Chapter 5 of 15

04. කොටස

BLIND ✔1,123 words~6 min read

මං අදත් ආවා මුහුදු වෙරළට.... ඇඳන් හිටපු දුහුල් ටී ෂර්ට් එක අස්සෙන් මුහුදු හුළං පාවෙලා ගියේ ඇඟට සනීපයක් ගේන ගමන්.... ඒත් මගේ හිතට නම් කිසිම සනීපයක් තිබුණේ නෑ.... මොකද එයා තවම ඇවිත් හිටියේ නෑ....

ඊයේ රෑ තාත්තගෙන් අදත් වෙරළට යන්නද අහද්දි තාත්තා කලේ හූමිටි තියපු එක විතරයි.... ඒත් මට දැනුනා මට නින්ද යාගෙන එනකොට මගේ කම්මුල් සීතල දෙයකින් තෙත් වෙනවා.... එයාලා ආදරෙයි මං දන්නවා.... ඒත් එයාලට සමහර දේවල් මග හැරිලා.... ඒක එයාලගේ වැරැද්දක් නොවෙන්න පුළුවන් ඒත් මට මෙහෙම වුන එක.. ඒක මං හිතලා කර ගත්තු දේකුත් නෙමෙයි....

එයා එන්නේ නැද්ද අද... මං වෙරළට ඇවිත් පැය දෙකකටත් කිට්ටුයි දැන්.... ඒත් එයා නෑ....

ටක්.... ටක්.... ටක්....

මගේ මූණේ හිනාවක් ඇඳුනා.... ඒ එයා.... එයා ඇවිත්....

ඊයේ වගේම පුරුදු බංකුවෙන් ඉඳගත්තු එයා ඊයේ කරා වගේම ෆෝන් එක අරන් ඔබන්න පටන් ගත්තා.... පස්සේ ඉයර් ෆෝන් එක කනේ ගහගෙන ඊයේ වගේ ම හිනා වෙන්න ගත්තා....

ලස්සනයි....

එයා ලස්සනයි.... ඇඳගෙන ඉන්න වැරහැලි ඇඳුම් ටික අයින් කරලා අලුත් ඇඳුමක් ඇන්දුව නම් එයා තවත් ලස්සන වෙයි....

"අනේ.. ඔයා අදත් ඇවිත්.. අද මං ගාව බනිස් නෑනේ.... දැන් මොකද කරන්නේ"

මාව ගැස්සිලා ගියා.... මං අතකුත් නවන් කම්මුලට තියා ගෙන එයා දිහා බලන් හිටියා වෙද්දි ඉයර් ෆෝන් ඇබ ගලවලා පැත්තකින් තියපු එයා අදත් ඊයේ වගේම මුහුද දිහා බලා ගෙන කතා කරන්න ගත්තා.... එයා කොහොමද දන්නේ ඊයේ ආව කෙනාමයි අදත් ඇවිත් ඉන්නේ කියලා.... අනික එයා හිතනවද අදත් මට බනිස් ඕනි වෙලා කියලා....

හ්ම්.... එයා හරි අහිංසකයි....

"ඔයාගේ සුවඳ.. මට ඒක මතකයි.. මං ඒකෙන් අඳුන ගත්තේ අදත් ඉන්නේ ඊයේ ආපු කෙනාමයි කියලා.. මට පුළුවන් සුවඳින් කට්ටියව අඳුන ගන්න"

පුදුම වැඩක්නේ ඒක.... එයාට පුළුවන්ලු සුවඳින් කට්ටියව අඳුන ගන්න.... මේ පැටියා ඇස් පේන මටත් වඩා දේවල් දන්නවානේ....

"අද මං සල්ලි ගෙනාවා.. එනවද මාත් එක්ක කන්න යන්න"

එයා අද බනිසක් ගෙනාවේ නෑ කියද්දි මගේ පපුව පිච්චෙන්න වගේ ආවා.... එයා බඩගින්නේ වෙන්න ඇති.... මගේ හිතට ආව එකම සිතුවිල්ල ඒක.... අද මම අමතක නොකර මගේ පර්ස් එක දා ගෙන ආවෙම මේ පැටියට මොනව හරි දෙයක් කව්වනවා කියලා හිතා ගෙනමයි.... ඒත් මං හිතුවේ නෑ මෙයා මං එක්ක යන්න කැමති වේවි කියලා.... ඒත් ඒ පැටියා මං යන්න එනවද අහද්දි නැගිටලත් ඉවරයි....

මට තරහ ගියා....

