Chapter 13 of 15

12. අවසාන කොටස

BLIND ✔2,557 words~13 min read

තෙදිනකට පසු...

තේම්ගේ මානයෙන්............

බීප්........බීප්........බීප්.........

ලබ්.... ඩබ්....

ලබ්......... ඩබ්.........

ලබ්............ ඩබ්.............

"හම්.... ම්හ්ක්..... ම්ම්....."

ආහ් මගේ ඔළුව.... ඒක රිදෙනවා හොඳටම....

මගේ ඇස් දෙක ගල් බැන්දා හා සමානව බර වෙලා තිබුනේ.... ඇස් දෙක ඇර ගන්න උත්සහ කරාට ඇරෙනවට වඩා වේගෙන් ඒවා වැහිලා ගියා.... මගේ ඇඟ පුරාම වේදනාවක් යනවා.... මට තේරුනා මං ඉන්නේ ඇඳක් උඩ කියලා....

මට කිසි දෙයක් මතකෙට ආවේ නැහැ.... මට හුස්ම ගන්න අමාරුයි.... මගේ පපුව හිර කරනවා වගේ ඇඳුම් කනවා.... ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන හිටපු මම, මට මොනවද වුනේ කියලා මතක් කරන්න ගත්තා....

මගේ පැටියා....

මං අන්තිමට හිටියේ එයත් එක්ක.... මට එයාව මතක් වුනා.... ඒත් එක්කම පියවිලා තිබුණ මගේ ඇස් දෙක මම අමාරුවෙන් හරි ඇර ගත්තා....

මං හිටියේ ඉස්පිරිතාලේ ඇඳක් උඩ.... මගේ ඇඟට වයර් කෑලි නොගහපු තැනක් නෑ.... වෙලලා දාලා හැම තැනම.... අතක් පයක්වත් හොලව ගන්න බෑ.... මට පණ නෑ වගේ....

මගේ ළඟින්ම අම්මා ඇඳ උඩ ඔළුව තියාගෙන හිටියා වෙද්දි මගේ දැඟලිල්ලත් එක්ක අම්මගේ නින්ද කැඩුණා....

"පු..පුතේ.... මගේ පුතේ...."

"හ්ම්.... අම්මේ"

"අනේ අම්මේ.. උඹට සිහිය ආවද පුතේ.... ආ.... අනේ උඹ අපිව බය කරපු තරමක්...."

මං අම්මා දිහා බලාගෙන හිටියා.... ඒ ඇස්වල තිබුණු කඳුළු අලුත් වුණා මන් බලාගෙන ඉන්නැද්දි.... අම්මා මගේ ඔළුව අත ගගා මගෙන් කොහොමද අහනවා....

"උඹට කොහොමද දැන් ලොකු පුතේ...."

ඒ ඇස්වල දුක වේදනාව මහන්සිය බේරෙනවා.... අම්මගේ ඇස් යට කළු ගැහිලා ගිහින්....

මන් හොඳින් නෙමෙයි ඉන්නේ.... ඒත් මං අම්මට මුකුත් කියන්න ගියේ නැහැ....

"මං... මට වුනේ මොකක්ද.... අම්මේ...."

"වුනේ.... වුනේ.... උඹ අර පොඩි කොල්ලා එක්ක-"

අම්මා කොල්ලා කියලා පටන් ගන්න හදන කොට මං අම්මගේ කතාවට බාධා කලා.... අම්මා කියන්න හදන්නේ මට අහන්න ඕනි දේ නෙමෙයි කියන එක මට තේරුනා.... ඒත් එක්කම මට පොඩි එකාව බලන්න පුදුම ආසාවක් ආවේ.... ඒකා නැතුව ලොකු පාළුවක් දැනුනා.... ඒත් මං ඒකා ගැන අම්මගෙන් අහනකොට අම්මා නිහඬව හිටියා මිස උත්තරයක් දුන්නේ නැහැ....

"කෝ දැන් අම්මේ එයා...."

".........."

"අ..අම්මේ කෝ දැන් ඒ පොඩි කොල්ලා...."

".........."

"අම්මේ....!!!! ඇයි කට පියාන ඉන්නේ කෝ දැ න් ඒ ළ ම යා.."

"පුතේ උඹට අසනීපයි.... තුවාල පාර ගන්නද හදන්නේ... දඟලන්නේ ඇයි.."

"ආ..ආව්...!"

