Chapter 6: 05•

තේව් (TAEKOOK)Words: 41998

"ආහ් පුතා!අම්මා කිව්වා ඔයා ටවුන් එකට ගියා කියලා...මොකද හදිස්සියේ?"මෙවාන්ගේ අප්පච්චිගේ හඬ තමයි ඒ.."ඔව් අප්පච්චි...අප්පච්චි කීයටද ආවේ?ගොඩක් වෙලාද ඇවිත්?"මෙවාන් ඉස්තෝප්පුවේ තිබුණු පැරණි කවිච්චි පුටුව මත ඈදි වෙන අතරේ අප්පච්චිගෙන් ඇහුවා..

"මහ ලොකු වෙලාවක් නෑ සුදු මහත්තයෝ!අද උදෙන්ම තේ වත්තට ගියාට මොකද මේ වැස්සත් එක්ක ඒ මිනිස්සු එක්ක හරියට කතා කරන්නවත් ලැබුනේ නෑනේ,වැස්ස පායනකල් අන්දිරිස් මුදලාලිගේ බංගලාවේ තමයි හිටියේ..."

"ඕහ් අප්පච්චි දහම් බංගලාවේ හිටියේ නැද්ද? මිනිහාව දැකලා දවස් දෙකක් වෙනවා.."මෙවාන් අතේ තිබුනු බෑග් එක කවිච්චියේ කෙළවරකින් තිබ්බා.."ඔය හිටියේ,කොල්ලා තමයි කෝපි කෝප්පේ ඉඳලා මටයි අන්දිරිස්ටයි ගෙනත් දුන්නේ...අන්දිරිස්ගේ මැණිකේ අසනීප වෙලාලුනේ...ඉතින් කොල්ලා තමයි බංගලාව පුරා එහෙට මෙහෙට දුවලා වැඩ ටික කලේ අඳ"

"හෙටවත් ඒ පැත්තේ යන්න ඕනේ අප්පච්චි..."මෙවාන් බර හුස්මක් පිට කරලා දාලා ඇඳගෙන සිටි අත් දිග කමිසයේ එක අතක් නවන්න ගත්තා.."ආහ් මේ ඉන්නේ!සුදු මහත්තයා ආවා නම් කතා කරන්න බැරිද?"සුදු මැණිකේ අතේ තිබුන තේ බන්දේසිය ජයසූරිය උන්නැහේගේ දිහාවට දික් කරද්දී ඔහු තේ කෝප්පය අතට ගත්තේ හකුරු කෑල්ලක්ද සමඟින්...

"කෝ අම්මා මට?"මෙවාන් ඇස් හීනි කරගෙන සුදු මැණිකා දිහා බලලා ලාවට කට ඇඳ කලා.."මම තේ හැදුවේ අප්පච්චිට විතරයි...හොර පූසා වගේ කොයි වෙලෙත් බංගලාවට එනවා යනවා..සද්දයක්වත් නෑ..."මැණිකා ඇවිත් මෙවාන් ඈදි වෙලා හිටිය කවිච්චියේම අනෙක් කෙළවරෙන් ඈඳි උනා..

"අනේ මේ අම්මා!මං කොහෙද සද්ද නොකර බංගලාවට ආවේ ගියේ?නොකරපු දේවල් කියන්න එපා හරිද? ඔයාගේ පුතාට මල පනිනවා"මෙවාන් හුරතල් විදිහට සුදු මැණිකාට ඔරවලා මැණිකාව තුරුලට ළං කරගත්තා..

"කමලා!!!මෙන්න මේ කොල්ලට තේ එකක් හදාගෙන එන්න,වද දෙනවා ඉවරයක් නෑ"සුදු මැණිකා මෙවාන්ට රවලා අහක බලා ගනිද්දී මේ දෙන්නගේ කෝලම් දිහා බලාගෙන ඉන්න අප්පච්චිටත් හිනා ගියා...ඒත් එක්කම සුදු මැණිකාගෙ කන ළඟට ළං උනු මෙවාන්,"අම්මා!! අප්පච්චි දන්නවද?"මැණිකාට ඇහෙන විදිහට මිමිණුවා..

"ඔව් මං එයාට කිව්වා,නේද ඒයි?අර ළමයා පවු නේද?බංගලාවේ වැඩ පලකට උනත් කොල්ලාව උදව් කරගන්න පුළුවන්...නිකම් ඉන්න ඕනේ නෑනේ එතකොට..."සුදු මැණිකා කියද්දී තේ කෝප්පේ තොල ගාමින් සිටි ජයසූරිය උන්නැහේ සුදු මැණිකා දිහා බැලුවා..