"ඇයි නැගිට්ටේ"

"දැන් කන්න යන් කිව්වේ"

"එහෙම කන්න යන් කියන පමාවට ඔහොම එක පයින් කැමති වෙලා හරියනවද.. කවුද දන්නේ කන්න යන් කියලා මොනවට එක්ක යනවද කියලා.. තමුසෙගේ ඇස් පේන්නේ නෑ නේද.. කොහොමද දුවන්නෙවත් මොනව හරි වුනා නම්"

"හහ්හහ්හා... ඇයි මේ කේන්ති ගිහින්"

දෙන්නේ තියෙන්නේ මුට.... මගෙන් අහනවා ඇයි මට කේන්ති ගිහින් කියලා.... එයාගෙම හොඳට දෙයක් කියලා දෙන්න හදනකොට මගෙන් අහනවා ඇයි කේන්ති ගිහින් කියලා....

"යා.. කියන දේ තේරෙන් නැද්ද.. මං කිව්වේ-"

"මං දන්නවා මං දන්නවා ඔයා කියපු දේ මට තේරුනා.. මං වෙන අය එක්ක එහෙම යන්නෑ.. මං වෙන අය එක්ක කතා කරන්නෙත් නෑ.. මං අන්ධයෙක් විතරක් නෙමෙයි ගොලුවෙකුත් වෙනවා සමහර අය ළඟ.. වෙලාවක බීරෙකුත්"

අනේ.... මට ළඟට ඇදලා අරන් බදා ගන්න හිතුනා මේ හුරතලයව.... එයා එයාටම අන්ධයෙක් කියා ගන්නවා.... ඒක එයාට ගානක්වත් නෑ.... අහක ඉන්න මට එයා එහෙම කියන කොට ඉහිලුම් නැති වුනා....

"මට ඔයාව විශ්වාසයි.."

මං මුකුත් නොකියා ඒ සුදුමැලි පාට මූණ දිහා බලාන ඉද්දි එයාම ආපහු කතා කරන්න ගත්තා.... අද එයා ඇඳන් ඇවිත් තිබුනේ පාට ගියපු කළු කොට කලිසමක් එක්ක සුදු පාට කමිසයක්.... එයාට ඒ පාට දෙක හොඳට ගැලපුනා....

එයා කියනවා එයාට මාව විශ්වාසයිලු.... එහෙම වෙන්න පුළුවන්ද.... අපි හම්බෙලා වැඩිම වුනොත් පැය තුනක් ඇති.. ඒ ටිකට කොහොමද එයාගේ හිතේ මං ගැන විශ්වාසයක් ඇති වුනේ....

"පොඩි එකෝ.. ඇයි මාව විශ්වාස කරන්නේ"

"මට විශ්වාසයි.. ඔයා මට කරදරයක් කරන එකක් නෑ කියලා මට මගේ හිත කියනවා"

"හිතට වැරදුනොත්.."

එයා නිරුත්තරයි.... එහෙමත් නැතිතම් එයා උත්තරයක් හොයනවා....

"හ්ම්ම් ඔව්.. හිතට වුනත් වරදින්න පුළුවන් තමයි.."

ටික වෙලාවක් කට පියාගෙන හිටපු එයා ආපහු කතා කරන්න ගත්තා..

"ඒත් හැමවෙලේම නෑ.. අපි අපේ හිත තේරුම් අරන් ජීවත් වෙන්න ඕනි.. හිත සැහැල්ලුවෙන් තියා ගන්න ඕනි.. වැඩිය හිතන්න යන්න හොඳ නෑ.. ඔය සමහර වෙලාවට හිත මෝඩ දේවල් කරන්න කියනවා අපිට.. ඒ වෙලාවට අපි දැන ගන්න ඕනි මොලේ පාවිච්චි කරන්න.. ඒකයි අපිට හිතක් එක්ක මොළයකුත් දෙයියෝ දීලා තියෙන්නේ.. මං දැන් කරෙත් ඒක තමයි.. මට හිත කිව්වා ඔයාව විශ්වාස කරන්න කියලා.. ඒ වගේම මං කල්පනා කරා ඔයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා.. ඉතින් මට ආපු උත්තරේ ඔව් කියන එක.."

පුංචි පණ්ඩිතයෙක්නේ මේකා....

"කවුද ඕවා ඉගැන්නුවේ"

"මට හිටියා හොඳ යාළුවෙක්.. එයා තමයි මට කතා අහන්න කියලා මේ ෆෝන් එකත් දුන්නෙත්.."

"කෝ දැන් එයා.."

"එයා නෑ.. එයාට යන්න සිද්ධ වුනා අලුත් ආරම්භෙකට"

ඒ කියන්නේ එයාගේ යාළුවා....

මට ඒ ගැන හිතන්න ඕනි වුනේ නෑ.... ඒ කියන්නේ මේ පැටියා ඇත්තටම තනි වුන කෙනෙක්.... ඇත්තටම.... ඇත්තටම තනිකම කියන්නේ මොකක්ද කියලා දන්න කෙනෙක්.... මට මං ගැනම ලැජ්ජාවක් දැනුනා.... මං තනිකම ගැන දන්නේ මොනවද....