අම්මගේ නිහැඩියාව මගේ ඉවසීම පැන්නුවා.... තුවාල වේදනාව අමතක කරපු මං ඇඳ උඩින් වාඩි වුනා.... කැනියුලාව ගහපු අත වේදනා දෙන්න ගත්තා වෙද්දි එතකොටයි මං හරියටම දැක්කේ මගේ වම් අත වෙලලා දාලා... නළලත් ඔතලා.... කකුල් දෙක පුරාවට බැන්ඩේජ් කරලා කියලා....

මගේ ඔළුව පැලිලා.... වම් අත දෙපොලකින් කැඩිලා ගිහිල්ලා.... කකුල් දෙකේ හැම තැනම හීරුම් තුවාල.... පපුව රිදුම් දෙනවා අම්බානෙකට.... ඒත් පපුව රිදෙන්න ගත්ත එකම හේතුව මං ඇක්සිඩන්ට් වුන එකම නෙමෙයි කියලා මට හිතුනා....

"අ..අයියේ අයියේ උඹ නැගිට්ටද..."

මල්ලි.....

එයා හොස්පිට්ල් කාමරේ දොර ඇරගෙන ඇතුළට ආවා.... ඒකවත් මැලවිලා ගිහින්....

"මල්ලි කෝ අර පැටියා.... මං උඹට කිව්වේ කෝ එයා..."

මං මල්ලි ඇතුලට ආපු ගමන්ම උට හුස්මක් කටක්වත් ගන්න ඉඩ නොදී තුල්‍ය ගැන ඇහුවා වෙද්දි ඒකවත් වචන නැතුව හිර වෙලා ගියා.... ඒකෙන් වුනේ තවත් මාව කලබල වුන එක....

"එ..එයා"

"ඇයි එයාට මොකද වුනේ.... ඇයි මට කවුරුත් මුකුත් කියන්නේ නැත්තේ..!!"

"අ..අයියේ එයා... එයා ගියා අයියේ..."

"ගියා..!! ගියා කිව්වේ කොහෙද ගියේ... අනේ මට ඒකව බලන්න ඕනි මල්ලි.. ගිය තැනකින් එන්න කියපන්කෝ..."

මල්ලිගේ මූණ බලාගෙන ඉන්නකොට කළු ගැහිලා ගියා.... මට ඒක ගැන නම් හොඳක් දැනුනේ නෑ....

"මල්ලි අනේ කියපල්ලකෝ කෝ එයා.. ආ.. මාව මහන්සි කරවන්න එපා බන්..."

නෑ තවම මට උත්තරයක් නෑ... අම්මා මගේ ඔළුවයි පිටයි අත ගගා මාව සනසන්න හදනවා... මල්ලි මගේ කීම මගෑරලා ෆෝන් එකත් කනේ ගහන් එළියට ගියා වෙද්දි ඒ ගමන්ම තාත්තත් දොර ඇර ගෙන ඇතුළට ආවා...

"ලොකු පුතේ.."

"තා..තාත්තා...."

"උඹට කොහොමද දැන්... දවස් තුනක් උඹ අපිව නොමරා මරවව්වා පුතේ...."

"තාත්තේ.."

"උඹට එයාව ඕනිමද පුතේ ආ.... ඒ කොල්ලව ඕනිමද...."

"තාත්තේ..."

තාත්තා ආපු ගමන්ම මගෙන් ඇහුවේ තුල්‍ය ගැන.... තාත්තට මගේ කෑ ගැහිල්ල ඇහෙන්න ඇති....

"ඕනිද එපාද කියලා විතරක් කියහන්.... මට එන ගමන් ඇහුනා උඹ කෑ ගහන සද්දේ හ්ම්... අහපු දේට විතරක් උත්තර දියන්කෝ..."

තාත්තා අහනවා මට එයාව ඕනිද එපාද කියලා.... ඉතින් ඔව්නේ මට එයාව ඕනිනේ...

"ඕනි තාත්තේ.."

"හ්ම්"

තාත්තට ඕනි කියලා උත්තර බඳින කොට තාත්තා ඒකට හූ මිටි තියලා දොර දිහා බැලුවා වෙද්දි එළියට ගියපු මල්ලිත් එක්ක මගේ පැටියා ඇවිත් හිටියා....