"අම්මා මොකක්ද මේ කියන්නේ?මං හිතුවා ඔයාලා එයාව මෙහෙ නතර කරගන්න එකට අකමැති වෙයි කියලා..."මෙවාන් පුදුමෙන් වගේ දෙන්නගෙම දිහා බලද්දී සුදු මැණිකාට වගේම අප්පච්චිටත් හිනා ගියා..ඒ ක්ශණිකව හිනාව පාලනය කරගත්තු අප්පච්චි ආයෙමත් තේ කෝප්පෙට අවධානේ දුන්නා..

"පවු පවුලේ කවුරුත් නැති අසරණයෙක් නේ,ඔයා කොල්ලට කවුරුත් නෑ කියලා කියනකල් මං එහෙම තීරණයක් ගන්න හිතුවේ නෑ,ඒත් ඒක අහලා මට ඇත්තටම දුක හිතුනා"සුදු මැණිකා සුසුමක් පිට කරද්දී මෙවාන්ට ඔහුගේ අම්මා ගැන ඇත්තටම ආඩම්බර හැඟීමක් දැනුනා..

"සුදු මහත්තයා මෙන්න තේ එක!!ආහ් මේ හකුරු කෑල්ලත් ගන්න"කමලා දික් කරද්දී මෙවාන් ඇයට ස්තූති කරලා තේ කෝප්පේ ළඟට ගත්තා..ඒත් එක්කම කමලා ආයෙමත් ගියේ කුස්සිය දිහාවට.."අම්මා!! සීතා ආන්ටි අසනීප වෙලාලු...දන්නවද ඒක?"මෙවාන්ට අමුතුම සතුටක් දැනුනා පුංචි කොල්ලව බංගලාවේ නතර කරගන්න අම්මයි,අප්පච්චි දෙන්නම තහංචියක් නොදාපු නිසා...

"මොනවා?"සුදු මැණිකා මෙවාන් දිහා බැලුවම මෙවාන් ඔලුව වැනුවා.."ඔව් අම්මා මං හෙට යනවා එහේ,අම්මත් ඕනේ නම් එන්න"මෙවාන් තේ පානය උගුරෙන් උගුර ඇඳලා ඉවර කලේ හකුරු කැබැල්ල විටින් විට දත් අතරට හසු කරමින්...

"ඔව් එහෙනම් යමු දෙන්නම"මෙවාන් සුදු මැණිකා එක්ක හිනා වෙද්දී,"මැණිකේ මං කාමරේට යනවා..දෙන්නත් එක්ක කතා කර කර ඉන්නකෝ එහෙනම්...සුදු මහත්තයා මං නිදාගන්න යනවා.."අප්පච්චි ඉස්තෝප්පුව මතින් නැගිට්ටා.."හරි අප්පච්චි,නිදාගන්න එහෙනම්...බුදු සරණයි!!" ඒත් එක්කම අප්පච්චි මෙවාන්ගේ ඔලුව අත ගාලා එතනින් යන්න ගියා..

"අම්මා අරයා කෝ?"මෙවාන් සුදු මැණිකාගේ කනට කොඳුරද්දී සුදු මැණිකා ඇහි බැමක් උස් කරලා මෙවාන්ගේ ළඟ තිබුන සුදු පැහැති තරමක් විශාල බෑග් එක ඇඳලා ගත්තා.."එයා එයාගේ කාමරයේ.."සුදු මැණිකා බෑග් එක එහෙට මෙහෙට කලා.."මොන කාමරයේද අම්මා?"මෙවාන් වට පිට බලන අතරේ සුදු මැණිකා මෙවාන් දිහාත් බෑග් එකත් දිහාත් විටෙන් විට බැලුවා.."කෙළවරේ කාමරේ දරුවෝ..සුදු මහත්තයා මොනවද මේ?"

"තේව්ට ඇඳුම් ටිකක් ගත්තා අම්මා!එයාට මගේ ඇඳුම් ලොකුයිනේ"මෙවාන්ගේ මූණේ මෙවාන්ට නොදැනි හිනාවක් ඇඳිලා ඒත් එක්කම මැකිලා ගියා.."අනේ ඒක හොඳයි,එයාට ඔයාගේ ඇඳුම් ගොඩක් ලොකුයි...දැක්කනේ අද හිටපු විදිය..කොල්ලා නම් හරිම ලැජ්ජයි.."සුදු මැණිකා කියද්දී මෙවාන්ට මතක් වුනේ අද දවසෙම කොල්ලා කමිසය අත් දෙකෙන් අල්ලන් ලැජ්ජාවෙන් හිටපු විදිය...

"සුදු මහත්තයා ඔය ටික එයාට ගිහින් දෙන්න,මං යනවා ඇතුළට"අම්මා කවිච්චිය මතින් නැගිට්ටා.."හරි අම්මා මාත් යනවා නාගන්න"මෙවාන් සුදු මැණිකාගේ අතක් අරගෙන ඒ අත මතින් හාද්දක් තියලා හිනා උනා.."මගේ කෝලම..."සුදු මැණිකා කොල්ලගේ කොණ්ඩේ අතින් අවුල් කරලා දාලා එතනින් යන්න ගියා...බර හුස්මක් පිට කරලා දාපු මෙවාන් බෑග් එකත් අතට අරගෙන ඇවිදගෙන ගියේ බංගලාවේ කෙළවරේම තිබුන කාමරේ දිහාවට...