"අපි යමුද"

එයා අහනවා යමුද කියලා.... අනේ පව් එයාට ගොඩක් බඩගිනි ඇති.... ඒක ඇහුවෙත් හරිම හෙමින් බයෙන් බයෙන් වගේ වෙද්දි මට තවදුරටත් එතන ඉඳන් කාලේ කන්න හිත දුන් නෑ.... මං ඒ අතකින් අල්ල ගත්තා.... එයා ගැස්සුනා.. මට ඒක දැනුනා.... කොච්චර වුනත් එයාට බය ඇති....

ඒ අත් හරිම ගොරෝසුයි.... ඒ වගේම හරිම චූටියි.... මගේ එක අතක් ඒ අත් දෙකක් වගේ ඇති.... එයා මගේ පපුව මට්ටමට විතරයි උස.... මං එයාව මගේ ඇඟට ළං කර ගත්තා.... එයාව වැටෙන් නැති වෙන්න එක්කන් ගියා....

"ඔයාට මොනවද ඕනි"

"මට..!!"

"හ්ම් ඔව්.. ඔයාට කන්න මොනවද ඕනි.. මං අහන්නේ ඔයා කන්න කැමති මොනවද.. මට පුළුවන් ඒක අරන් දෙන්න.."

"අනේ එපා මහත්තයෝ.. මහත්තයා කැමති දෙයක් අරන් දෙන්න.."

කෑම කඩයක් ළඟ නතර වුන මං, කඩේ ඇතුළට යන්නේ නැතුව එළියෙන් ඉඳලා එයාට මොනවද ඕනි ඇහුවා.... මේ කොල්ලා ඉන්න විදිහට කඩේ ඇතුලට එක්ක ගියොත් කඩේ අය අකමැති වෙයි කියලා මට හිතුනා.... එයාගේ හිත රිදෙන කතාවක්වත් කිව්වොත්.... මට ඕනි නෑ ඒ අහිංසක හිත රිදවන්න.... ඒ නිසා මං එළියේ ඉඳලා එයා කැමති දේ ගැන අහන්න ගත්තා....

ඒත් එයා ඒක කියන්න පැකිලුනා.... එයා පුදුම වුනා එයා කැමති දේවල් ගැන අහද්දි.. සමහර විට මෙච්චර කාලෙකට කවුරුවත් එයාට කැමති දෙයක් ගැන අහලා නැතුව ඇති.... මට මහත්තයා කියලත් කතා කලා....

අනේ.... පොඩි එකෝ මට මහත්තයා කියලා නම් කියන්න එපා....

"එහෙම බෑනේ.. ඔයා කැමති දෙයක් තියෙනව නම් කියන්න.. තව දෙයක් මට මහත්තයා කියන්න එපා.."

"එහෙනම් මොකක් කියලද කතා කරන්න ඕනි"

"ඔයා කැමති දෙයක් කියන්න මට ගරු දීලා කතා කරන්න ඕනි නෑ.. අපි දෙන්නා යාළුවෝ කියලා හිතන්නකෝ.. මගේ නම නම් තේම්.. තේම් නිම්සර"

"තේම්.. ඒක ලස්සන නමක්නේ.. අ..අයියේ"

මගේ මූණට හිනාවක් ආවේ මටත් නොදැනීම.... මේක නම් මහ.... හොර ගෙඩියෙක්.... අයියා කියලා කියා ගන්න තමයි මෙච්චර වෙලා මුට වුවමනාව තිබිලා තියෙන්නේ.... මං මොනව කියයිද කියලා බයට වෙන්න ඇති.. ඒකයි අරහෙම කතා කරන්න ඇත්තේ.... ඔය කතා කරේ ලස්සනට අයියේ කියලා....

"ඔහොම ඉන්නකෝ එහෙනම් මේ අයිනට වෙලා.. අයියා කන්න දෙයක් අරන් එන්නම්"

කන්න කැමති දෙයක් කියන්න කියලා කොච්චර කිව්වත් එයාට කියා ගන්න බැරි වුනා.... සමහර විට එයා කෑමවල නම් දන්නේ නැතුව ඇති.... දකින්නෙවත් නැතුව අඩුම තරමේ හැඩරුවවත් කියා ගන්න බෑනේ එයාට....

එයාට අයිනකට වෙලා ඉන්න කියලා කඩේ ඇතුළට ගියපු මං කොත්තුවක් අරන් එලියට ආවා.... ඒත් මං කඩෙන් එළියට ඇවිත් බලන කොට එයාට ඉන්න කියලා ගියපු තැන එයා හිටියේ නැහැ....

"තුල්‍ය..!!!"

********************

කතාව හොඳද? අවුල් වගේද?

ඔය දෙකෙන් ඔයාට දැනෙන උත්තරේ කියලා වටිනා දොර දෙකේ රූපවාහිනියක් දිනා ගන්න.. 😁 එහෙනම් කතාව ගැන හිතෙන දේ කියන් යන්න හොඳේ..

කතාව කියවන හැමෝටම ගොඩක් ස්තූතියි 😘

SIAN..🖤

Contents
Contents