Chapter 3 of 15

02. කොටස

BLIND ✔1,225 words~7 min read

ටක්.... ටක්... ටක්....

මුහුද දිහා බලා ගෙන ඒ දිහාවට අඩි තියන්න ගත්තු මගේ කකුල් දෙක මොහොතකට මගේ පාලනෙන් ගිලිහිලා ගියා.... මටත් නොකියා මගේ කකුල් දෙක ඉබේම නතර වෙලා තිබුණා.... මට පිටි පස්සෙන් ඇහුන සද්දයක් නිසා මං ඔළුව හරවලා ඒ දිහාව බැලුවා....

කොල්ලෙක්....

රතු සුදු සැරයටියක් එක්ක ආපු කොල්ලෙක් මං ඉඳගෙන හිටපු බංකුවෙන් ම ඉඳගෙන හිටියා....

පාට ගියපු නිල් පාට කොට කලිසමක්.... එයා ඉඳගත්ත විදිහට අර හුච්චන් කලිසමට පිං සිද්ධ වෙන්න ඒ කකුල් දෙකෙන් පදාසයක්ම එලියේ.... තැනින් තැන චූටි චූටි හිල් ගැහිලා පාට පිච්චිලා ගිහින් තිබුණ කොළ පාට කමිසයක් එයා ඇඳගෙන හිටියේ.... ඇඳුම් පරණ වුනාට එයා හරි පිරිසිදුවට හිටියා.... ඒ කොල්ලට තිබුණේ ලා පාටට හුරු හමක්....

එයා වයස දහ හතක, දහ අටක විතර පොඩි එකෙක්....

පව්....

එයාගේ ඇස් දෙකම පේන්නෙ නෑ....

මට එයාගෙන් ඇස් අහකට ගන්න හිතුනේ නෑ.... මේ අවුරුදු ගානටම මං ආසාවෙන් කෙනෙක් දිහා බලන් හිටියමද කොහෙද....

එයා ලස්සන පොඩි කොල්ලෙක්.... අත පය ඇට ගැහිලා තිබුණත් ඒ අත පයවලට මස් දාලා පිම්බිලා ආව නම් එයා ලස්සනට ඉන්න ගියා....

පොඩි එකා මුහුද දිහා බලන් ඉන්නවා.... මං දන්නෑ එයා මුහුද දිහා බලන් ඉන්නවද නැද්ද කියන්න ඒත් එයාගේ ඔළුව, ඇස් හැරවිලා තිබුණේ ඒ දිහාවට වෙද්දි ටිකකින් එයා අර හුච්චන් කලිසමට අත දාලා මොනව හරි එලියට ගත්තා.... ෆෝන් එකක්.... එයා එළියට අරන් තිබුණේ පොඩි ස්මාට් ෆෝන් එකක්.... තව ඉයර් ෆෝන් එකක්.. ඒ වයර් එකේ ගැට හැම තැනම.... සමහරු කියනවා වගේ ඒ ගැට ටික ලෙහන්න ගියා නම් ජීවිතේ ප්‍රශ්න අමතක වෙන්න ගියා....

පුරුද්දට වගේ ෆෝන් එක පුරා එහෙ මෙහෙ ඇඟිලි අරන් ගියපු එයා අර ඉයර් ෆෝන් ඇබ දෙකත් කනට ගහ ගෙන මොනවහරි අහන්න ගත්තා....

මට තවත් හිට ගෙන ඉන්න බැරි වුනා.... යන්න ගියපු ගමනත් අමතක කරලා දාලා මං ගිහින් ඉඩ ඉතුරු වෙලා තිබුණ බංකුවේ එහා පැත්තෙන් වාඩි වුනා....

එයා හිනා වෙනවා.... මං දන්නෑ එයා මොනවා අහනවද එයාට මොනව ඇහෙනවද කියලා.... ඒත් එයා හිනා වෙනවා.... ඇස් නොපෙනුනාට මොකද එයා ඇස්වලින් පවා හිනා වෙනවා.... හරි ලස්සන හිනාවක් එයාට තිබුණේ.... ඒ කටේ නළ දතක් පවා තිබුණා.... වළ ගැහෙන කම්මුල්.... බලන් ඉන්න ආසයි....