අඩ අඳුරක ගිලිලා තිබුණ බංගලාවේ කෙලවර කොටසට ඔය කිව්ව කාමරයත් අයිති උනා..මේ වෙද්දිත් කාමරයේ දොර භාගෙට ඇරිලා තිබුනා..කොල්ලා තවමත් නිදි නැහැයි කියලා ඇරලා තිබුන දොරෙන්ම තේරුම් ගත් මෙවාන් ඒත් එක්කම දොරට තට්ටු කලා.."ක්-කවුද..?"කොල්ලගේ කටහඬ ඇහෙද්දී මෙවාන් අඩියක් ඉදිරියට තිබ්බා.."මං මෙවාන්!! ඔයා නිදි නැද්ද?"මෙවාන් හඬ මඳක් උස් කරලා ඇහුවා..

"....."

"තේව්!!"කාමරයට ඇතුලු උන මෙවාන් අඳුරෙම බිත්තිය දිගේ අත යවලා ලයිට්ස් ඔන් කලා..ඇස් පිල්ලම් නොගහා තම ඇස් ඉදිරියෙන් පේන දර්ශනේ දිහා බලාගෙන හිටියා..අනේ..කොල්ලා සීතල පොළොවේ බිම ගුලි ගැහිලා අනෙක් පැත්ත හැරිලා කොට්ටයක් තුරුලු කරගෙන ඉන්නවා..මෙවාන්ගේ හදවත එක් තැන නතර උනා වගේ දැනෙන්න ගත්තා..රෙද්දක්වත් නැතුව කොහොමද දෙයියනේ මනුස්සයෙක් සීතලේ නිදාගන්නේ?

"කෝ නැගිටින්න!මම ඇවිල්ලා හැම එකම ඇන ඇන කියන්න ඕනෙද තේව්? මෙච්චර ලොකු ඇඳක් තියෙද්දී බිම ඉන්න තරම්..දැන්ම නැගිටින්න.."මෙවාන් බෑග් එක ඇඳ උඩට විසි කරලා කොල්ලා ළඟට ඇවිදගෙන ආවා.."කෝ ඇහුනේ නැද්ද මං කිව්ව එක?"මෙවාන් ටිකක් සැර කරලා ඇහුවාම කොල්ලා මෙවාන්ගේ පැත්තට හැරුනා..

"ම්-මං මෙතන ඉන්නම්..ම්-මට සීතල නෑ.."කොල්ලා කිව්වත් ඒත් එක්කම තේව්ව අතින් ඇඳලා ගත් මෙවාන් හීනි උන ඇස් දෙකකින් කොල්ලගේ දිහා බැලුවා.."ඔව් මට තේරෙනවා සීතල නෑ කියලා.."පුංචි පරතරයකින් දෙන්නට දෙන්නා ඈත් වෙලා ඉද්දී මෙවාන්ගේ තියුණු දෑස් තේව් දැක්කේ පළමු වතාවට...ඒ ඇස් කිමිදිලා ගිහින් නතර වෙන තැනක් නොපෙනන තරම් ගැඹුරුයි..

"ඇඳට යන්න...මම යනවා"මෙවාන් තේව් ඇඳට යනකල් බලාගෙන හිටියා..පුංචි තේව් බයෙන් ඇස් පිල්ලම් ගහලා මෙවාන් දිහා නොබලා ඇඳට ගියා...ඒ තියුණු ඇස් දිහා බලන්න තරම් ශක්තියක් පුංචි කොල්ලට තිබ්බේ නෑ,කොල්ලට ඒ ඇස් දැක්කම දැනුනේ බයක්..ඇඳේ දිගා උන කොල්ලා අනෙක් පැත්ත හැරුනා..

වට පිට බලපු මෙවාන් ඇඳ උඩ නවලා තිබුනු සුදු පැහැති ශීට් එක සම්පූර්ණයෙන්ම අතින් දිග ඇරලා කොල්ලාගේ ඇඟ වැහෙන විදියට ඇඟ උඩින් එලලා සුසුමක් පිට කලා..ඇඳ උඩට කලින් විසි කල බෑග් එක අතට අරගෙන පරිස්සමට මේසෙ උඩින් තියලා දොර දිහාවට ආ මෙවාන් ලයිට්ස් නිවලා දාලා දොර අතින් ඇඳගෙන එළියට ආවා...

