඳවගන්න උත්සාහා කලා.

"ආ..ර්..රද්.."

මගේ කටහඬ බිඳෙනකොට දැනුනා මාව ඉහලට එසවෙන ගතියක්.

"අපි හොස්පිට්ල් එක ඇතුලේ ඉන්නේ.. ඇස් වහන්න එපා.. මේවර.. බබා.. මගේ දිහාම බලන් හිටපන් මේවර..හ්.."

සමහරවිට මට පේන එයා ඇත්ත වෙන්න ඇති. මගේ ළඟ ඉන්නවා වෙන්න ඇති.

බොඳවෙලා පේන එයාගේ මූණ දිහා බලලා මම හිනාවුණා.

"ආදර්..ම්හ්.................."

ආරද් ව නොපෙනිලාම ගිහින් හැමදේම අඳුරු වුණා.

🌱

ඊළඟ දවසේ උදෙන්ම ගියේ නුවර හොස්පිට්ල් එකට.

නිස්සා එයාව දකිනකොට එයා බෙහෙත් ගන්න ඇවිත් හිටියලු. ඒ කියන්නේ එයා අසනීපෙන්ද? මගේ කොල්ලා.

රිසිප්ශන් එකේ ඉන්න නර්ස් එක්ක කොච්චර වලි කෑවත් පේශන්ට්ස්ලගෙ ඉන්ෆොමේශන්ස් පිට අයට දෙන්න බෑ කියනකොට නම් ඉබේම දත්මිටි කැවුනා.

"හිටපන්කෝ අරා පොඩ්ඩක්.. අප්පච්චී ඔපරේශන් එකක් කරලා ඇවිත් දැන් බ්‍රේක් එකක් ගන්න රූම් එකේලු. අපි පොඩ්ඩක් බලමු එයත් එක්කත් කතා කරලා.."

නිස්සා ඉස්සර වෙනකොට අපි ඌගෙ පස්සෙන් ඇදුනා. කොහොම හරි කමක් නෑ මගේ කොල්ලා ඉන්න තැනක් දැනගන්න තියෙනවා නම් ඒ ඇතී.

"අප්පච්චී.."

"මොකද කොල්ලෝ මේ.. කට්ටියම ඇවිත් වලියක් වත් අල්ලලද ඉන්නේ ඈ..? කී දෙනෙක් හොස්පිට්ල් ඇඩ්මිට් කලාද?

"අප්පච්චී.. එහෙම එකක් නෙමේ.. අහන්නකෝ.. අපි මේ කෙනෙක්ව හොයනවා..

අපේ කැම්පස් එකේ හිටපු කොල්ලෙක්.

ඊයෙ අප්පච්චීව හම්බෙලා ආයෙම ගෙදර යනකොට මට හොස්පිට්ල් එක ඉස්සරහදි හම්බුණේ..

අප්පච්චී ප්ලීස් අපිට ඒ බෝයිව හොයාගන්න සපෝට් කරන්නකෝ.."

"මේ හොස්පිට්ල් එකට දවසකට කොල්ලෝ කීයක් එනවා කියලද?

"අන්ක්ල්.. ප්ලීස් මට එයාව හොයාගන්න හෙල්ප් කරන්නකෝ.. ඒ ඉන්නේ මං ආදරේ කරන කොල්ලා අන්ක්ල්.. "

නිස්සා මගේ පිටට තට්ටු කලේ මාව සන්සුන් කරවන්න වෙන්න ඇති.

ඒත් එක මට තේරිලා තිබුණේ එයා නැති තැන, එයාව හොයාගන්න නැති තැන, සල්ලි බලය බල්ලට ගිහිල්ලා තියෙන්නේ කියලා. උඹ කොහෙද ඉන්නේ මේවර..?

"මෙහෙමයි කොල්ලෝ.. ඒ පුතා OPD එකෙන් බෙහෙත් ගත්තු කෙනෙක් නම් CCTV චෙක් කරලා තමා දෙයක් දැනගන්න වෙන්නේ. ඇතුලේ ක්ලිනික් එන පේශන්ට් කෙනෙක් නම් මට විස්තර හොයලා දෙන්න පුලුවන් වේවි.."

"එයා OPD එකට වෙන්න ඇති එන්න ඇත්තේ අන්ක්ල්. එයාට ක්ලිනික් යන්න තරම් අසනීපයක් තිබ්බේ නෑ.."