අනේ මගේ වේදනාවන් ඔක්කොම වාෂ්ප වුනා වගේ ඒ මූණ දැක්කහම.... ඒත් එක මොහොතයි.... එක මොහොතයි මට ඒ සැනසීම ලැබුණේ..... එයාව සුදුමැලි වෙලා ගිහින්.... ඒකා ඉන්නේ බය වෙලා.... මං තවත් කට පියාගෙන නොයිද එයාට මගේ ළඟට එන්න කියලා කතා කලා....

"ම..මගේ පැටියෝ...මගේ රත්තරනේ... උඹ කොහෙද දෙයියනේ ගියේ... අයියා බය වුනානේ හොඳටම... කෝ එන්නකෝ ළඟට... අද අයියට ඔයා ගාවට එන්න විදිහක් නෑ... පැටියට තමයි අයියා ළඟට එන්න වෙන්නේ...."

එයාගෙන් ප්‍රතිචාරයක් නෑ.... මං මෙච්චර කතා කරලත් එයාගෙන් ප්‍රතිචාරයක් නෑ.... එයාගේ ඇස් ගැස්සෙනවා.... ඒ හැඟීමක් නැති ඇස්වලත් වෙලාවකට එළි බහින හැඟීම් දැන් මටත් කියවගන්න පුළුවන් වෙලා.... එයා ඉන්නේ බය වෙලා.... එයා ඔළුව හරවනවා නිකන් කාගෙන් හරි මොනව හරි බලාපොරොත්තු වෙනවා වගේ..

"යන්න පුතේ..."

තාත්තා....

තාත්තා එයාගේ උරහිසකට අත තියලා යන්න කියනකොට අනේ මගේ පොඩි එකා පැන ගෙන මගේ ළඟට ආවා වෙද්දි ඒ ඇස්වලින් කඳුළු කැට ගලන් ගියා හෝ ගාලා....

"අයියේ...අයියේහ්.... ඔයා...හොඳින්...නේද...මගේ අයියේ.... එ..එයාලා... ඒ දොස්තර...මහත්තුරු... කිව්වා...අයියගේ....හදවත...මාරු....කරන්න...ඕනි....කියලා.... අනේ...අනේ එහෙම...වුනේ....නෑ....නේද ආ.... ඉක් අනේ අයියේ... සමා....වෙන්න....අයියේ....මං....නිසා....ඔයාට.....මෙහෙම.....දෙයක්.....වුනේ... අනේ අයියේ....සමාව දෙ-"

එයා මගේ ඇඟ පුරාම එයාගේ අත් ගෙනිච්චා කලබලෙන් හැබැයි පරිස්සමින්..... මට රිදවන් නැතුව ඉන්න එයා උත්සහ කළා....

"නාඩා හිටින්කෝ දැන්....ම්ම්... මගේ පැටියා බය වෙන්න එපා... අයියා හොඳින්... ඔයාට අයිතිය තියෙන අයියගේ හදවතත් හොඳින්... හ්ම්... නාඩා ඉන්නකෝ දැන්.... බලන්නකෝ මේ මූණ කැත වෙලත් එක්කනේ... අඩන්න එපා ඉතින්.... අනික ඇයි මගේ පැටියා මගෙන් සමාව ගන්නේ ආ.... කවුද කිව්වේ ඔයා නිසයි මට මෙහෙම වුනේ කියලා.... ආ.... කවුද ඒ දේවල් මගේ පැටියගේ ඔළුවට දැම්මේ...."

අම්මා තාත්තා මල්ලි ළඟ ඉන්නවා කියන එකවත් නොහිතා මම ඒකව පුළුවන් විදිහකට තුරුළු කරාන හාදු තිබ්බා..... ඒ ඇස්වලින් ගලන උණු කඳුළු වැල් පිහලා දැම්මා.... ඒකා අඬනවා.... නවත්තන්නේ නැතුවම කඳුළු වගුරනවා..... ඒ ඇස් ඉදිමිලා.... මේ දවසක් තුනටම ඒ නොපෙනෙන ඇස්වලටත් නිවනක් තියෙන්න නැතුව ඇති....

"ලොකු පුතේ..."

එයා ගැස්සුණා.... තාත්තාගේ කට හඬ ඇහෙන කොට අනේ පොඩි එකා ගැස්සිලා ගියා....

මේ දවස් තුනට මොනවද වුනේ....