~

"හොඳට කන්න ම්ම්..."කමලා කුරුල්ලන්ට කෑම දාන ලෑල්ලට මිදි,ඇපල් පතුරු කිහිපයක් වගේම දොඩම් බික් කිහිපයක්ද හෙමින් සීරුවට අත් ඇරියා...පලතුරු දාලා මඳක් අයිනට වී ඇය බලා සිටියේ බට්ටිච්චෝ රංචුව අවුත් ලෑල්ල වට කර ගත් දර්ශනය දිහා...ඇය දිනපතා කරන රාජකාරි වලින් මෙයත් එක් රාජකාරියක් උනා..සමහර දවස් වලට මේ රාජකාරිය ස්වේච්ඡාවෙන්ම භාරගන්න පුද්ගලයා උනේ මෙවාන්..මෙවාන් අහිංසක සත්තුන්ට හරිම ආදරෙයි..හරිම ආදරයෙන් සලකනවා..

"ඔහ් තේව්!නැගිට්ටද දරුවෝ?"උදේ පාන්දරම කිරි අරගෙන එන කපිලගෙන් ගත් කිරි බෝතලයේ තිබූ කිරි,වීදුරු කිහිපයකට දාලා පිලියෙල කර ගත් ඇය උළුවහුවට හේත්තු වෙලා ඇය දෙස බලා සිටින පුංචි කොල්ලාගේ හුස්ම පිට කරන සද්දෙ ඇහෙනවත් එක්කම කොල්ලා දිහා බැලුවා..

"ඔව් න්-නැන්දේ...ම්-මගෙන් මොනා හරි උදව්වක් ඕනෙ නම් කියන්න..."කොල්ලා ඔලුව බිමට බර කරගෙන දොඩද්දී ඇය ඔහු දෙස බලාගෙන ලස්සනට හිනා උනා.."අනේ පුදුමයක්ද මේ? මේ දරුවා මගෙත් එක්ක කතා කලා නේද?"ඇය හිනා වෙවී කියද්දී කොල්ලට ලැජ්ජාවක් දැනුනා..ලැජ්ජාව නිසාම පුංචි කකුලේ ඇඟිලි සීතල මැටි පොළොවට තියලා ගුලි කලා...

"හරි හරි,වැඩක් නේ ඕනේ...මෙහෙම කරන්න තේව්.."ඇය වීදුරු බෝතලයක් විවෘත කරමින් ඒ තුල තිබුන මාරි බිස්කට් පැකට් එක කඩලා දීසියකට දමලා ඒ දීසිය කිරි වීදුරු තිබුන බන්දේසිය උඩින් තිබ්බා.."ම්-මොකක්ද නැන්දේ?"තේව් ඔලුව මඳක් ඔසවමින් ඇය කරන දේ දිහා බලාගෙන හිටියා...

"සුදු මහත්තයාව ඇහැරවලා මේ කිරි එක එයාගේ මේසෙ උඩින් තියලා එන්න....අනෙක් පැත්ත හැරිලා වැස්ස නිසා හොඳට නිදි ඇති..."ඇය බන්දේසිය කොල්ලාගේ අත මත තැබුවා..."මං තියන්නම්.."තේව් අහිංසක විදිහට ඔලුව නමලා අඩියක් ඉස්සරහට තිබ්බා..

"දරුවෝ!! අනිත් කිරි කෝප්ප දෙකත් මෙවාන්ගේ අප්පච්චිටයි,වත්තේ ඉන්න කමලාටයි දීගෙනම යන්නකෝ..."ඇය හඬ උස් කරමින් කියලා කුස්සියේ ඉතුරු වෙලා තිබුන වැඩ පල ටිකට අවධානේ දුන්නා..බන්දේසියටම අවධානේ දීපු තේව් බංගලාවේ කාමර කිහිපයක් පහු කරගෙන ඇවිද්දා..මුලින්ම කොල්ලගෙ ඇස් දෙකට ගැටුනේ වත්ත අතු ගාමින් සිටින කමලාවයි..ඒ එක්කම වත්ත දිහාවට හැරුණු කොල්ලා කමලා දිහාවට ඇවිදගෙන ගියා...

"අනේ ඔහොම ඉන්න ළමයෝ,මං එන්නම්...ඔය පරිස්සමෙන්!! ඔය බන්දේසිය බිඳුනොත් නම් මැණිකේ කවුද කියලා උබට දැනගන්න පුළුවන් වෙන්නේ දැන් තමයි"කමලා ඉදල තාප්පෙට හේත්තු කරලා කොල්ලගේ ඉස්සරහට දුවගෙන ආවා..

"අනේ!!මැණිකේ මටත් කිරි එවලාද? මොකට කරදර වෙනවද මන්දා.."කමලා ඇඟේ දිගට ඇඳගෙන සිටි සායෙන් අත් දෙක පිහිදගෙන තාමත් දුම පිටවෙන කිරි කෝප්පෙ අත් දෙකට ගත්තා.."නැන්දේ...අ-අර මාමා කෝ?"කොල්ලා බෝල ඇස් එහෙ මෙහෙ යවමින් වත්ත පුරා හෙව්වේ ජයසූරිය උන්නැහේව..