එයා හොඳටම හිනා වෙනවා.... මෙච්චර වෙලා ලාවට හිනා වෙවී හිටපු එයා ඊළඟ පාර උරහිස් ගස්ස ගස්ස හිනා වෙන්න පටන් ගත්තා....

ලස්සනයි....

හිනා වෙවී හිටපු එයා ඊළඟ පාර ආපහු අර කලිසන් කොටේට අත දාලා බනිසක් එළියට ගත්තා.... ඒක නිකන් බනිසක් නෙමෙයි.... ඩබල් ක්‍රීම් බනිසක්....

ඉයර් ෆෝන් ඇබ දෙක ගලවලා පැත්තකින් තියපු එයා බනිස් කවරේ හරි අපූරුවට කඩා ගත්තා.... පුරුදු වෙලාමද කොහෙද.... ඒත් එයා ඊළඟට කරපු දේ නම් මං කීයටවත් බලාපොරොත්තු වුනේ නම් නෑ.... එයා මට අර ඩබල් බනිසෙන් එක පලුවක්ම දික් කරා....

"ආ... ඔයාට"

ඒ කට හඬ.... හරිම ලාමකයි....

එයා මුහුද දිහාවට ඔළුව හරව ගෙනම මගේ පැත්තට බනිස දික් කරගෙන හිටියා.... මට පුදුම හිතුනා.... එයා කොහොමද දන්නේ මං මෙතන ඉන්නවා කියලා....

"මං දන්නවා.. මෙතන කව්රුම හරි ඉන්නවා.. ඔයා මේක ගන්න.. කැමති නැත්තම් කියන්න ඒක මට ප්‍රශ්නයක් නෑ.."

අහිංසකයි....

මට ඒ බනිස ගන්න හිතුනේ නෑ.... කවුද දන්නේ මේ පොඩි එකාට දවසම කන්න හම්බුනේ ඔය බනිස විතරද කියලා.... ඒත් මං ඒක නොතත්තොත් ඒත් එයාට දුක හිතෙයි....

එයා තවමත් අත දික් කරගෙන ඉන්නවා....

"එපා ඔයා කන්න.. මට ඔයාගෙන් ඕක ගන්න බැරි කමක් නෑ කොල්ලෝ.. ඒත් ඔයා ඕක කන්න.. මං කාලා ඉන්නේ මට බඩගිනි නෑ ඒ නිසා ඔයා ඕක කන්න.."

මං බොරුවක් කිව්වා.... උදෙන්ම ලියුමක් ලියලා තියලා හොරෙන්ම ගෙදරින් පිට වෙලා ආවා මිසක් මං මේ වෙනකල් කිසි දෙයක් කාලා හිටියේ නෑ.... දැන් හවස තුනට විතර ඇති.... ඒ වෙනකල් මං බඩගින්නේ.... මට බඩගින්නක් නැතුව නෙමෙයි.... ඒත් මට මේ පුංචි පැටියව දැක්කම දුක හිතුනා.... එයාගේ බඩගින්න නිවන කෑම එක මට ගන්න හිතුනේ නෑ....

"හරි එහෙනම්"

එහෙම කියපු එයා හිමින් සීරුවේ අර බනිස කන්න පටන් ගත්තා.... චූටි චූටි කෑලි කඩා ගෙන හපන්න පටන් ගත්තා....

අර්ර්..!!!

මගේ බඩ.... ඒක කෑ ගහනවා.... මං අත් දෙකෙන්ම මගේ බඩ වහ ගත්තා.... ඒත් එහෙමයි කියලා වැඩක් නෑනේ.... ඇහෙන්න ඕනි අයට ඇහිලත් ඉවර ඇති දැන් නම්....