"ලොකු පුතේ ඇයි උඹ අපෙන් උඹේ ලෙඩේ ගැන හැංගුවේ ආ.... චූටි පුතා ඒ ගැන කියන කල් අපි ඒ වගක් දැනගෙන හිටියේ නෑනේ.... ම්ම්.... උඹ ඒවා හංගලා අපිට රිද්දන්නද හිතුවේ.... උඹ මුකුත් නොකියා කට පියාගෙන හිටපුවාම අපි දන්නවාද උඹට තියෙන ප්‍රශ්න මොනවද කියලා.... අපිට දිවැස් නෑනේ පුතේ උඹ කියන්න කලින් ඒ දේවල් දැන ගන්න.... උඹ හොඳ එකෙක් ලොකු පුතේ.... කවදාකවත් අම්මටයි මටයි වදයක් වුනේ නෑ.... උඹේ පාඩුවේ උඹ හැදුනා... ඇත්තටම මල්ලිටත් වඩා උඹව හදන එක ලේසි වුනා පුතේ... සමහර විට අපිට කොහෙ හරි වරදින්න ඇති.... උඹව තේරුම් ගත්තේ වැරදියට වෙන්න ඇති.... හැමදේටම කට පියාගෙන අහගෙන ඉද්දි අපි හිතුවේ ඒ උඹගේ හැටි කියලා... උඹ හොඳ එකෙක් හින්දා කියලා... ඒත් අපි දැනගෙන හිටියේ නෑනේ උඹ ඔය හිත අස්සේ ඒ හැමදේම හංගගෙන විඳවලා කියලා.... ම්ම්... මගේ පුතේ අපි උඹව තේරුම් ගන්න කල් ගත්තා වැඩී.... එතකොට වෙන්න ඕනි දේවල් ඔක්කොම වෙලා ඉවරයි.... සමහර විට අපි උඹට ආදරේ කරපු තරම උඹට මදි වෙන්න ඇති පුතේ-"

"තාත්තේ..!"

තාත්තා..... තාත්තා අද වෙනස් ගොඩක් වෙනස්... එයාගේ ඒ වෙනස මට දරා ගන්න බෑ.... මං තාත්තා කියන්න යන දේවල් නතර කරන්න හැදුවත් තාත්තා මං ගැන නොබලා කියන් ගියපු දේ සම්පූර්ණ කරන්න ගත්තා.....

"දන්නවද මේ පොඩි කොල්ලා කියනකල් අපි එච්චර දේවල් දැනන් හිටියේ නෑ පුතේ.... මේකට ඇස් නොපෙනුනාට මෙච්චර කාලයක් ඇස් වැහිලා තිබිලා තියෙන්නේ අපේ කියලා මේ පොඩි එකායි අපිට තේරුම් කරලා දුන්නේ.... ඒකා තේරුම් ගත්ත තරම් අපි උඹ ගැන තේරුම් ගත්තේ නෑ.... උඹ ගැන තේරුම් ගන්න පරක්කු වුනාට සමා වෙන්න පුතේ.."

"තාත්තේ..!! අනේ තාත්තේ..!!!"

තාත්තගේ ඇස්වල කඳුළු....

අනේ මට වාව ගන්න බෑ දෙයියනේ.... මගේ තාත්තගේ ඇස්වල කඳුළු....

මට මං ගැනම කලකිරීමක් ඇති වුනා... මං තාත්තගේ ඇස්වලට කඳුළු දීලා.....

"තාත්තේ...තාත්තේ මට සමා වෙන්න තාත්තේ.... මාත් මෙච්චර කාලයක් ඔයාලට වැරැද්දක් කරේ... මටත් මට ජීවිතේ දුන්නු අම්මවයි තාත්තවයි මෙච්චර කාලයක් යනකල් හරියකට තේරුම් ගන්න බැරි වෙලා තාත්තේ... ඒ තරමට මං ඔය දෙන්නගේ ආදරෙන් අන්ධ වෙලා.... අම්මයි තාත්තයි අපිට දුන්නු ආදරේ වැඩී.... ම..මට බැරි වුනා තේරුම් ගන්න ඕනම ප්‍රශ්නයක් කියලා විසඳ ගන්න පුළුවන් දෙමව්පියෝ දෙන්නෙක් තමයි මට ඉන්නේ කියලා... මට කරන්න තිබුණ එකම දේ මගේ හිතේ තිබුණු ප්‍රශ්න අම්මලාට කියලා දාන එක විතරයි... හැබැයි මං ඒකමයි කරේ නැත්තෙත්.... මේ පොඩි එකා මට ඒ ගැන කියලා දෙනකල් මං හැසිරුණෙත් අන්ධයෙක් වගේ තාත්තේ.... තාත්තලාගේ ආදරේ තරම නොදැක්කට...තාත්තේ මට සමා වෙන්න තාත්තේ...."