"ආහ් ලොකු මහත්තයාද? ලොකු මහත්තයා පිටිපස්ස පැත්තේ ඇත්තේ...කෝ ඕක දියන්කො කොල්ලෝ...මං ගිහින් ලොකු මහත්තයාට දෙන්නම්.."කමලා බන්දේසියේ තිබුන තව කිරි කෝප්පයක් අතට අරගෙන ඒ දිහාවට ඇවිදගෙන ගියා..

තව එක කෝප්පයක් ඉතුරුයි...අනෙක් කෝප්ප වලට වඩා ඒක පෙනුමෙන් වෙනස්..ඒ වගේම අනෙක් කෝප්ප වලට වඩා ඒ කෝප්පේ තිබුන කිරි ප්‍රමාණයෙන් වැඩි උනා..බර හුස්මක් පිට කරපු තේව් බංගලාව ඇතුලට අඩිය තියලා වට පිට බලන අතරෙම මෙවාන්ගේ කාමරය පැත්තට ගියා..

දොර ඇරගෙන කාමරයට ඇතුලු උන කොල්ලා හිරු එළිය ලාවට සුදු තිර අතරෙන් කාමරයට වැටිලා තිබුන නිසා ඒ ආලෝකය ආධාරයෙන් ඉස්සරහට අඩියක් ගානේ තියමින් ඇවිද්දා..බන්දේසිය මේසෙ උඩින් තැබූ තේව් උඩුබැලි අතට නිදාගෙන ඉන්න කාමරයේ අයිතිකාරය දිහා බැලුවා..

ඊයේ රෑ තමන්ගේ ඇස් වලින් දැකපු ඒ තියුණු දෑස් මතක් උන පුංචි තේව්ගේ හදවතේ ස්පන්දනය මඳක් නොසන්සුන් උනා.."ක්-කොහොමද ඇහැරවන්නේ?"හිතත් එක්ක වාද කරමින් හිටිය කොල්ලා ටික වෙලාවක් ඔහු දෙස බලාගෙන ඉඳලා ඔලුවත් පාත් කරගෙන ඇඳ දෙසට කිට්ටු උනා..

ඇඳ දෙසට කිට්ටු උන කොල්ලා ගැහෙන හදවතින් යුතුව තොල් විවර කරමින් මෙවාන්ව ඇහැරවන්න උත්සාහ කලත් ඊයේ රෑ දැකපු නපුරු මුහුණ මතක් වෙද්දී කොල්ලගේ වචන ගොලු උනා..මෙවාන් පොරවගෙන හිටිය සුදු රෙද්ද දිහාවට ඇස් ගෙනිච්ච කොල්ලා යටි තොල දත් අතරට හසු කරගෙන එක පාරම රෙද්දෙන් අඳින්නට උනා..

කිසිම සෙලවිල්ලක්වත් මෙවාන්ගෙන් ප්‍රතිචාර ලෙස නොලැබුනු නිසා ඒ කරපු දෙයින් පලක් නෑ කියලා තේරුම් ගත් තේව් අපහසුවෙන් හුස්ම පිට කරලා අතක් ඉදිරියට දිගු කලා..ඒ පුංචි අත ගිහින් මෙවාන්ගේ කමිසයෙන් අල්ල ගනිද්දී කොල්ලා මෙවාන්ගේ කමිසයෙන් අඳිමින් ඔහුව අවදි කරන්න උත්සාහ කලා..

නිද්‍රාශීලි බර වුනු ඇස් පියන් හෙමින් හෙමින් විවෘත උනේ කවුරුන් හෝ තමාව අතින් අඳිනවා කියලා දැනුන නිසා.බොඳ වෙලා යම් රූපයක් තමාගේ ඉදිරියෙන් පෙනෙන්නට උනා..අත යවමින් ඇස් දෙක කැසුව මෙවාන් ඇස් පිල්ලම් කිහිපයක් ගහලා ඒ බොඳ වෙලා පේන රූපේ දිහා පැහැදිලිව බැලුවා..

ඔලුවත් බිමට බර කරගෙන මෙවාන්ගේ කමිසයෙන් අඳින පුංචි හොර ගල් අහුලන්නාව දුටු මෙවාන්ගේ මුහුණේ ලාවට හිනාවක් ඇඳුනා.."මාව ඇහැරවන්නද ආවේ?කවුද අපේ අම්මාද එව්වේ?"මෙවාන් කියද්දී ඉක්මනින්ම මෙවාන්ගේ කමිසයෙන් අත අයින් කරගත් කොල්ලා වේගෙන් ඇස් පිල්ලම් ගැහුවා..

"...."