අනේ පොඩි එකාට දුක හිතුනද දන්නෑ.... මං බොරුවක් කිව්වේ එයා දෙන බනිස ගන්න බැරි කමකට නෙමෙයි....

"කැමති නම් ගන්න"

එයා ආපහු මට අර බනිස් පලුව දික් කරා.... ඒත් කලින් වගේ අතේ තියා ගෙන නෙමෙයි.... බනිස් කවරේ උඩ තියලා බංකුව දිගේ මගේ පැත්තට තල්ලු කරා.... මට දුක හිතුනා.... මටත් බඩගිනියි තමයි නොකියා හිටියට.... නොසෑහෙන්න බඩගිනියි.... මං බනිස ගත්තා.. අරන් කන්න පටන් ගත්තා....

"ඔයා හැමෝටම මේ වගේ බනිස් දෙන්න යනවද?"

මං එයාගෙන් ඇහැව්වා.... එයා තාමත් කට උල් කර කර බනිස හපනවා.... කටේ තිබුණ හපේ ගිලලා දාපු එයා ලාවට හිනා වුනා....

"නෑ.... මට ඔයාගේ බඩ කෑ ගහන සද්දේ කලින්ම ඇහුනා.. බනිස කඩන වෙලාවෙම...."

"ආහ්..!"

එයා කියනවා එයාට ඇහුනලු මගේ බඩ කෑ ගහන සද්දේ.... ඒත් මටවත් ඇහුනේ නෑ එවෙලේ එහෙම දෙයක්....

"මට ඇස් විතරයි පේන්නෙ නැත්තේ කන් හොඳට ඇහෙනවා.. සමහර වෙලාවට අනිත් අයට ඇහෙන් නැති දේවල් පවා මට හොඳට ඇහෙනවා.."

එයා කියවනවා.... තවමත් අර බනිසෙන් චූටි චූටි කෑලි හපලා අරන් කට ඇතුලට ඔබා ගන්න ගමන් එයා කියවනවා.... එයාගේ කට හඬත් ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා.... පොඩි එකෙක්ගේ වගේ....

එයා කියනවා එයාට හොඳට ඇහෙනවාලු.... ඇස් විතරලු පේන් නැත්තේ කන් හොඳට ඇහෙනවලු.... මාත් අහලා තියෙනවා ඇස් පේන් නැති අයට සියුම් දේ පවා හොඳට දැනෙනවා කියලා....

"හ්ම්ම්... එහෙමද.. ඔයාට බය හිතෙන් නැද්ද"

"මොකටද"

"මං ඔයාට කරදරයක් කරයි කියලා.. ඔයා කොහොමද බයක් හැකක් නැතුව නිකන් දන්න කෙනෙක් එක්ක වගේ ඔහොම කතා කරන්නේ.."

මෙච්චර වෙලා මගේ හිතේ තෙරපි තෙරපි තිබුණ ප්‍රශ්නේ මං එළියට දැම්මා.... ඒකටත් ලාවට හිනාවක් දීපු එයා ආපහු අර චූටි කට උල් කර කර මොනව හරි කියන්න හදනවා....

"නෑ.. එහෙම නෑ.. ඔයා නරක කෙනෙක් නම් ඔයාට හොඳටම වෙලාව තිබුණා මට මොනව හරි කරන්න.. ඒත් ඔයා මුකුත් කරේ නෑනේ.. කරපු එකම දේ මං දිහා බලාන හිටපු එක.. අනික මට තේරුනා ඔයා ප්‍රශ්නෙක කියලා.. ඉතින් මට ඕනි වුනා ඔයාට ටිකක් කතා කරන්න"

මේ පොඩි එකා කියපු දෙයින් මගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා යන්න ඇති.... එයාට දැනිලා මං එයාට දිහා බලාන හිටපු එකත්.... එයාට ඇස් නොපෙනුනාට හැමදේම හොඳට දැනෙනවා වගේ.... එයා දන්නවා එයාව බලා ගන්න ඕනි විදිහ.... එයා හරිම සැහැල්ලුවෙන් ඉන්නේ.... මට තවත් පුදුම හිතුනා එයා මේ තරම් සැහැල්ලුවෙන් ඉන්නවා දකින කොට.... ඇස් දෙකම හොඳට පේන අතපය හතර පවා හොඳට තියෙන මටවත් නැති සැනසීමක් එයා ළඟ තිබුණා....