"හරි හරි දැන් ඔක්කොම හරිනේ...."

තාත්තා මාව තුරුළු කර ගත්තා.... මගේ හිස් මුදුණට හාදුවක් තිබ්බා.... ඒ දේවල්වලින් මාව අවුරුදු ගානක් ආපස්සට ඇඳන් ගියා වගේ.... තාත්තා කවදාවත් අපිට පේන්න ආදරේ කරේ නැහැ.... එයා ආදරේ හංග ගෙනයි දුන්නේ.... ඒත් අද... මේ දැන්.... තාත්තා එළිපිට ආදරේ පෙන්නනවා....

ඒ ආදරේ හරි බරයි.... තාත්තලගේ ආදරේ දරා ගන්න බැරි තරම් බරයි.... හරි ඝනකම්.... බිදෙන්නෑ ලේසියකට.. ඒ වගේම තමයි බිඳුනොත් ආය හරිගස්සන්නත් බෑ ලේසියකට.... මට අද තේරුම් ගියා තාත්තාලාගේ ආදරේ හංගලා දෙන තරමට පරිස්සම් කියලා... මොකද තාත්තාලා එළිපිට ආදරය කරන්න ගියොත් දරුවොන්ට ඒ ආදරේ පරිමාව දරා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා....

ඒත් එයාලත් දැන ගන්න ඕනි කලාතුරකින් හරි ඒ ආදරේ අංශුවක් හරි එළිපිට පෙන්වන්න.... අපේ තාත්තගේ තද ගතිගුණත් එක්ක තාත්තට ඒක අමතක වෙලා තිබිලා....

මං දැන් හයිය පිරිමියෙක් වුනත් මට ඒ තැනට එන්න අත දුන්නේ කවුද කියන එක මටත් මෙච්චර දවසක් අමතක වෙලා තිබිලා.... මං ඒ උරහිසට වාරු වුනා.... අම්මා හැර අපි කවුරුත් කෑ ගහලා අඬලා අපේ දුක පිට කරේ නෑ.... ඒ ඇස්වල වගේ ම මේ ඇස්වලත් තුනී කඳුළු පටලයක් බැඳිලා තිබුණා විතරයි.... මං බලා ගෙන මල්ලිගේ ඇසුත් ලාවට තෙත් වෙනවා...

"තාත්තේ මටත් සමා වෙන්න තාත්තේ.... මමත් අද ඉඳන්වත් හොඳ පුතෙක් වෙන්නම් තාත්තට..."

"හ්ම්... ඇයි මං අයියව හදන්න ලේසි වුනා කිව්වට උඹ නරකයි කිව්වද චූටි පුතේ ඈ... නෑනේ නේ.... මං කිව්වේ අයියව හදන්න ලේසි වුනා කියලා විතරයි.... ඒකගේ නිවිච්ච චරිතෙත් එක්ක ඒක ලේසි වුනා.... හැබැයි උඹට තියෙන්නේ වෙනම චරිතයක් චූටි පුතේ.... මං දැන් ඒකත් තේරුම් අරන් ඉවරයි..."

"හ්ම්... මාවත් බදා ගන්නකෝ අනේ එහෙනම්.."

"වරෙන් ඉතින්"

මං මල්ලිට කතා කළා.... ඒකා හුරතල් වෙන්න හදනවා ඒ අස්සේ....

"පුතේ කොයි ඔයත් එන්න...."

"තාත්තේ....//"

මල්ලිටයි මටයි කෑ ගැස්සුනේ එකටම...

තාත්තා තුල්‍යගේ අතින් අල්ලන් එයාවත් ළඟට ගත්තා.... පව්.... ඒකගේ ඇස්වලින් කඳුළු කැට ගලන් යනවා තවමත්....

"ඇයි අපිට අපි ගැන කියලා දුන්නු අපේ ඇස් පාදපු එකාව මඟින් හලන්නද උඹලා කියන්නේ... අදින් පස්සේ උඹට මේකව බලා ගන්න බැරි නම් මට කියන්න.. මට පුතාලා තුනක් වැඩි නෑ ලොකු පුතේ...."