"ආහ් මට අමතක උනානේ ඔයා ගොලුයි කියලා...දැන දැනත් ප්‍රශ්න අහන මට පිස්සුද කොහෙද.."හිර කරගෙන සිටි හිනාව පිට කරන්න මෙවාන්ට ඕනි උනත් ඒක ඒ විදියටම හිරකරගෙන සිටි මෙවාන් ඇඳ උඩින් බැහැලා පොරවගෙන සිටි සුදු රෙද්ද නමන්නට උනා..

"ක්-කිරි.."කොල්ලා හෙමින් කියද්දී වට පිට බැලුව මෙවාන් පුංචි කොල්ලා දිහා බැලුවා..."කෝ මොන කිරිද?"මෙවාන් රෙද්ද නවලා පැත්තකින් තියද්දී මේසේ දිහාවට හැරුණු කොල්ලා කිරි කෝප්පේ දිහාවට ඇඟිල්ල දිගු කලා...

"ඔහ් කිරි!!තෑන්ක්ස් තේව්.."මෙවාන් තේව්ට ස්තූති කරලා මේසෙ ළඟට කිට්ටු උනා..."ම්-මේ බිස්කට් ටිකත් න්-නැන්දා දෙන්න කිව්වා"තේව් කියාගෙනම කාමරයෙන් එලියට දිව්වා..ආයෙමත් මුහුණෙ හිනාවක් ඇඳිලා යනවත් එක්කම නලල අතින් මිරිකගත් මෙවාන් කිරි එක අතට අරගෙන ඒ දිහා බලාගෙන හිටියා...

~

"පොඩි මහත්තයා....!"දොර ළඟින් ඇහුන හඬට ඒ දිහාවට ඇවිදගෙන ආපු මෙවාන් දොර ඇරියා..."ඕහ් කමලා මොකක්ද කාරණය?"මෙවාන් තෙත බේරෙන කොණ්ඩේ තුවායෙන් පිහිදන්න ගත්‍තා..."සුදු මැණිකේ කිව්වා ලෑස්ති වෙන්න කියලා...අන්දිරිස් මුදලාලිගේ බංගලාවට යන්න"කමලා කියද්දී ඔලුව වනපු අඩ නිරුවතින් සිටි මෙවාන් තුවාය කර මතින් දාගත්තා...

"හරි කමලා...මං නාගෙන ආවේ ලෑස්ති වෙන්න තමයි...අම්මට කියන්නකෝ මං විනාඩි පහෙන් එන්නම් කියලා..."මෙවාන් හිනා වෙලා කිව්වම කමලා මෙවාන් එක්ක හිනා උනා.."හරි මහත්තයා...මං කියන්නම්...ඔය කොන්ඩේ පිහ ගන්න...නැත්තන් ලෙඩ වෙයි"කමලා කියාගෙනම එතනින් යන්න ගියා..

අන්තිමේදී තේ වත්ත පැත්තට යන්න ලෑස්ති උන මෙවාන් කාමරයෙන් එලියට ආවේ වාහනයේ යතුරත් අතට අරගෙන..."හරි නේද අම්මා?යමුද?"මෙවාන් කැටයම් සහිත ආරුක්කුවට හේත්තු උනා.."යන් සුදු මහත්තයා...කමලා අපි යනවා...ලොකු මහත්තයට මොනවා හරි ඕනේ උනොත් ඒ ගැන බලන්න...අපි ගිහින් හවස් වෙන්න කලින් එනවා..."සුදු මැණිකා ඔසරිය අතින් හරි ගස්සන අතරේ බංගලාවෙන් එලියට බැස්සා...

"හරි මැණිකේ...පරිස්සමෙන් ගිහින් එන්න...සීතා නෝනව මතක් කලා කියන්නකෝ...ඉක්මනටම සනීප වෙයි කිව්වා කියන්න"කමලා හදවතින්ම එන වචන ඒ විදියටම සුදු මැණිකේ ඉදිරියේ කියලා දැම්මා..."හරි හරි...මම කියන්නම්කෝ..උබ බය නොවී හිටපන්..."සුදු මැනිකා මෝටර් රථය තුලට නැග්ගා..ඒත් එක්කම මෙවානුත් වාහනෙට නැග්ගා...වත්තෙන් එලියට වාහනේ දානවත් එක්කම ඒ දිහා කමලා වගේම තේව්ත් බලාගෙන හිටියා...

"කොල්ලෝ උබට වැඩක් නැත්තන් මගෙත් එක්ක එනවද පොඩ්ඩක්"කමලා ආයෙමත් ඉදල අතට අරගෙන වත්ත පුරා විසිරිලා තිබුන අරලිය ගහෙන් වැටුන විශාල කොල ටික අතු ගාන්න පටන් ගත්තා.."හා නැන්දේ? කොහෙටද එන්න ඕනේ?"තේව් කමලා අතුගාන දිහා බලාගෙන උන්නා..