"ඒත් අරා එදා අයියා ළඟ බෙහෙත් ගොඩක් එක්ක ෆයිල් එකකුත් තිබ්බනේ.."

නිස්සා කියනකොට මගේ නළල රැලි වෙන්න ඇති.

"කොල්ලගේ නම මොකක්ද පුතා..?

"දිසස්..

"දිසස් මේවර රත්වත්තේ..?

"අංකල් කොහොමද දන්නේ..?

"ගෝඩ්.. එහෙනම් ඒ දිසස් පුතා.."

"අප්පච්චි දිසස් අයියව දන්නවද?

"හ්ම්ම්.. දන්නවා..

ඔක්කොටම කලින් කට්ටියම වාඩි වෙන්නකෝ.. කෝ.."

මං හිතන්නේ මම මේ තාක් කාලෙකට ශොක් වෙච්ච දවස අද.

මගේ කොල්ලගේ ජීවිතේ සල්ලි නැතිකමට උගස් වෙලා.

ඌ මෙච්චරකල් මැරෙන්න හිත හදාගෙන ජීවත්වෙලා තියෙන්නේ. මාව දාලා යන්න හිත හදාගෙනම මට කැමති වෙලා තියෙන්නේ.

අන්තිමට එයා මට දීපූ ඒ හිනාව මගේ ඉස්සරහා ඇඳිලා නැතිවෙලා ගියා.

උඹ ඒ තරං අසරණ වුනාද මගේ රත්තරනේ.

කරන්න දෙයක් නැති තැන මැරෙන්නම හිතහදාගත්තද උඹ..?

"මම මොකක්ද කරන්න ඕනි අන්කල්..?

"දිසස් පුතාගේ ඔපරේශන් එක කරන්න ඕනෙ පුලුවන් තරම් ඉක්මනට.  අද හෙටම වුනත් කමක් නෑ.. මොකද එයාට වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ.."

මගේ අත් මිට මෙලවුනා.

"අන්ක්ල් ඔයා ඔපරේශන් එකට රෙඩි වෙන්න. මම එයාව එක්කන් එන්නම්. ඒත් ඔක්කොටම කලින් එයා ඉන්න තැනක් දැනගන්න ඕනි.."

"මම දන්නෑ පුතා ඔය දෙන්නා අතර තියෙන සම්බන්ධෙ මොකක්ද කියලා. ඒත් එයා ඔයාගේ කවුරු හරිම වෙලා ඔයා ඒ ළමයට උදව් කරනවා නම් මම කැමතියි. හරිම අහිංසක කොල්ලෙක්. අතෑරගන්න එපා.."

"ආයෙමත් එහෙම වෙන්නෑ අන්ක්ල්.."

වෝඩ් එකෙන් එලියට ආවෙම මේවරගේ ඇඩ්‍රස් එක අතේ ගුලි කරගෙන වෙනකොට ඒත් එක්කම මගේ ෆෝන් එක රිංග් වුණා.

"බොස් ඉල්ලපු විස්තර ඔක්කොම තියෙනවා.."

ඒ පැත්තෙන් ආපු කටහඬට සවන්දීපු මම එහෙමම වට්සැප් එකට ඇවිත් තිබුණු ඩොකියුමන්ට් එක ඕපන් කලා.

අදද ඊයෙද කියලා නෑ.. උගේ අම්මයි අප්පච්චී නැතිවෙච්ච දවසේ ඉඳලම මගේ කොල්ලා විඳලා තියෙන්නේ දුක් විතරයි.

ඊට පස්සේ මම.. මාත් ඌට දුන්නේ දුක් විතරයි..

මාත් ඇතුළුව අපේ වුන්ගේ කටවල් වැහිලා තිබුණා.

එකතු වෙලා කලේ කොයි වගේ වැරැද්දක්ද කියලා හැමෝටම ආයෙ ආයෙමත් තේරුම් ගිහිල්ලා තිබුණා.

"අරා... අර බලපන්.."

"මේවර........."

මං දන්නෑ මගේ කටහඬ එයාට ඇහුනද කියලා. ඒත් හොස්පිට්ල් එක පැත්තට එමින් ගමන් ඉන්න මේවර දිහාවට මම දුවලා ගියා.