"ම..මහත්තයෝ..."

එයාගේ ඇස් ලොකු වෙලා ගියා... එයාගේ විතරක් නෙමෙයි අපේ ඇසුත්....

"මහත්තයා නෙමෙයි තාත්තා කියන්න.... අදින් පස්සේ මට පුළුවන් පුතාගේ තාත්තත් වෙන්න...."

"තා....තාත්තා වෙන්න..."

"හ්ම් ඔව් තාත්තා තමයි....

මේකා තාම පොඩි එකෙක් වගේනේ බන්.... කොහෙන් ද හොයා ගත්තේ.... හුරතලයක්නේ...."

අපි දෙන්නව අතෑරලා තුල්‍යව බදා ගත්තු තාත්තා අදින් පස්සේ එයාටත් තාත්තා වෙන්න පුළුවන් කියද්දි ඒ හැඟීමක් නැති ඇසුත් දිලිසෙනවා මං බලාගෙන.... ඒකට හිතා ගන්න බැරි වෙන්න ඇති.... එයාට දැනෙන දේ දන්නේ එයාම විතරයි.... ඒකා ඇඹරි ඇඹරි කට උල් කරගෙන තාත්තේ ගානකොට තාත්තටත් ඒකගේ හුරතලේ දරා ගන්න බැරි වුනාද කොහෙද.....

මේ හැමදේම වෙනකල් අම්මා පැත්තකට වෙලා බලන් හිටියා වෙද්දි අන්තිමට අම්මත් ඇවිත් තාත්තට හවුල් වුනා.... අම්මා මොනවහරි දෙයක් තාත්තාගේ කනේ තිබ්බා රහසින්.... ඒ ගමන්ම කලිසන් සාක්කුවට අත දාපු තාත්තා යතුරක් එලියට ගත්තා..... ඒක අරන් මගේ අතට මිට මෙලෙව්වා.....

"මොකක්ද තාත්තේ මේ"

"ඕක යතුරක් පුතා.."

මේ පාර කතා කරන්න පටන් ගත්තේ අම්මා....

"ඔය එපාන්මන්ට් එකක යතුරක්.... පුතාට පුළුවන් අලුත් ජීවිතයක් පටන් ගන්න.... ඔය තුවාල එහෙම හොඳ කරගෙන...."

"අ..අම්මා මොනවද මේ කියන්නේ..."

අම්මා කියපු කිසි දෙයක් මට තේරුම් ගියේ නැහැ....

"පුතා මේ පුතාව අතාරින්නේ නෑ කියන එක දන්නවා..... ඒ කියන්නේ අම්මටයි මටයි ලේලියෙක්ව බලන්න වෙන්නේ නෑ කියන එකනේ..... මෙතනින් එහාටත් පුතාට ඉස්සර වගේම අම්මයි මායි ඉන්නවා ඕනම දේකට.... මල්ලිත් ඉඳී.... ඒත් පුතා තෝර ගත්තේ වෙනම පාරක් නිසා මෙතනින් එහාට ඒ පාරේ යන එක පුතාට ලේසි වෙන එකක් නෑ.... සමාජෙන් නැති බැනුම් පවා අහන්න ලැබේවී.... එක එකා ගෙන් කතා අහන්න අපි ළමයි හදලා නෑ.... ඒත් මට මගේ පුතාගේ සතුට ඊට වඩා වටිනවා දැන්.... හැබැයි මං එකක් කියන්නම් දරා ගන්න බැරි නම් මැද්දෙන් අතාරින්න හිතාන නම් මේ තෝර ගත්ත පාරේ යන්න හදන්න එපා.... එහෙම කරොත් නම් පුතෝ.... උඹ තාත්තා ගැන මීටත් වඩා හොඳට දැන ගනියි.... එතකොට නම් මං උඹේ පැත්ත ගන්න එකක් නෑ.... කිව්ව එක තේරුනානේ... මේ පුතාව ආපහු සැරයක් අනාථ වෙන්න බෑ...."

"නෑ... තාත්තේ මං මේකව අතාරින්නේ නෑ කීයටවත්...."

තාත්තා එහෙම කියනකොට මං මගේ ළඟ හිස් බැල්මෙන් බලාගෙන හිටපු කොල්ලව ඇඳලා මං ළඟට ගත්තා.... පව් ඒකා.... හොඳටම කලබල වෙලා ඇති.... එක එකා ඒකව එහෙට අඳිනවා මෙහෙට අඳිනවා....