"වරෙන් මගෙත් එක්ක මල් ටිකක් කඩන්න යන්න...හවස් වරුවට ඔහේ යන්න බෑ,මඳුරුවෝ විමානේ"කමලා පිළිවෙලට අතු ගාලා ඉවරයක් කරපු වත්තේ එක තැනට එකතු කරගත් කොල ටික උස්සගෙන ගිහින් කොම්පෝස්ට් කොටුවට අත් හැරියා..

"ආහ් ය්-යමු"තේව් ඇය සමඟ ලස්සනට හිනා උනා..ඒ එක්කම කමලා ඉදල එතනම අඩුක් කරලා තේව් ළඟට ආවා.."යන්..පොඩ්ඩක් ඉඳින් මං අත හෝදලා වට්ටිය අරන් එනකන්"කමලා බංගලාව ඇතුලට දුවද්දී තේව් කලේ අඩියෙන් අඩිය තියමින් වත්ත පුරා ඇවිදපු එක...

එක් වරම කඩාගෙන එන සුළං රැලි ගතේ වැඳිලා ආයෙම ඈතට යනවා,හරි අමුතු නිස්කලංක බවක් බංගලා වත්තෙන් තේව්ගේ හිතට දැනුනා..අමුතුම සීතලක් එක්ක මුසු උන මල් සුවඳ වත්ත පුරා හමනවා..බංගලාවට ඇතුල් වෙන තැන වෙනම ලී වැටක් හදලා තිබුනා,වත්ත කෙළවරේ මෝටර් සයිකලයක් තිබුනා..ඒ සයිකලය උඩින් ඉටි රෙද්දක් දාලා..මේ හැමදේටම ඇස් යවමින් ඇවිද්ද තේව් ගැස්සිලා ගියේ කමලා පිටුපසින් ඇවිත් කොල්ලගේ පිටට තට්ටු කරද්දී...

"මොනාද බලන්නේ ම්ම්? වත්තද? කොහොමද ලස්සනයි නේද?"කමලා හිනා වෙන අතරේ කියමින් තේව් එක්ක මල් කඩන්න යන්න සැරසුනා.."ඔව් ගොඩක් ලස්සනයි නැන්දේ...හරිම අමුතුයි..හරිම නිදහස්..."කොල්ලා කොල්ලගේ තරමට කිව්ව කතාව තමයි ඒ..හරිම නිදහස්..ඇත්තෙන්ම ඒ පරිසරයේ ජීවත් වෙන්න ඕනෙ කෙනෙක්ට ආස හිතෙන තරම් ඒ පරිසරය නිදහස් හා සිසිල්..

"ඔව් අපේ සුදු මැණිකා වගේමයි අපේ පොඩි මහත්තයත්...ඒ දෙන්නා ආසයි ගොඩක් පිළිවෙල කියන වචනෙට...ඒකයි මේ දේවල් මේ විදිහට තියෙන්නේ"කමලා තම දිගැටි ගොතපු කොන්ඩේ අතට අරගෙන දෙකට නවලා බූලක් දාගත්තා..

"අනේ කොල්ලෝ උබ ඊයේ නම් ඇඹරී ඇඹරී හිටියේ අපේ සුදු මහත්තයාගේ ඇඳුම් ලොකු නිසා...උබ ඔය තාමත් ඇඳන් ඉන්නේ අපේ සුදු මහත්තයාගේ ඇඳුමක් නේද?"කමලා අහද්දී තමන් ඇඳගෙන ඉන්න ඇඳුම දිහාවට පුංචි කොල්ලා ඇස් ගෙනිච්චා..

"ඊයේ ඇඳුම ගොඩක් ලොකු උනාට මේක නම් ඒ හැටි ලොකු නෑ නැන්දේ"කොල්ලා තොලක් හපමින් උත්තර දුන්නා.."හරි හරි කාරි නෑ,මෙහෙ වරෙන් මල් ටික කඩන්න..."කමලා වට්ටිය කොල්ලගේ අතට දෙද්දී කොල්ලා අත් දෙකෙන්ම වට්ටිය අල්ල ගත්තා..

"අනේ මෙතන හරිම ලස්සනයි නැන්දේ.."මල් විමානයකට ආවා වගේ හැඟීමක් පුංචි තේව්‍ට දැනුනා..ඒ තරම් විශාල ඉඩකඩක හැමතැනම එක එක ජාතියේ මල් වවලා...ඒ හැම ගහකම කොළ නොපෙනන තරමට මල් පිපිලා තිබුනා..පිච්ච,රතු රෝස,නිල් කටරොළු,ඇහැල...හැම වර්ගෙකම මල් ඒ වත්තේ තිබුණා..