ඇස් නොපෙනුනත් එයාට ජීවිතේ ගැන බයක් නෑ කියන එක එයා දකින ඕනි කෙනෙක්ට තේරෙනවා.... මගේ හිත මොහොතකට සැහැල්ලු වුනා වගේ.... එයා දිහා බලන් ඉන්න කොට මට සැනසීමක් දැනුණා....

"ඔයාගේ නම මොකක්ද"

"මං දන්නෑ.. හැබැයි හැමෝම මට කතා කරන්නේ තුල්‍ය කියලා.. සමහර විට ඒක වෙන්න ඇති මගේ නම"

"වයස"

"මං දන්නෑ.."

මගේ පපුව රත් වෙලා ගියා.... මං දන්නෑ ඇයි කියන්න.... එයා දන්නෑලු එයාගේ වයසවත් හරියට.... අඩුම තරමේ එයාගේ නමවත්.... සමහර විට උපතින්ම අන්ධ ඇති.... දෙමව්පියෝ දාලා ගියපු කෙනෙක් වෙන්න ඇති.... මට ඕනි වුනේ නෑ ඒ දේවල් හාරා අවස්සලා ඒ චූටි හිත පාරන්න.... එතනින් එහාට අපි දෙන්නා අතරේ කතා බහක් සිදු නොවුන තරම්.... එයා බනිස කාලා ළඟ තිබුණ වතුර බෝතලෙන් වතුරත් බීලා යන්න ලෑස්ති වුනා....

එයාට ඒ බනිස් පලුව ඇතිද දන්නෑ.... මගේ ළඟ සල්ලි තිබුනෙත් නෑ.... නැත්තම් මොනව හරි අරන් දෙන්නවත් තිබුණා.... මොන මිනිහද මැරෙන්න යනකොට සල්ලි අරන් යන්නේ....

"ඔහ්.. ඔහ්.. බලා ගෙන"

බංකුවෙන් නැගිටලා අර රතු සුදු සැරයටිය ගන්න යද්දි තව ටිකෙන් මේකා හොම්බෙන් යනවා....

"ස්තූතියි.... වැටෙන්න ගියාට වැටෙන්නේ නෑ බය වෙන්න එපා.... අල්ලගෙන ඉන්න කාලය හැමදේම විසඳයි...."

එයා ගියා.... එහෙම කියපු ඒ කොල්ලා යන්න ගියා.... මාව දෙලොවක අතරමං කරලා එයා මගෙන් ඈතට ඇවිද ගෙන ගියා.... ඒ කොල්ලා අන්තිමට කියපු දේ.... ඒක එයා කාටද කිව්වේ මොන හේතුවකට ද කියන එක මට තේරුනේ නෑ.... ඒත් ඒ වචනවලට මගේ හිත හැදුනා.... ඉඩෝරෙට අහු වෙච්ච පැළයකට දිය බිදුවක් ලැබුනා හා සමානව මට මහ අමුතු සැනසීමක් දැනුනා....

"ආ.. දැන්ද ගෙදර එන්නේ ඉලංදාරියා.. ආ.. අර මොකක්ද අර ලියලා ගිහින් තියෙන්නේ.. අවසන් කැමැත්තද"

ලියුම.... ලියුම තාත්තට අහු වෙලා....

********************

කතාව ගැන මොකද හිතෙන්නේ..

තේම් මැරුනේ නෑ ඔන්න..

කතාව කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි 😘 වෝට් කරන අයටත් එක්කම

SIAN..🖤

Contents
Contents