"තාත්තේ මේ යතුර.."

"උඹට එපාට්මන්ට් එකක්.. පුතාටම කියලා.... උඹට ගෙදරින් යන්න කියනවා නෙවෙයි.... ඒත් මට හිතුනා එහෙම කරන එක හොඳයි කියලා..."

"අනේ තාත්තේ..."

"තාත්තගේ පැන්ශන් එක පාස් වෙලා පුතා.... ඒ සල්ලිවලින් උඹට හොඳ වෙඩින් එකක් අරගන්න හිටියේ.... ඒත් උඹේ වෙඩින් එක හීනයක් වෙයි කියලා තමයි තාත්තා ඒ සල්ලිවලින් පුතාට එපාට්මන්ට් එකක් ගත්තේ.... පුතා තනියම ඉන්න කැමැති වෙයි කියලා තාත්තා කිව්වා.... තනියම කියන්නේ මේ පුතත් එක්ක ම ඉන්න පුළුවන්නේ දැන්...."

"අම්මේ..."

අම්මත් මගේ ළඟට ඇවිත් මාව බදා ගත්තා වෙද්දි මං පොඩි එකෙක් වගේ ඒ උණුසුමට තුරුළු වුනා....

"ඒයි අයියේ.... තවම තමුසෙගේ සප්‍රයිස් ඉවර නෑ..."

ඒ පාර මොකක්ද....

මල්ලිගේ අතේ ලියුමක් තිබුණා.... මල්ලි ඒක උඩට කරලා උස්සලා මට පෙන්නුවා වෙද්දි මල්ලි ඒක ඒ විදිහටම උස්සගෙන ඇවිත් මගේ අතෙන් තිබ්බා...

"කඩලා බලපන්කෝ ඉතින්..."

මං මල්ලි දිහායි ලියුම දිහායි අම්මලා දිහායි මාරුවෙන් මාරුවට ඔළුව උස්ස උස්ස බලද්දි මල්ලි කිව්වා ලියුම කඩලා බලන්න කියලා.... මාත් බැරි බැරි ගාතේ හරි තනි අතින් ලියුම කඩලා බැලුවා වෙද්දි මට කෑ ගැස්සුනා සතුටටම....

"අම්මේ..!!!!"

මං ඇප්ලයි කරපු ජොබ් එක.... ඒක හරි ගිහිල්ලා....

සතියක් විතර හොස්පිට්ල් ඇඳක් උඩට වැටිලා හිටපු මං දැන් දවස් හතරකට විතර කලින් ඩිස්චාජ් වෙලා ගෙදර ආවා.... ඔළුවේ පැල්මට තාම බැන්ඩේජ් එකක් ඔතලා තිබුණට අනික් තුවාල හොඳ වෙලා තිබුනේ.... අතෙනුත් වේදනාවක් යනවා විතරයි.... දැන් ඒකට බෙහෙත් කරනවා....

මං හිටියේ වෙරළේ කෙළවරක සුපුරුදු විදිහටම මගේ ජීවිතේ වෙනස් කරන්න හවුල් වුන බංකුව උඩ වාඩි වෙලා පුංචි දේව දූතයාවත් තුරුළු කරාන මුහුදට බිලි වෙන්න ඔන්න මෙන්න තියෙන ඉර දිහා බලාගෙන.... අපි අනිද්දට අලුත් ගෙදරට යනවා.... ඒත් මට අලුත් ජොබ් එකට නම් යන්න වෙන්නේ ලබන මාසේ මුල ඉඳලා.... මගේ හාට් එක මාරු කරලා නැහැ.... හැබැයි මට කලින්ට වඩා ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා.... හාට් එකට වෙච්ච ඩැමේජ් එක වැඩී.... ඒ නිසා මට ඉස්සර වගේ මහන්සි වෙන්න වෙන්නෑ කාලයක් යනකල්.... වෙච්ච ඇක්සිඩන්ට් එක ගැන කිව්වට පස්සේ ඒ අය මට තව කල් දුන්නා.....

දැන් මගේ අනික් අසනීපේ පවා බොහෝ දුරට හොඳ අතට හැරිලා.... ඩොක්ට කිව්වා තව සති දෙකකින් විතර බෙහෙත් නතර කරන්න පුළුවන් වෙයි කියලා.... ඒ වගේම තවත් සතුටු ආරංචියක් තියෙනවා....