"ලස්සන නැතුව පුළුවනැයි...මෙතන ගොඩක් එව්වා හිටෙව්වේ මං උනු කොට..."කමලා හිනා වෙන අතරේ පිච්ච මල් එකින් එක කඩමින් තේව් අත තිබුනු වට්ටියට දැම්මා.."ඔයාද මේව වැව්වේ...ඇත්තටම ලස්සනයි.."තේව් දැනටමත් පිරිලා තියෙන මල් වට්ටිය දිහා දිලිසෙන දෑස් වලින් බලාගෙන හිටියා..ඒත් එක්කම සුවඳ හමන මල් වට්ටියෙන් එක පිච්ච මලක් පුංචි ඇඟිලි දෙකක් අතරට අරගෙන ඒ සුවඳ නහයට ඇඳලා අරගෙන ඇස් පියා ගත්තා..

"දැන් යමු...සුදු මැණිකෙලා එන්න කලින් බතක් එක්ක මොනවා හරි ව්‍යංජනයක්වත් හදන්න එපැයි...කෝ ඕක මට දීපන් පැන් ටිකක් ඉහලම බංගලාව ඇතුලට ගෙනියන්න ඕනේ"කමලා වට්ටිය අතට අරගෙන මල් වත්තෙම තාප්පයට සවි කරලා තිබුන පුංචි කරාමය ඇරලා අතට පැන් අරගෙන ඒ ටික වට්ටියේ තිබුන මල් වලට ඉස්සා...

කමලා කුස්සිය පැත්තට යද්දී තේව් හෙමින් ඇවිදගෙන යන්නට උනේ එයාගේ කාමරය පැත්තට...කාමරය ඇතුලට ආපු පුංචි කොල්ලා බෝල ඇස් එහෙ මෙහෙ යව යව කාමරයේ තිබුනු පැරණි බඩු මුට්ටු දිහා බැලුවා..අතට අරගෙන ඒවා බල බල ආයෙම පරිස්සමට ඒවා තිබ්බ තැනින්ම තියපු තේව් කාමරය පුරා වටයක් ඇවිදලා අවසානයේ නතර වුනේ මේසය ළඟ...

මේසය උඩ පොත් කිහිපයක් තියලා තිබුනා..ඒ පොත් වලින් එක පොතක් අතට අරගෙන දිග ඇරලා නහය ළඟට ලං කලා..

"ම්ම්ම්.."කොල්ලා ඒ සුවඳට ආස කලා...පරණ පොත් වලින් එන ඒ අමුතු සුවඳට කොල්ලා ආස කලා..පොත වහලා දාලා එතනින්ම තියපු තේව් ඇඳ දිහාවට යන්න හැදුවත් පාර්සලයක් වගේ දේකට අත වඳිනවත් එක්කම කොල්ලා ඒ පැත්‍ත හැරුනා..

"ම්-මොකක්ද ඒ?"කොල්ලාගේ හිත කිව්වෙම ඒ දේ මොකක්ද කියලා බලන්න උනත් කොල්ලා ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා..ඒත් එක්කම තම හිත ඉක්මන් වෙද්දී කොල්ලා ඒ බෑග් එක අතට අරගෙන ඇතුලේ තිබුන දේ දිහා බැලුවා...

"ඇ-ඇඳුම්..ම්-ස්-සුදු ම්-මහත්තයාගේ ඒ-ව.."කොල්ලා තනිවම මුමුණමින් බෑග් එක ඇතුලේ තිබුන ඇඳුම් එකින් එක එලියට ගත්තා..එතන කමිස කිහිපයක් වගේම කලිසම් කිහිපයක් තිබුනා..ඒත් බෑග් එක තවමත් බර උනු නිසා කොල්ලා සම්පූර්ණ බෑග් එකම මේසෙ මත හැලුවා.."ස්-සෙරෙප්පු"කොල්ලා මුමුණමින් වෙනම බෑගයක් තුල තිබුන සෙරෙප්පු කුට්ටම එලියට ගත්තා..

"දෙයියනේ.."කොල්ලට එක් වරම කියවුනා..ඊයේ රෑ කොල්ලා ලාවට දැකපු දේද මේ? ඇඳට ගිය වෙලේ මේසේ උඩින් එයා තිබ්බේ මේකද?කොල්ලාට හිතුන දේ හරි.."ඔව් ඒක"කොල්ලා ඇඳුම් දිහා බලාගෙන කල්පනා කලා..ඒත් එක්කම ආයෙමත් ඇඳුම් ටික එක්කම සෙරෙප්පු දෙකත් බෑග් එකට දාපු තේව් අල්මාරිය ඇරලා ඒ බෑග් එක අල්මාරිය ඇතුලට දාලා අල්මාරිය වහලා දැම්මා..

මයේ පොඩ්ඩා💭💖

_________________________________________

laura-bun🍃

දැනුන දේවල් ගැන වචනයක් කියන් යන්න මගේ පැටවු...