ඒත් මගේ අඩි ඉස්සරහට යන්න කලින් මගේ ඇස් ඉස්සරහම එයාව බිමට කඩන් වැටුනා..

"මේවර............"

"නැගිටින්න.. බබා.. මේවර.. නැගිටින්න.."

මං දන්නෑ එයාට මාව ඇහෙනවද කියලා.. ඒත් මම දැක්කා එයා මගේ කටහඬ නිසාදෝ මගේ මූණ තියෙන පැත්ත බලනවා..

මම එහෙමම එයාව අත් දෙකට උස්සගෙන හොස්පිට්ල් එක පැත්තට හැරුනා..

"ආ..ර්..රද්.."

හරියටම සති දෙකකට පස්සේ ඒ කටහඬ ඇහෙනකොට, මම තවත් තද කරලා එයාව තුරුල් කරගත්තා.

"අපි හොස්පිට්ල් එක ඇතුලේ ඉන්නේ.. ඇස් වහන්න එපා.. මේවර..

බබා..

මගේ දිහාම බලන් හිටපන් මේවර..හ්.."

මං දැක්කා අනුරුද්ධ අන්කල් මේ පැත්තට දුවන් එනවා. සමහරවිට නිස්සා කියන්න ඇති.

"ආදර්..ම්හ්.................."

මොකක්ද...?

ගෙනාපු ට්‍රොලියෙන් එයාව තියන ගමන් මං ඇස් ලොකු කරගෙනම ඒ පියවිලා තියෙන ඇස් දිහා බැලුවා.

උඹ මොකක්ද ඒ කියන්න හැදුවේ මේවර.

මම හිතින් ඇහුවා.

මොකද මාව ගොලුවෙලා තිබුණා.

🌱

🌱

☘️

හීරස්සගලට මල් වැහි වහින ගමන් තිබුණා.

දිසානායක වලව්ව ඉස්සරහා තිබුණු අක්කර ගානක ඉඩම හත් මගුලකට සරසලා තිබුණා.

කැම්පස් එකේ ඉන්න ඔක්කොම වගේත් මං හිතන්නේ රටින් බාගයක්ම ඇවිත් තිබුණා.

මගේ අත උණුහුම් අතකට තද වෙලා තිබුණා.

දිසානායක මුදියන්සේලාගේ ආරද් ගෞර්‍ය දිසානායකගේ මංගල්ලේ ජයටම සැමරෙන ගමන් තිබුණා.

"උඹට සතුටුයිද බබා.."

අර ඉස්සර දවස් වල වචනෙන් දෙකෙන් කතාව ඉවර කරපු සීතල ඇස් තියෙන මනුස්සයා කටකාර ආදරකාරයෙක් වෙලා තිබුණා.

ඉතින් ආදරේ දෙන්නම මාව මේ ලෝකේ නවත්තගත්තු ඒ ආදරකාරයගේ කටහඬ ඇහෙනකොට, දිසස් මේවර රත්වත්තේ - නැහැ අද ඉඳලා දිසස් මේවර දිසානායකගේ හදවත පැයට කිලෝමීටර දාස් ගානක වේගෙන් එහෙ මෙහේ දුවන ගමන් තිබුණා.

මං එයාගේ මූණ මගේ එක අතකින් අල්ලලා හිනාවෙලා ඒ බෙල්ල අස්සට මූන ඔබාගන්නකොට මට ඒ හුස්ම මගේ කනගාව දැනුණා.

"බබා.. උඹ දන්නවා මම දැනගෙන හිටියේ නෑ ආදරේ කියන්නේ මොකක්ද කියන්න.

ඒත් අද කවුරුහරි කෙනෙක් මගෙන් ඇහුවොත් මොකක්ද ආදරේ කියන්නේ කියලා..

මම පෙන්නනවා උඹව - මට මේ ලෝකේ ආදරේ කියලා අර්ථකථනය කරන්න පුළුවන් එකම දේ..

මං උඹට මහ හුඟක් ආදරෙයි මේවර..."

🌱☘️

THE END

🌱☘️

ආදරේ ලැබෙන්න ලැබෙන්න මං ආදරේට ලෝභ කරනවා. ඉතින් මගේ කතා වලට තියෙන ඔයාලගේ ආදරේ අකුරු කරලා මට දෙන්න පුළුවන්ද 🙈❤️

PreviousContents
Last Chapter
PreviousContents
Next