තුල්‍යගේ ඇස් දෙක....

එයාගේ ඇස් දෙක සනීප වෙන්න සීයට විස්සක චාන්ස් එකක් තියෙනවා.... ඒ සීයට විස්සත් මට ඇති.... මං අතාරින්නේ නෑ.... කොහොම හරි එයාගේ ඇස් දෙකත් හොඳ කරලා දෙනවා මගේ පුංචි දේව දූතයට....

හැමදේමටම නොහිතපු අවසානයක් ලැබුණේ.... ජීවිතේ අතාරින්න ගිහින් පටන් ගත්තු කතන්දරේට මේ වෙනකොට සතුටු අවසානයක් ලැබිලා.... නොහිතපු දේවල් පවා වෙනස් වෙලා.... කවුද හිතුවේ එදා මගේ හදවත සුවපත් කරන්න ආපු පුංචි දේව දූතයාගේ හදවතත් ඒ වෙනකොට බිඳිලා තිබිලා තියෙන්නේ කියලා.... මට ඉබේටම බැලුනේ එයා දිහා.... එයා මට තුරුළු වෙලා මුහුද දිහා ඇස් යොමා ගෙන ඉන්නවා....

මාව ඇක්සිඩන්ට් වුනාට පස්සේ එයා හොඳටම බය වෙලා.... ඒ ෂොක් එක තාමත් එයාට තියෙනවා.... අම්මලා නොදැනුවත්ම හරි කියපු වචනවලින් එයා නිසයි මට එහෙම දෙයක් වුනේ කියන එක ඒකා ඔළුවට දාගෙන.... මට සිහිය නැතුව හිටපු දවස් තුනේ ම එයා මං ගාවින් හෙල්ලුනේ නෑලු.... ඒත් අද පේශන්ට සිහිය එයි කියන කොට එයා හොස්පිට්ල් එකෙන් යන්න ගිහිල්ලා කාටවත් නොකියම....

මං ඒ හිස් මුදුනට හාදුවක් තිබ්බා.... අපි එයාව නිවාසෙන් අයින් කර ගත්තා.... මේ දවස් ටිකේම එයා හිටියේ අපේ ගෙදර....

"පැටියෝ..."

"ම්හුක්..."

"අයියට බඩගින්නක් ඇවිල්ල නේ...."

එහෙම කියන කොට එයා එදා වගේම ඇඳ ගෙන හිටපු කොට කලිසම් සාක්කුවට අත දාලා බනිසක් එළියට ගත්තා.... නිකන් බනිසක් නෙමෙයි ඩබල් ක්‍රීම් බනිසක්.....

"කැමති නම් ගන්න.."

එහෙම කියලා ඉවර වෙද්දි අපි දෙන්නගෙම මූණේ ලාවට හිනාවක් ඇඳෙද්දි මං එයාව ළඟට අරන් ඒ නළල පැත්තකින් හාදුවක් තිබ්බා....

එයාගේ වම් අත මගේ අතට ගත්තු මං මගේම සල්ලිවලට හදවපු චූටි රත්තරන් මුදුව එයාගේ ඇඟිල්ලට දැම්මා.... ඒ වගේම මුදුවක් මගේ වම් අතේ ඇඟිල්ලකත් පාළුව මේ මොහොතෙත් මකන ගමන් හිටියා වෙද්දි ඒ මූණේ ලස්සන හිනාවක් ඇඳෙන කොට ඒ අත් දෙක දෝතට අර ගත්තු මං ඒ අත් දෙකටම හාදු තිබ්බා...

අපේ අත් එකට පැටලෙද්දි මං එයාවත් එක්ක ගෙන අලුත් ජීවිතේ මුල්ම අඩිය එයත් එක්කම තියන ගමන් මුහුද පැත්තට යන්න ගත්තා....

දුෂ්කර කාර්තුවක් මෙසේ අවසන් විය.

_නිමි_

කොටස් දොළහක් පුරාවට කතාව එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..... 🥺❤️

කතාව මෙතනින් ඉවර වෙනවා.. ඒත් තව එක කොටසක් තියෙනවා.. ඒකත් කැමති නම් කියවන්න..

දෙයක් අහන්නම්.. මේ කතාවේ තුල්‍ය childish වැඩීද ?

(කතාව ඉවර වෙලා තමයි ඒක අහන්නේ... 😁🙂)

SIAN..🖤

Contents
Contents